Monday, April 29, 2024

දේශබන්දු පොලිස්පති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව එකඟ වුණා ද නැද්ද?

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන්

(පෙබරවාරි මස 26 වෙනිදා) පත් කරන ලදී.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව,මෙම පත්කිරීම සිදු කර ඇති බවය.

එහෙත් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට එරෙහිව නීතිඥවරුන්, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව රැසක් සිය විරෝධය පළ කරනු ලැබිය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව එකඟ වුණා ද නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවූයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස තබන ලද X සටහනක් හේතුවෙනි.

 

විපක්ෂ නායකයාගෙන් චෝදනාවක්

පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඊට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඉල්ලා තිබුණි.

කෙසේ වුවද (පෙබරවාරි මස 26 වෙනිදා) රැස්වූ ව්‍යවස්ථා දායක සභාව විසින් ඊට අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය X ගිණුම ඔස්සේ ප්‍රශ්න කර තිබිණි.

0000

 

“ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිගේ පත්වීම අනුමත කළේ නැහැ. ඡන්ද 4ක් ප්‍රකාශ වුණා. ජන්ද 2ක් පක්ෂව සහ ජන්ද දෙකක් එරෙහිවයි. තීරණයක් ගැනීම සඳහා අවම වශයෙන් ඡන්ද 5 ක් අවශ්‍ය වේ. කථානායකවරයාට ඡන්දයක් ඇත්තේ ඡන්දය සම වූ විට පමණි. ජන්ද 4/2 සම වීමක් නොවේ. දෙවන වරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. ලැජ්ජයි කතානායකතුමනි!”

විපක්ෂ නායකවරයා සිය X ගිණුමේ සඳහන් කර තිබිණි.

 

ව්‍යවස්ථාදායක සභාවට ලිපියක්

මෙරටේ ඉහළම අධිකරණය විසින් වරදකරුවෙකු ලෙස නම් කළ අයෙකු රටේ පොලිස්පතිවරයා ලෙස නම් කර ඇති බව මාධ්‍යවේදි තරිදු ජයවර්ධන විසින් කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

“ජනාධිපතිවරයා විසින් පොලිස්පති ලෙස පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් අතුරෙන් වැඩිම චෝදනා ලත් පොලිස් නිලධාරියා මෙන්ම මූලික අයිතිවාසිකම් කඩ කළ පුද්ගලයකු ලෙස ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය විසින් තීන්දු කරනු ලැබූ නිලධාරියකු වීම විශේෂත්වයකි.” යනුවෙන් තරිදු ජයවර්ධන විසින් යොමු කළ එම ලිපියේ දැක්වේ.

ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන තමන් 2021 වසරේ දී වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ තර්ජනයට ලක්වීම පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කළ බවටද ඔහු එම ලිපියේ කරුණු සඳහන් කර ඇත.

එමෙන්ම ඊට අදාල පැමිණිලිවලින් පොලිස් පැමිණිල්ල ගැන සාධාරණ විමර්ශනයක් සිදු නොවූ අතර මානව හිමිකම් කොමිෂන් සභා පැමිණිල්ල තවමත් විභාග වෙමින් තිබෙන බව ද ඔහු සිය ලිපියේ සඳහන් කර තිබේ.

එවැනි තත්ත්වයක දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම විමර්ශනවලට දැඩි බාධාවක් මෙන්ම තමන්ගේ ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් බවද මාධ්‍යවේදී තරිදු ජයවර්ධන පෙන්වා දෙයි.

 

‘චෝදනා රැසක් එල්ලවී ඇති කෙනෙක් මේ පත්කරලා තියෙන්නේ’

මේ අතර ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් බීබීසී සිංහල සමග අදහස් දක්වමින් කියා සිටියේ නව පොලිස්පතිවරයාගේ පත් කිරීමත් සමග විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් පවතින බවයි.

“දැනට තිබෙන තොරතුරු අනුව විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් පවතිනවා ”

“පොලිස්පතිවරයා පත්වන්නේත් ව්‍යවස්ථාදායක සභාවේ බහුතර කැමැත්ත, නියමිත ඡන්දය නොමැතිව කියලයි ආරංචි වන්නේ. ”

“මේ පොලිස්පතිවරයාට චෝදනා රැසක් එල්ල වී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ නියමිත ක්‍රියාපටිපාටියකින් තොරව ජනාධිපතිවරයා ගේ කැමැත්ත පරිදි අධිකරණයෙන් වැරදිකරුවෙකු ලෙස නම් කළ අයෙකු මහජන සාමය ආරක්ෂා කරන දෙපාර්තමේන්තුවක ප්‍රධානියා ලෙස පත් කිරීම බරපතල තත්ත්වයක් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට.”

