Monday, April 29, 2024

නාඩි වැටෙන තුරු රේස් පදින බව කී වෙඩිසිංහගේ නාඩි නැවතිණි !

Must read

wedisinghe_articleනුවරඑළියේදී පැවැති මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ ඊයේ (29 දා) පස්වරු 3.00 ට පමණ සිය අවසන් හුස්ම වා තලයට මුදාහලේය.

මිය යන විට 47 වැනි වියේ පසු වූ වෙඩිසිංහ සිවුදරු පියෙකි.ආනන්ද වෙඩිසිංහ යනු වයඹ පළාතට සහ රටට කීර්තිය ගෙනා ක්‍රීඩකයෙකු පමණක් නොව ත්‍රිවිධ හමුදාව, පළාත් පාලන ආයතන වැනි ආයතනයන් වෙනුවෙන් රුපියල් කෝටි ගණන් වටිනා පරිත්‍යාග සිදුකරමින් නිහඩ සමාජ සේවයක යෙදුණු ව්‍යාපාරිකයෙකුද වෙයි.

හෙතෙම අනතුරට මුහුණදුන් අප්‍රේල් මස 23 වැනිදා සිට ඊයේ දිනය දක්වා වූ සති 5 ක කාලය පුරා කෘතිම ස්වසන උපකරණවල ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි අතර හෙතෙම මියයන තෙක්ම සිහිසුන් තත්වයෙන් පසුවූ බව රෝහල් ආරංචිමාර්ග කියයි. මිය යන්නට පැය කිහිපයකට පෙර වෙඩිසිංහ විසින් එක්වරක් සිය දෑස් විවර කර බැලූ බවද තතු දත් අය කියති.

මාසයකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වෙඩිසිංහ වැඩිදුර ප්‍රතිකාර සඳහා ජපානයට රැගෙන යෑමට ඔහුගේ බිරිද සහ දරුවන් උත්සාහ කළද ඒ සඳහා අවශ්‍ය වූ මුදල වූ රුපියල් මිලියන 39 ක් සොයාගත නොහැකි වීම නිසා ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය. වෙඩිසිංහ ජපානය වෙත ගෙනයාමට විශේෂිත ගිලන් ප්‍රවාහන ගුවන් යානාවක් එරටින් ගෙන්වාගැනීම කළ යුතු වූ අතර අදාල මුදල අවශ්‍ය වී තිබුණේ ඒ වෙනුවෙනි. ඊට අමතරව වෙඩිසිංහට සිදුකළ වෛද්‍ය ප්‍රතිකාර සදහා දෛනිකව විශාල මුදලක් වැය වූ බැවින් ඔහුගේ පවුලේ ඥාතිහු දැඩි ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටි අතර , වෙඩිසිංහ පදිංචි නිවස පවා විකිණීමට ඔවුහු සූදානමින් සිටි බවද වාර්තා විය.

නුවරඑළිය තරගාවලියේ සුපර් මෝටාර්ඩ් (සිලින්ඩර් ධාරිතාව 450 දක්වා) තරගයේදී සුරාජ් පෙරේරාගේ යතුරුපැදිය සහ සිය යතුරුපැදිය එකිනෙක ගැටීමෙන් ආනන්ද වෙඩිසිංහ අනතුරට ලක්විය. එකිනෙක පැටලීම නිසා එහිදී ඔවුන් දෙදෙනාටම සිය යතුරුපැදි පාලනය කරගැනීමට නොහැකි වූ බවත්, පාලනයෙන් ගිලිහුණ වෙඩිසිංහගේ යතුරුපැදිය ආරක්ෂක වැටක ගැටී ඔහු යතුරුපැදියෙන් ඉවතට විසිවූ බවත් පැවසේ.

එලෙස යතුරුපැදියෙන් ඉවතට විසිවූ බව කියන වෙඩිසිංහගේ හිස ලී කොටයක වැදී ඇති අතර පාදයක් දැඩි ලෙස බිඳීයාමකට ලක්ව තිබේ. අනතුරට ලක්වීමෙන් පසු නුවරඑළිය රෝහලට ඇතුළත් කළ වෙඩිසිංහට අවශ්‍ය ප්‍රතිකාර කිරීම සඳහා එහි ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැති වූ බැවින් ඔහුව මහනුවර මහ රෝහලට මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

යතුරුපැදි ක්‍රීඩාව වෙනුවෙන්ම උපන් ක්‍රීඩකයෙක් ලෙස ආනන්ද වෙඩිසිංහ හැදින්විය හැකි අතර පසුගියදා පැවති නරියාකන්ද තරගාවලියේදී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ තමන්ගේ නාඩි වැටෙන තුරු රේස් පදින බවයි. පිට පිට 6 වරක් නරියාකන්ද සුපර්ක්‍රෙස් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගනිමින් වාර්තාවක්ද පිහිටවූ වෙඩිසිංහ, කිහිප වරක්ම ජාතික මොටෝ ක්‍රොස් ශූරතාවටද හිමිකම් කියා තිබේ.

නුවරඑළියේ පැවැති අදාල තරගය වෙඩිසිංහගේ නම විකුණමින් එහි සංවිධායකයින් විසින් සංවිධානය කර ඇතත් අනතුරට පත් වෙඩිසිංහ සිහිසුන් වී බිම වැටී සිටියදීත් තරගය නොනවත්වා පැවැත්වීමට සංවිධායකයින් විසින් කටයුතු කර ඇති බවද කියැවේ. වෙඩිසිංහ ඇද වැටී සිටි ස්ථානය වෙත ළගාවීමට විනාඩි විස්සකට වැඩි කාලයක් ගතවීම ඔහුගේ තත්වය මෙතරම් බරපතල වීමට හේතු වී ඇතැයිද තතුදත් අය කියති . මෙම තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විටත් බොහෝ තරගකරුවන් සිය අප්‍රසාදය පළ කර ඇති අතර මින් පෙරද මෙම තරගාවලිය පැවැති අවස්ථා දෙකකදී යතුරුපැදි ක්‍රීඩක රංජිත් ධනපාල සහ මෝටර් රථ රියැදුරු ඩිල්ෂාන් බණ්ඩාරනායකද දරුණු අනතුරු වලට මුහුණපා ජීවතක්ෂයට පත්ව තිබේ.

ඡායාරූපය ප්‍රවීන් රංගනගෙනි. ලිපියේ ඇතැම් තොරතුරු කෙලිබිම වෙබ් පිටුවෙන් උපුටා ගැණිනි.
www.waymbatoday.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article