Wednesday, May 1, 2024

ඊශ්‍රායලය සහ ගාසා තීරය පිළිබඳ අදහස් – බැරක් ඔබාමා

Must read

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව සිය බිහිසුණු ප්‍රහාරය දියත් කර, අනාරක්ෂිත කාන්තාවන්, ළමුන් සහ වැඩිහිටියන් ඇතුළු ඊශ්‍රායල පුරවැසියන් 1,400කට අධික සංඛ්‍යාවක් ඝාතනය කර දින 17ක් ගතවී ඇත. එවැනි කිව නොහැකි ම්ලේච්ඡත්වයකින් පසුව, එක්සත් ජනපද රජය සහ ඇමරිකානු ජනතාව, එම පවුල්හි ශෝකයට  හවුල් වී, ඔවුන්ගේ ආදරණීයයන් නැවත පැමිණීම සඳහා යාඥා කර, ඊශ්‍රායල ජනතාව සමඟ සහයෝගීතාව නිවැරදිව ප්‍රකාශ කර ඇත.
මා කලින් පෝස්ටුවක ප්‍රකාශ කළ පරිදි, ඊශ්‍රායලයට එවැනි අනවශ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව තම පුරවැසියන් ආරක්ෂා කිරීමට අයිතියක් ඇත. හමාස් හඹා යාමේදී, එහි මිලිටරි හැකියාවන් බිඳ දැමීම සඳහා සහ ප්‍රාණ ඇපකරුවන් සිය ගණනක් ඔවුන්ගේ පවුල් වෙත ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීමට පහසුකම් සැලසීම සඳහා සහය දැක්වීම සඳහා සහාය දෙන ලෙස ජනාධිපති බයිඩන් එක්සත් ජනපදය වෙතින් කළ ඉල්ලීමට මම පූර්ණ සහය දෙමි.
එනමුත් අප ඊශ්‍රායලයට සහය දෙන අතරවාරයේම, හමාස්  සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය මෙම සටන කරගෙන යන්නේ කෙසේද යන්නත් අපේ සැළකිල්ලට ලක්විය යුතුය. විශේෂයෙන්, එය වැදගත් වන්නේ – ජනාධිපති බයිඩන් නැවත නැවතත් අවධාරණය කර ඇති පරිදි – ඊශ්‍රායලයේ මිලිටරි උපායමාර්ගය ජාත්‍යන්තර නීතියට අනුකූල විය යුතු නිසාය. හැකි සෑම ප්‍රමාණයකටම, සිවිල් වැසියන්ගේ මරණ හෝ දුක් වේදනා වළක්වා ගැනීමට උත්සාහ කරන නීති ද ඊට ඇතුළත් ය. මෙම සාරධර්ම ආරක්ෂා කිරීම  ඊශ්‍රාලයේ යහපත සඳහා වැදගත් වේ.  එය සදාචාරමය වශයෙන් යුක්ති සහගත වන අතර සෑම මිනිස් ජීවිතයකම ආවේනික වටිනාකම පිළිබඳ අපගේ විශ්වාසය පිළිබිඹු කරයි.
මෙම සාරධර්ම ආරක්ෂා කිරීම සන්ධාන ගොඩනැගීමට සහ ජාත්‍යන්තර මතය හැඩගැස්වීම සඳහා ද අත්‍යවශ්‍ය වේ. මේ සියල්ල ඊශ්‍රායලයේ දිගුකාලීන ආරක්ෂාව සඳහා තීරණාත්මක ය.

“කෙසේවෙතත්, කලාපයේ සිදුවීම් දිග හැරෙන අන්දම ලෝකය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, සිවිල් ජනයාගේ මරණ නොසලකා හරින ඕනෑම ඊශ්‍රායල හමුදා උපාය මාර්ගයක් අවසානයේ ආපසු හැරීම ඒමට ඉඩ තිබේ.”