“ඒ වගේම දැනට පත්කර ඇති පොලිස්පතිවරයා මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය, සිදුකළ දේවල් සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධානයක් විදිහට අපේ කිසිම පැහැදීමක් නැහැ.”

“අපිට බරපතල ගැටලුවක් තියෙනවා ආණ්ඩුව ගෙන එන අණපනත්, මර්දනකාරි වැඩපිළිවෙල සඳහා අවශ්‍ය වෙන්නේ මේ වගේ පොලිස්පතිවරයෙක් ද කියලා ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉටුකරන්න.” ඔහු කියා සිටියේය.

 

අධිකරණය හමුවේ වැරදිකරු වූ දේශබන්දු තෙන්නකෝන්

පුද්ගලයකුව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, නීති විරෝධීව රඳවා තබා ගනිමින්, කෲර අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකීම සම්බන්ධයෙන් 2010 වසරේ නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළ වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මූලික අයිතිවාසිකම් කඩ කළ පුද්ගලයකු බවට ශ්‍රේෂ්ඨාධිකරණය SC FR 107/2011 දරණ මූලික අයිතිවාසිමක් නඩුවේදී තීන්දු කර තිබේ.

එහිදී වත්මන් පොලිස්පතිවරයා ඇතුළු චෝදනාවට වැරදිකරු වූ චුදිතයින්ට සිය පෞද්ගලික මුදලින් පැමිණිලිකරුට වන්දි ගෙවන ලෙසත්, රාජ්‍ය නිලධාරින් වීම නිසා ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවේ ප්‍රකාශ කර තිබිණි.

මීට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම විසින් එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දුන් අවසන් වාර්තාව අනුව ප්‍රහාරය එල්ල වන මොහොතේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කොළඹ උතුරු දිසාව භාර කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද නිර්දේශ කර තිබුණි.

ඒ, එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පාලන බල ප්‍රදේශයේ පිහිටි කටුවාපිටිය කතෝලික දේවස්ථානයට ද පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අනුවයි.

එසේම ගාලු‍මුවදොර සාමකාමී විරෝධතා භූමියට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද සැකකරුවකු ලෙස නම් කරන ලෙසට නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබා දී තිබිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊට එරෙහිව අභියාචනාධිකරණයට යොමු කරන ලද පෙත්සමක ප්‍රතිඵලයක් ලෙස එම විමර්ශන නතර වුවද නීතිපතිවරයා විසින් මේ වන විට එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කර තිබේ.

මේ ආකාරයෙන් වත්මන් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු කිහිපයක් ගොනු වී ඇත.

මේ අතර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තොන්නකෝන් පත්කිරීම ප්‍රතික්ෂේප කරන බවයි.

“ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කරලා තියනවා ඔහු වද හිංසාවට සම්බන්ධයෙන් වැරදිකරුවෙක් කියලා.”
“වද හිංසාව කරපු මනුස්සයව කොහොමද පොලිස්පති තනතුරට පත් කරන්නේ? කොයි රටේද එහෙම කරන්නේ? ඒක සම්පුර්ණයෙන්ම වැරදි.”
“අනෙක් එක ප්‍රශ්නයක් තියෙනවා ව්‍යවස්ථාදායක සභාව මේකට එකඟ වුනාද නැද්ද කියලා. මේක සම්පුර්ණයෙන්ම හරි නැහැ.”
“අපි බලනවා ඉදිරියට කරන්න පුළුවන් මොකක්ද කියලා.” අචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු පැවසුවේය.

‘අපිට එහෙම තොරතුරක් ලැබිලා තිබුණේ නැහැ’

නව පොලිස්පතිවරයාගේ පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නගා ඇති චෝදනාව සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් විමසීය.

ඊට කථානායකවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

“ඇතුළේ සිද්ධ වුනු (ව්‍යවස්ථාදායක සභාව තුළ) දේවල් ගැන අපි එළියේ කතා කරන්නේ නැහැ. ඒක හැමෝම එකඟ වුණු තීරණයක්.”
“මම දන්නේ නැහැ විපක්ෂ නායකතුමා ඔය වගේ ප්‍රකාශයක් කළේ ඇයි කියලා.”
“නමුත් අපේ මුලික එකඟතාවයක් තියෙනවා මේක ඇතුළේ මොන විදිහට කතා කළත් පිටත දී ඒ ගත්තු තීරණවල ඉන්නවා කියලා.” කතානායකවරයා පැවසීය.
නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමේදී ඔහු සම්බන්ධයෙන් මුලික අයිතිවාසිකම් කඩ කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබාදී ඇති තීන්දු පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ අවධානය යොමු නොකළ බවට එල්ල වන චෝදනාව ගැන ලබා දෙන පිළිතුර කුමක්දැයි බීබීසී සිංහල සේවය කතානායකවරයාගෙන් විමසීමක් කරන ලදී.

ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ සිදුකළ සොයා බැලීම් වලදී එවන් දෙයක් අනාවරණය නොවූ බවයි.

 

“අපි සොයා බලපු විදිහට නම් නැතෙයි කියලයි තියෙන්නේ. එයාට විරුද්ධව චෝදනාවක් නැහැ කියලයි. ඒ රුපියල් 50,000 වන්දියක් ගෙවන්න කියලා තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව එහෙමයි තියෙන්නේ.” කතානායකවරයා පැවසීය.

 

පොලිස්පති පත් කිරීමේ ලේඛණ අධිකරණය හමුවට ගොනු කරන්න අවසර

මේ අතර නව පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට අදාළ තීන්දු තීරණවලට සම්බන්ධ සියලු ලේඛන හා දත්ත අධිකරණය හමුවේ ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද පාර්ශවකරුවන්ට අවසර ලබා දෙන ලදී.

පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මීට පෙර කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 ක් අද (පෙබරවාරි 27 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

මෙම පෙත්සම අද (පෙබරවාරි 27 වැනිදා) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ පොලිස්පතිවරයාගේ පත්වීම මේ වන විට සිදුකර අවසන්ව ඇති හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව ය.

අදාළ පෙත්සම්වල වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටින දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ද අධිකරණය හමුවේ මෙසේ කරුණු දක්වා සිටියේය.

 

“ස්වාමීනී. මෙම පෙත්සම් වලින් ඉල්ලා තිබෙන්නේ මාගේ සේවාදායකයා වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඊයේ (පෙබරවාරි මස 26 වෙනිදා) දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් මාගේ සේවා දායකයා පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. එම තත්ත්වය හමුවේ මෙම පෙත්සම් පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. ඔහුගේ පත්කිරීම තුළ යම්කිසි ගැටළු සහගත තත්ත්වයක් තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් වෙනත් නඩුවක් ඉදිරිපත් කළ යුතුයි. මෙම නඩුකර තුළින් එම කරුණු අභියෝගයට ලක් කිරීමට පෙත්සම්කරුවන්ට හැකියාවක් නැහැ.”යනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී අරගලයේ ක්‍රියාකාරිකයින් වශයෙන් කටයුතු කළ නීතිඥ මනෝජ් නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම නීතියේ ආධිපත්‍යයට සිදුකළ අභියෝගයක් බව ය.

 

“ස්වාමීනි.වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ බලන පොලිස්පති ධුර කාලය මේ මස 29 වන දා අවසන් වීමට නියමිතව තිබුණා. ඒ නිසයි අධිකරණය අදාළ පෙත්සම් අද දින සලකා බැලීමට දින නියම කළේ. එසේ තිබියදී වගඋත්තරකරුව ඊයේ දින පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබෙනවා. මේක නීතියේ ආධිපත්‍යයට සිදුකළ අභියෝගයක්. මාගේ පෙත්සමෙන් පොලිස්පතිවරයා පත් කිරීමත් අභියෝගයට ලක් කර තිබෙනවා. ඒ නිසා මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නැහැ.”යනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පැවසුවේය.

තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ නව පොලිස්පතිවරයා පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින් දෙදෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවයි.

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ” මෙම නඩුකරවලට අදාළව ඊයේ දින විශේෂ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සඳහන් වෙනවා. ඊට අදාළ තොරතුරු මෙම පෙත්සම් වල අන්තර්ගත කර නැහැ. උදා වී තිබෙන අලුත් තත්ත්වයන් පිළිබඳ තොරතුරු නොමැතිව අධිකරණයට තීන්දුවක් ගැනීමට අපහසුයි.” යනුවෙනි.

එමෙන්ම විනිසුරුවරයා මෙම කරුණට අදාළව වර්තමානයේ උද්ගත වී තිබෙන නව තත්ත්වයන් පිළිබඳ තොරතුරු ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පෙත්සම් සලකා බැලීම සුදුසු බව පෙන්වා දෙන ලදී.

එහිදී අදාළ පෙත්සම්වල වග උත්තරකරු වශයෙන් නම්කර සිටින ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සාමාජික කබීර් හෂිම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ නව පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව ඊයේ දින පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභා රැස්වීමේ කාර්ය සටහන් තමන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව නව පොලිස්පතිවරයා පත්කිරීමට අදාළ සියලු ලිපි ලේඛන හා දත්ත අධිකරණය හමුවේ ගොනු කිරීමට පාර්ශ්වකරුවන්ට අවසර දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අප්‍රෙල් මස 02 වන දා යළි කැඳවන ලෙසට නියෝග කරන ලදී.

(BBC සිංහල සේවය)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article