Thursday, May 9, 2024

ඩේල් වීදිය Dale Stree

Must read


⁣අයර්ලන්ත මුහුදට ගලා බසින මර්සි ගංගාවේ මඩ පිරුනු දෝණියක 1207 දී ජෝන් රජු විසින් එච් අකුරේ හැඩයට තනන ලද පාරවල් හතක් නිර්මාණය කරමින් ලිවර්පූල් නගරය ගොඩනැගීම ආරම්භ කළේය. එම මාවත් හතෙන් එකක් වන ඩේල් වීදිය (Dale Street) අදටත් ලිවර්පූල් නගරයේ හදවත වැනි වන අතර නගරයේ මා කැමතිම වීදියද වේ. ජෝන් රජු එදා තැනවූ අනෙක් වීදි වූවේ කාසල් වීදිය ( Castle Street), ඕල්ඩ් හෝල් වීදිය ( Old Hall Street), චැපල් වීදිය (Chapel Street), හයි වීදිය (High Street), ටිත්බාම් වීදිය (Tithebarn Street) සහ වෝටර් වීදිය Water Street වන අතර මේ සියළු මාවත් අද ඓතිහාසික ගොඩනැගිළි පිරිවරා සිටී.

ව්වේක ඇති විටෙක ඩේල් වීදිය ඔස්සේ ඇවිද යන මම, ඒ යන හැම විටෙකම වීදිය සහ එහි ගොඩනැගිළි දෙස අළුත් කෝණයකින් දකින්⁣න උත්සාහ කරමි. ඓතිහාසික ගොඩනැගිලිවල ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පයේ සිට මේ දක්වා දශක ගනණාවක් පුරා ඉඳිකෙරුනු ගොඩනැගිලි මුදුන් වලින් වට කර ඇති අහසේ විවිධ හැඩතල දෙස වෙනස් කෝණයන්ගෙන් බැලීමට උත්සාහ කරමි.

ඇතැම් විටෙක කොබ්ලෙ ගල් (Cobblestone) ඇතිරූ කුඩා අතුරු පාරවල් අසල නතර වන මා, ඒ අතරින් අතීත වික්ටෝරියානු නාගරික ජන ජීවිතය මෙනෙහි කිරීමට උත්සාහ කරමි. පොලොවේ අතුරා ඇති ඒ හැම ගල් කැටයකටම උරුම අතීත කතාවන් පිළිබඳ හැඟීම මට එවිට දැනෙන්ට පටන් ගන්නේය. ගල් කැට මත ඇවිද ගිය අතීත මිනිසුන් විසින් විසින් නව ලෝකයක් ගවේශණය කිරීමට ලිවර්පූල් නගරයේ සිට ලෝකය පුරා ගිය අන්දමත්, එම දීර්ඝ අඳුරු නාවික ගමන් විසින් අපේ මුතුන් මිත්තන් විසූ ලංකාව වැනි ඈත පෙරදිග කුඩා දූපත් වලට කල ඓතිහාසික බලපෑම්ද එවිට මට සිහිපත් වේ. ඩේල් වීදියේ ගල් වලින් තනා රතු ග්‍රැනයිට් වලින් අලංකාර කරන ලද ගොතික් ශෛලියේ ගොඩනැගිළි වල ඉපැරණි හැඩ තල තවමත් අපට කියන්නේ බ්‍රිතාන්‍යයේ ඒ ආඩම්බරකාර ඉතිහාසයේ කතාවය.

සමස්ත ඩේල් වීදියම විසින් ලිවර්පූල් නගරයේ පොහොසත් ඉතිහාසය, වාස්තුවිද්‍යාත්මක උරුමය සහ වාණිජ වැදගත්කම සංකේතවත කරන අතර නගරයේ අනන්‍යතාවයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කරයි. එය වර්තමාන ලිවර්පූල් හි වාණිජ හදවතේ කොටසක් වන්නේ සියවස් ගණනාවක වීදියේ ඓතිහාසික අනන්‍යතාවයත් සමග ගලා ආ සංවර්ධනයන් සහ විකාශයන් හරහාය. ඒ ඉතිහාසයේ සිට මේ දක්වාම, ඩේල් වීදිය වෙළඳාම සහ වාණිජ කටයුතු සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස සේවය කරයි. එය ලිවර්පූල් හි ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් බොහෝ ව්‍යාපාර, බැංකු සහ ආයතනවල නිවහන විය. ඒ සියළු ඓතිහාසික සහ සමාජීය වැදගත් කම අතර ඩේල් වීදිය හා බැඳුනු නව ව්‍යාපාර අවස්ථාවන් ගොඩ නැගෙමින් තිබෙනු දකින්නට හැක. ඩේල් වීදියේ ඇති එවන් කුඩා ව්‍යාපාරයකි The Twins Flavour Liverpool. ලතින් ඇමරිකාවේ කොළොම්බියානු නිවුන් සහෝදරියන් දෙපලක් විසින් පවත්වාගෙන යනු ලබන කොළොම්බියානු වීදි ආහාර පාන ශාලාව. ඩේල් වීදියේ ගොඩනැගිලි වල ඇති විවිධ වර්ණ අතරට කොඩියකින් කහ, නිල් සහ රතු වර්ණය එක් කර වීදිය තවත් වර්ණවත් කල මෙම දෙසොහොයුරියන් වසරක පමන කාලයක් පුරා ඉතා සාර්ථක ලෙස ලෝක අහාර භුක්ති විඳීමට සොයන සංචාරකයන්ට කොළොම්බියානු ආහාර සපයයි.

ඩේල් වීදිය දිගේ ඇති ගොඩනැගිළි ගෘහ නිර්මාණ ශිල්පය විවිධ යුගවල විවිධ මෝස්තර ප්‍රදර්ශනය කරයි. නගර ශාලාව, මාටින්ස් බැංකු ගොඩනැගිල්ල සහ පැරණි වයිට් ස්ටාර් ලයින් ගොඩනැගිල්ල වැනි ගොඩනැගිලි ශ්‍රේෂ්ඨත්වය සහ ඓතිහාසික වැදගත්කම ප්‍රදර්ශනය කරයි. ඒ අතර ඩේල් වීදිය අරා සිටින ප්‍රධාන ගොඩනැගිල්ල වන්නේ ලිවර්පූල් නගර ශාලාවය. ඩේල් වීදිය, කාසල් වීදිය සහ මර්සි ගංගාවේ නැව් තටාකාංගනය දෙස සිට එන වෝටර් වීදිය එකතුවන හංදියේ මැදට වන්නට පිහිටා ඇති එම ගොඩනැගිල්ල එන්ගලන්තයේ ජාතික උරුම ලැයිස්තුවේ ඇති හොඳම ගොඩනැගිලි වලින් එකකි.

[මෙහි පලවන ඡායාරූප සියල්ල ඩේල් වීදිය කේන්ද්‍රගත කරමින් ඩේල් වීදියේ හෝ එයට සම්බන්ධවන අතුරු පාරවල් වල ගත් ඒවා වේ.]
ඡායාරූප සහ සටහන / අනුරුද්ධ ලොකුහපුආරච්චි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article