Sunday, April 28, 2024

ගෝඨා සර් ආධාර කළේ නැහැ – අබ්දුල් රාසික්

Must read

ජිහාඩ්වාදය යනු ත්‍රස්තවාදී සංකල්පයක් නොවන බවත් එය ක්‍රියාත්මක කළ හැක්කේ මුස්ලිම් බහුතරයක් වෙසෙන රාජ්‍යයක් තුළ රාජ්‍ය අනුග්‍රහය යටතේ පමණක් බවත් ශ්‍රී ලංකා තවුහීද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් පැවසීය.

ඔහු එම අදහස් පළ කළේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ බ්‍රහස්පතින්දා (ජූනි 20) සාක්ෂි දෙමිනි.

“මුස්ලිම් රටක ආරක්ෂක හමුදාවට තමයි ජිහාඩ් කියන්නේ. සිවිල් කණ්ඩායම් හරි පුද්ගලයින් හරි අවි අමෝරාගෙන ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වෙන එකට නෙවෙයි ජිහාඩ් කියන්නේ. සමහර අය මේ ජිහාඩ් කියන එකට දීලා තියෙන්නේ වැරදි අදහසක්,” අබ්දුල් රාසික් පැවසීය.

“අන්‍යාගමිකයින් ඝාතනය කරන්න ඉස්ලාම් ධර්මය අනුව බැහැ”

‘අබ්දුල් රාසික් ත්‍රස්තවාදියෙකු වන බවත් ඔහු අත්අඩංගුවට නොගන්නේ මන්දැයි’ අසාත් සාලි මීට පෙර කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, තමන් කිසිදු ආකාරයකින් ප්‍රචණ්ඩ ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති අතර එසේ සම්බන්ධ වූ බවට වරදකරු වුවහොත් නීතියෙන් තමන්ට දඬුවම් කළ යුතු බවය.

“බග්දාදිගේ නම කියනකොට ඇඟ කිළිපොලා යනවා කියලා නෙවේ මම කිව්වේ. ඔහු වැනි ත්‍රස්තවාදීන් මුල් කාලයේදී කියන ආකර්ෂණීය ප්‍රකාශවලට අපේ ඇඟ කිළිපොලා ගියත් පසු කාලීනව ඔවුන් ත්‍රස්තවාදීන් බවට පත්වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් ගැන විශ්වාස කළ නොහැකියි කියලයි මම කිව්වේ,” අබ්දුල් රාසික් පැවසීය.

බුද්ධි අංශයෙන් වැටුප් ගෙව්වා ද?

කාන්තාවන් විවාහ විය යුතු වයස සම්බන්ධයෙන් 2016 වසරේදී පැවැත්වූ උද්ඝෝෂණයක් පිළිබඳව කාරක සභාවේ සාමාජිකයෝ මෙහිදී ප්‍රශ්න කළහ.

මහාචාර්ය ආශු මාරසිංහ: මේ උද්ඝෝෂණය කරන්න ඔබට කවුරු හරි අනුබල ආධාර දුන්නා ද?

අබ්දුල් රාසික්: මම සහතික කරල කියන්නම් සර්. කිසිදු රාජ්‍ය ආයතනයකින් හෝ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් හෝ ….

මහාචාර්ය ආශු මාරසිංහ: ඇයි ඔබ තුමා එතුමාගේ නම කිව්වේ?

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න: ඇයි ප්‍රශ්නෙ අවසන් වෙන්නත් ඉස්සෙල්ලා යම් යම් අය ආරක්ෂා කරමින් කතා කරනවා. මට බුද්ධි අංශය උදව් කෙරුවේ නැහැ. අහවල් මහත්තයා උදව් කෙරුවේ නැහැ. ඔබට උවමනාවක් තියෙනවා වගේ යම් කිසි දෙයක් හංගන්න. ඔබේ සාක්ෂියෙන් පෙන්නුම් කරන්නේ ඒකයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා: ගොනාට ඉස්සෙල්ලා කරත්තේ ගියා..

අබ්දුල් රාසික්: නෑ සර්. සාමාන්‍යයෙන් චරිත ඝාතනයක් සිද්ධ වෙනවා සර් වැටුප් අරගෙන මම වැඩ කෙරුවා කියලා. එහෙම කවදාවත් කරලා නැහැ කියන එකයි මම කිව්වේ.

 107469045 c789b16f 50f7 435b 8a7a c1a3aad940eb

කාන්තාවන් මුහුණු ආවරණය කිරීම

මුස්ලිම් කාන්තාවන් මුහුණු ආවරණය කිරීම අනිවාර්යයෙන් ම කළ යුතු බවට කුරාණයේ කිසිදු සඳහනක් නොමැති බව ද අබ්දුල් රාසික් මෙහිදී පැවසීය.

