යාපනය චෙම්මනි-සිත්තුප්පාත්ති සුසාන භූමියේ වළදමා ඇති පිරිස් වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් යාපනය රෝමානු කතෝලික යුක්තිය නීතිය සහ සාමය පිළිබඳ කොමිසම මගින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතා පාගමනක් අද (ජූලි 30) චෙම්මනි ප්‍රදේශයේදී පැවැත්විණි.
කොමිසමේ සභාපති අන්තෝනිපිල්ලෙයි ඔගස්ටින් පියතුමන්ගේ සංවිධායකත්වයෙන්, අරියාලෙයි ශුද්ධ වූ යූදා තදේවූස් ප්‍රතිමාව අබියසින් ආරම්භ වූ මෙම පාගමන චෙම්මනි හන්දිය දක්වා ගමන් කළේය.

පාගමන අවසානයේදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා වෙත භාරදීමට නියමිත හදිසි නීතිමය ඉල්ලීම් ඇතුළත් ප්‍රකාශය අන්තෝනිපිල්ලෙයි ඔගස්ටින් පියතුමන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
එම ප්‍රකාශය මගින් දක්වා ඇත්තේ, 2026 ජූලි 21 වන විට කුඩා දරුවන්ගේ සහ බිළිඳුන්ගේ ශේෂ කොටස් ඇතුළුව මානව අස්ථි සැකිලි 454ක් සොයාගෙන ඇති පසුබිමක, සත්‍යය සහ වගවීම තහවුරු කිරීම සඳහා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.
තවද, මානව ශේෂ ගොඩගැනීම, හඳුනාගැනීම සහ ආරක්ෂා කිරීම ‘මිනසෝටා සම්මුතිය’ (Minnesota Protocol) ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුවිය යුතු බවත්, ස්වාධීන DNA පරීක්ෂණ, වින්දිත පවුල්වල සහභාගීත්වය සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත් එහි අවධාරණය කර ඇත.
ඊට අමතරව, චෙම්මනි සමුහ මිනිවලේ කටයුතු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් නිරන්තරයෙන් නිරීක්ෂණය කර සාක්ෂි ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බවත්, සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයක පැවැත්ම අත්‍යවශ්‍ය බවත් ඉල්ලා සිටියි.
මෙම විරෝධතාව සඳහා යාපනය පදවියේ ප්‍රධාන විකාර් ජෙනරාල් ජෙබරත්නම් පියතුමා, පෝල් ජෙයන්දම් පචෙක් පියතුමා ඇතුළු පූජකවරුන්, පූජකවරියන් සහ ප්‍රදේශවාසීන් 100කට අධික පිරිසක් සහභාගී වූහ.