මෙය අතිශය දුෂ්කර කාර්යයකි. යුද්ධය සෑම විටම ඛේදනීය වන අතර, ඉතා සුපරීක්ෂාකාරීව සැලසුම් කරන ලද හමුදා මෙහෙයුම් පවා බොහෝ විට සිවිල් වැසියන් අවදානමට ලක් කරයි. මෑතදී ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ ජනාධිපති බයිඩන් සඳහන් කළ පරිදි, යුද්ධයන්හිදී ඇමරිකාවම ඇතැම් විට අපගේ උසස් සාරධර්මවලින් පහළට වැටී තිබේ.
9/11 න් පසු, එක්සත් ජනපද රජය අල්කයිඩාවට එරෙහිව අප ආරක්ෂා වීමට ගත් පියවර සම්බන්ධයෙන් මිත්‍ර පාක්ෂික රටවල උපදෙස් පවා පිළිපැදීමට අප උනන්දු වූයේ නැත.
දැන්, ඊශ්‍රායල පුරවැසියන් ක්‍රමානුකූලව සමූලඝාතනය කිරීමෙන් පසුව, යුදෙව් ජනතාවට එරෙහි හිංසා පීඩා පිළිබඳ අඳුරු මතකයන් කිහිපයක් අවදි කරන එම සමූලඝාතනයෙන් පසුව, බොහෝ ඊශ්‍රායල ජාතිකයන් තම රජය හමාස් මුලිනුපුටා දැමීමට අවශ්‍ය ඕනෑම දෙයක් කළ යුතු බවත් එවැනි ප්‍රහාර නැවත කිසි විටෙකත් සිදු නොවන බවට වග බලා ගන්නා ලෙසත් ඉල්ලා සිටීම තේරුම් ගත හැකිය.
එපමනක් නොව, හමාස් මිලිටරි මෙහෙයුම් ගාසා තීරය තුළ ගැඹුරින් කාවැදී ඇත. එහි නායකත්වය හිතාමතාම සිවිල් වැසියන් අතර සැඟවී සිටින බව පෙනේ. එමගින් ඔවුන් නියෝජනය කරන බව පවසන ජනතාවම අනතුරේ හෙළයි.

“අනාගත සාමයේ අපේක්ෂාවන් වෙන කවරදාටත් වඩා දුරස්ථ බවක් පෙනෙන්නට තිබුණද, ඊශ්‍රායලයේ පැවැත්මේ අයිතිය පිළිගන්නා පලස්තීන නායකයින් සහ සංවිධාන සමඟ පලස්තීනුවන්ට ස්වයං නිර්ණය සඳහා ඔවුන්ගේ නීත්‍යානුකූල අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්‍ය මාවතක් සොයා ගැනීම ආරම්භ කිරීම සඳහා සම්බන්ධ වන ලෙස අපි කලාපයේ සියලුම ප්‍රධාන රටවලින් ඉල්ලා සිටිය යුතුය.”