එමෙන් ම, කාන්තාවන්ට පල්ලි තුළට ඇතුළු වීමට අවසර දිය යුතු බවත්, පාරිශුද්ධත්වය යනු ප්‍රතිපත්තිමය කාරණයක් මිස භෞතික කාරණයක් නොවන බවත් සිය දේශනවලදී පෙන්වා දුන් අතර එම ඉගැන්වීම් නිසා සහරාන් විසින් තමන් ඇතුළු සිය සංවිධානය විනාශ කළ යුතු බවට සහරාන් පවසා ඇතැයි වීඩියෝ පටයක් ද ඉදිරිපත් කරමින් ඔහු පැවසීය.

“අපි කියන්නේ තොප්පි අවශ්‍ය නෑ. කාන්තාවන් මුහුණු වහන්න ඕන නෑ. සාමාන්‍ය ඇඳුම් අඳින්න කියන එකයි.”

සිය සංවිධානය මූලධර්මවාදී හෝ අන්තවාදී සංවිධානයක් නොවන බවත් කුරාණයට පටහැනි ආකාරයට මන්ත්‍ර ගුරුකම් විශ්වාස කිරීම, මළවුන් ඇදහීම, පිළිම වන්දනාව නොකරන ලෙසට දේශනා කළ බවත් ඔහු පැවසීය.

 සහරාන් සමග සබඳතා පැවැත්වූවා ද?

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විමසුවේ, සහරාන් හමුවී හෝ ඔහු සමග කටයුතු කර හෝ තිබේ ද? යනුවෙනි.

“සහරාන් අපි එක්ක හිටියේ නැහැ. මුණ ගැහිලත් නෑ. එයා අපේ මතයට විරුද්ධ මතයකයි හිටියේ,” ඔහුගේ පිළිතුර විය.

“කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරු අපි එක්ක හිටිය කෙනෙක්”

කටුවාපිටිය දේවස්ථානයේදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් හස්තූන් නමැත්තා සහරා සුලක්ෂිණී නමැති හින්දු තරුණියක් සමග පැමිණ ඇය ඉස්ලාම් ආගමට බඳවා ගන්නා ලෙස ඉල්ලා සිටි බවත්, ඇය වයස අවුරුදු 18ට වැඩි තරුණියක වූ හෙයින් ඊට සහය දුන් බවත්, පසුව ඔවුන් නවාතැන් දෙන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු සිය සංවිධානයෙන් ඉවත් වන බවට ලිපියකින් දැනුම් දුන් බවත් අබ්දුල් රාසික් පැවසීය.

ඔහු එම සිද්ධියෙන් පසු සිය සංවිධානය සමග සම්බන්ධ නොවූ බව ද ඔහු සඳහන් කළේය.

 වැරදි අර්ථකථන

අබ්දුල් රාසික් කරන ලද දේශනයකදී ගිලන් වූ හිමිනමකගේ කතාවක් බුදුන් වහන්සේ ලෙස හඳුන්වා දීමක් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කෙරිණි.

එහිදී ඔහු පැවසුවේ, තමන් නොදැනුවත්ව යම් වරදක් එහිදී සිදුවූ අතර පසුව අධිකරණය හමුවේ තමන් සමාව ඉල්ලා එම වරද නිවැරදි කිරීමට ක්‍රියා කළ බවය.

එහිදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේ, “ඔබ යමක් හරියට දන්නේ නැතුව දේශනා කරන එක නවත්තන්න. දේශනා නවත්වලා මුල ඉඳන් ඒ ගැන ඉගෙන ගන්න,” යනුවෙනි.

ළමා විවාහ:

මෙහිදී වයස අවුරුදු 18ට වඩා අඩු දැරියන් විවාහ කර දීම පිළිබඳව ද අදහස් විමසීය.

එහිදී අබ්දුල් රාසික් පැවසුවේ, විවාහ වන වයස් සීමාව අවුරුදු 18 ලෙසට නීතියක් පැනවීම පිළිබඳව තමන් අකමැති නොවන නමුත් ඇතැම් ව්‍යතිරේඛ යටතේ අවසරයක් ඇතිව ඊට අඩු දැරියන් විවාහ කර දීම කළ හැකි බවය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, “හැබැයි, නමුත් කියන්න බෑ. නීතියක් ගෙනාවොත් හැමෝ ම නීතියට එකඟ වෙන්න ඕන,” යනුවෙනි.

එහිදී හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් පෙන්වා දුන්නේ, මේ වන විට මුස්ලිම් රටවල් රැසක් විවාහ විය යුතු අවම වයස් සීමාව අවුරුදු 18 බවට පිළිගෙන තිබෙන හෙයින් එය ඉස්ලාම් ධර්මයට පටහැනි නොවන බව පිළිනොගැනීමට හේතුවක් නොමැති බවය.

 ප්‍රහාරයක් පිළිබඳව කලින් දැන සිටියා ද?

2016 වසරේදී සහරාන් ඔහුගේ ෆේස්බුක් පිටුවෙහි පළ කළ වීඩියෝවක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණිලි කළ බව ඔහු සඳහන් කළේය.

ඔහු පැවසුවේ, එම වීඩියෝවෙහි පළ කර තිබූ අදහස් පිළිබඳව තමන්ට සැකයක් ඇති වූ හෙයින් එසේ පැමිණිලි කළ බවය.

(බීබීසී සිංහල සේවය)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article