කෙසේවෙතත්, කලාපයේ සිදුවීම් දිග හැරෙන අන්දම ලෝකය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, සිවිල් ජනයාගේ මරණ නොසලකා හරින ඕනෑම ඊශ්‍රායල හමුදා උපාය මාර්ගයක් අවසානයේ ආපසු හැරීම ඒමට ඉඩ තිබේ.
දැනටමත් ගාසා තීරයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන්ගෙන් පලස්තීනුවන් දහස් ගණනක් මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කුඩා දරුවන් ය. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තම නිවෙස්වලින් පිටමං කර ඇත. බලහත්කාර යටත් කිරීමට ලක් කර සිටින සිටින සිවිල් ජනතාවකට ආහාර, ජලය සහ විදුලිය කපා හැරීමට ඊශ්‍රායල ආණ්ඩුව ගත් තීරණය, වර්ධනය වන මානුෂීය අර්බුදය නරක අතට හරවනවා පමණක් නොවේ; එමගින් පරම්පරා ගණනාවක් පුරා පවතින සේ  පලස්තීන ආකල්ප තවදුරටත් දැඩි කළ හැකිය; ඊශ්‍රායලයට ඇති ගෝලීය සහයෝගය ඛාදනය විය හැකිය. ඊශ්‍රායලයේ සතුරන් අතට ආයුධ ලැබිය හැකිය; කලාපය තුළ සාමය සහ ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා දිගු කාලීන උත්සාහයන් අඩපණ කළ හැකිය.
එබැවින් ඊශ්‍රායලයට අවශ්‍ය අවස්ථාවන්හිදී සහාය දක්වන අප, තවදුරටත් සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කර ගනිමින් හමාස් සංවිධානය අකර්මණ්‍ය කළ හැකි උපාය මාර්ගයක්  දිරිමත් කිරීම වැදගත් වේ. සහන ට්‍රක් රථ ගාසා තීරයට ඇතුළු කිරීමට අවසර දීමට ඊශ්‍රායලයේ මෑත කාලීන මාරුව දිරිගන්වන පියවරකි. ඊට බයිඩන් පරිපාලනයේ තිරය පිටුපස රාජ්‍ය තාන්ත්‍රිකභාවය ද සහය විය.  නමුත් වඩ වඩාත් අසරණ ව ඇති  ගාසා තීරයේ ජනගහනට තීරණාත්මක ආධාර සහ සැපයුම් කඩිනම් කිරීමේදී අපි ජාත්‍යන්තර ප්‍රජාවට නායකත්වය දිය යුතුය.
අනාගත සාමයේ අපේක්ෂාවන් වෙන කවරදාටත් වඩා දුරස්ථ බවක් පෙනෙන්නට තිබුණද, ඊශ්‍රායලයේ පැවැත්මේ අයිතිය පිළිගන්නා පලස්තීන නායකයින් සහ සංවිධාන සමඟ පලස්තීනුවන්ට ස්වයං නිර්ණය සඳහා ඔවුන්ගේ නීත්‍යානුකූල අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශක්‍ය මාවතක් සොයා ගැනීම ආරම්භ කිරීම සඳහා සම්බන්ධ වන ලෙස අපි කලාපයේ සියලුම ප්‍රධාන රටවලින් ඉල්ලා සිටිය යුතුය.
මන්ද යත් බොහෝ ඊශ්‍රායල සහ පලස්තීන පවුල් ආශා කරන කල්පවත්නා සාමය සහ ආරක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා හොඳම සහ සමහර විට එකම මාර්ගය එය වන බැවිනි.
අවසාන වශයෙන්, බොහෝ මිනිසුන් වේදනාවෙන් පෙළෙන සහ හැගුම්බර ප්‍රතිචාර  තේරුම් ගත හැකි පරිදි ඉහළ යන අසාමාන්‍ය ලෙස සංකීර්ණ තත්වයක් සමඟ කටයුතු කිරීමේදී, අපගේ නරකම බියට වඩා අපගේ හොඳම වටිනාකම් ප්‍රදර්ශනය කිරීමට අප සියල්ලන්ම උපරිම වශයෙන් ක්‍රියා කළ යුතුය.
එයින් අදහස් වන්නේ සෑම තැනකම සෑම ආකාරයකින්ම යුදෙව් විරෝධයට ක්‍රියාකාරීව විරුද්ධ වීමයි. එයින් අදහස් කරන්නේ ඊශ්‍රායල ජනතාව මේ වන විට විඳ දරා ගෙන ඇති බිහිසුණු ඛේදවාචකය අවම කිරීමට දරන ප්‍රයත්නයන් ප්‍රතික්ෂේප කිරීමට මෙන්ම කවර හෝ හේතුවක් නිසා අහිංසක මිනිසුන් හිතාමතා ඝාතනය කිරීම යම් ලෙසකින් සාධාරණීකරණය කළ හැකි බවට කැරෙන සදාචාරමය වශයෙන් බංකොලොත් යෝජනාව ප්‍රතික්ෂේප කිරීමයි.
එහි තේරුම මුස්ලිම් විරෝධී, අරාබි හෝ පලස්තීන විරෝධී හැඟීම් ප්‍රතික්ෂේප කිරීමයි. එහි අර්ථය වන්නේ සියලුම පලස්තීනුවන්, හමාස් හෝ වෙනත් ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ ගැට ගැසීම ප්‍රතික්ෂේප කිරීමයි. එහි අර්ථය වන්නේ ගාසා තීරයේ ජනතාව කෙරෙහි අමානුෂික භාෂා ව්‍යවහාරයන්  නතර කිරීමයි. පලස්තීන දුක් වේදනා – ගාසා තීරයේ හෝ බටහිර ඉවුරේ වේවා – අදාළ හෝ සුජාත නොවේ යැයි  හෑල්ලුවට ලක් කිරීම නතර කිරීමයි.
එහි තේරුම යුදෙව් ජනතාව පැරණි ඓතිහාසික මූලයන් ඇති සුරක්ෂිත නිජබිමකට හිමිකම් කියන බවත් ඊශ්‍රායලයට පැවැත්මට සෑම අයිතියක්ම ඇති බව පිළිගැනීමයි. අවසානයේ අනෙක් පාර්ශ්වය විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් පසුගිය ඊශ්‍රායල ආණ්ඩු ගැටුම විසඳීමට සහ රාජ්‍ය දෙකක විසඳුමක් සඳහා මාවතක් සැපයීමට අර්ථවත් ප්‍රයත්න දැරූ අවස්ථා තිබේ.
සමාජ මාධ්‍යවල නිරන්තර වෛරය, හිරිහැර කිරීම් සහ වැරදි තොරතුරු පවතින යුගයක, බොහෝ දේශපාලනඥයන් සහ අවධානය සොයන්නන් ආලෝකයට වඩා වෛරය ඇවිලවීමේ වාසියක් දකින මොහොතක, ඕනෑම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ගෞරවනීය සංවාදයක් අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවිය හැකිය
එහි තේරුම වන්නේ පලස්තීනුවන් ද පරම්පරා ගණනාවක් තිස්සේ මතභේදයට තුඩු දී ඇති ප්‍රදේශවල ජීවත් වූ බව පිළිගැනීම ය; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඊශ්‍රායලය පිහිටුවන විට අවතැන් වූවා පමණක් නොව, ඊශ්‍රායල රජයෙන් බොහෝ විට නිහඬ හෝ පැහැදිලි සහයෝගයක් ලබා ඇති පදිංචිකාර ඊශ්‍රායල් මෙහෙයුම් විසින් බලහත්කාරයෙන් අවතැන් කරනු ලැබ සිටිති; රාජ්‍ය දෙකක විසඳුමක් සඳහා සහන දීමට කැමති පලස්තීන නායකයින්ට ඔවුන්ගේ උත්සාහයන් සඳහා බොහෝ විට පෙන්වීමට  දෙයක් නැති තරම්ය. යුදෙව් විරෝධී නොවී, බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ඇතැම් ඊශ්‍රායල රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව පලස්තීන අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට යහපත් පරමාර්ථයන් ඇති මිනිසුන්ට හැකි බව පිළිගැනීමයි.
සමහර විට සියල්ලටම වඩා, එයින් අදහස් කරන්නේ අප එකඟ නොවන අය තුළ නරකම දේ පමණක් ඇතැයි සැමවිටම උපකල්පනය නොකිරීමට අප තෝරා ගත යුතු බවයි.
සමාජ මාධ්‍යවල නිරන්තර වෛරය, හිරිහැර කිරීම් සහ වැරදි තොරතුරු පවතින යුගයක, බොහෝ දේශපාලනඥයන් සහ අවධානය සොයන්නන් ආලෝකයට වඩා වෛරය ඇවිලවීමේ වාසියක් දකින මොහොතක, ඕනෑම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ගෞරවනීය සංවාදයක් අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවිය හැකිය. මෙතරම් ලේ වැගිරීමෙන් පසුව විශේෂයෙන්ම ඉතා බරපතල ප්‍රශ්නයක් සම්බන්ධයෙන් එය ඊටත් වඩා සැබෑය.
එනමුත් අනාගත ඊශ්‍රායල සහ පලස්තීන දරුවන්ට – මෙන්ම අපේම දරුවන්ට – සාමය, ආරක්ෂාව සහ අභිමානය පිළිබඳ හැකියාව විවෘතව තබා ගැනීම ගැන අප සැලකිලිමත් වන්නේ නම්, අවම වශයෙන් අප දරුවන්ට උරුම විය යුතු යැයි අප දකින මාදිලියක්, අපේ වචන සහ ක්‍රියාවන් තුලින් පෙන්වීමට තැත් දැරීම අප සියලු දෙනාගේම වගකීමකි.

(Thoughts on Israel and Gaza යන මැයෙන්  ඇමෙරිකාවෙහි හිටපු ජනාධිපති Barack Obama විසින් කරන ලද ප්‍රකාශයක සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

  • Tags
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article