Thursday, January 23, 2025

ඉතිහාසය පුනරාවර්තනය විම…..

Must read

1994 පාර්ලිමේන්තු ඡන්දයේදී ජනතා විමුක්ති පෙරමුණට හිමි වුණේ එක මන්ත්‍රී ධුරයකි. පොදු පෙරමුණු ආණ්ඩුව ක්‍රමානුකූලව පිරිහීමේ ප්‍රතිඵලයක් ලෙස වසර හයකට පසු 2000 වසරේ පැවැති ඡන්ද විමසීමේදී මන්ත්‍රී ධුර 10ක් දිනා ගැනීමට එම පෙරමුණට හැකි විය. මෙය සියයට 1000 ක වර්ධනයකි. 

1999 ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා කුමාරතුංග නැවතත් ජයග්‍රහණය කළත්, එයින් වසරකට පසු 2000 වසරේදී පැවැති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී නැවත ආණ්ඩුවක් පිහිටවූවද රටේ පැවැති යුදමය තත්ත්වය සහ ඒ හා බැඳුණු ආර්ථික අර්බුදයත් නිසා ආණ්ඩුව අස්ථාවර විය. එස් බී දිසානායක, ජී එල් පීරිස් වැනි ජනාධිපතිනියගේ ළඟම කැචර්ලාද ඇතුළුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගමන් කිරීමත් සමගම  2001 වසර වන විට ආණ්ඩුව බිඳ වැටීමේ තත්ත්වයක් ඇති විය. 

මේ අවස්ථාවේදී ආණ්ඩුව රැක ගැනීමට ඉදිරියට ආවේ ආණ්ඩුවේ කටුක විවේචකයකු වූද ‘උනුත් එකයි; මුනුත් එකයි’ කියමින් ප්‍රධාන පක්ෂ දෙකම ප්‍රතික්ෂේප කළා වූද ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන් විසින් ආණ්ඩුවට වැඩපිළිවෙළක් යෝජනා කළේය. ආණ්ඩුව එය පිළිගැනීමත් සමගම පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව සමග ‘පරිවාස ආණ්ඩුව’ නමැති සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කළේය. 

2001 පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී පොදු පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ වෙන වෙනම තරග කළහ. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ආසන සංඛ්‍යාව 16 දක්වා නැවතත් සියයට 60 කින් ඉහළ ගියේය. ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් පොදු පෙරමුණට ලැබී බහුතර බලයක් ඇති වී නම් ‘පරිවාස ආණ්ඩුව’ නම් සභාග ආණ්ඩුව ඉදිරියට ගෙන යා හැකිව තිබිණි. නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණ බහුතර බලය ලබා ජයග්‍රහණය කළේය. 

එම ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් ගත වන විට පොදු පෙරමුණත් ජනතා විමුක්ති පෙරමුණත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නම් සන්ධානයක් ඇති විය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අමාත්‍ය ධුර තුනක් පවරා ගැනීමෙන් ඇරැඹුණු අර්බුදය අවසන් වූයේ 2004 දී ජනාධිපතිනිය  විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙනි. එළැඹි පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී එක්ව තරග කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 107ක් දිනා ගනිමින් ආණ්ඩු බලය ලබා ගත්තේය. එම ආසන 107න් 39ක් ම දිනා ගන්නා ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සන්ධානය යටතේ බුලත් කොලය ලකුණෙන් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයන් වීම සුවිශේෂය. කැබිනට් මණ්ඩලයේ ප්‍රබල අමාත්‍ය ධුර හතරක් සහ නියෝජ්‍ය ඇමැති ධුර හතරක් ජනතා විමුති පෙරමුණට හිමි විය. 

සුනාමි සහන මණ්ඩලය නමින් එල් ටී ටී ඊ ය සමග ඒකාබද්ධ යාන්ත්‍රණයක් ගොඩනැගීමට ජනාධිපතිනිය ගත් උත්සාහයට විරෝධය පළ කරමින් 2005 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත් වුවද, එම වසරේ අග භාගයේ පැවැති ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට කැපවී ක්‍රියා කළේය. 

2001 වසරේ පරිවාස ආණ්ඩුව නිර්මාණය කිරීමේ සිටම ජනතා විමුක්ති පෙරමුණ සිදු කළේ ආර්ථිකය පිළිබඳව සහ ජනවර්ග ප්‍රශ්නය පිළිබඳව තම පක්ෂයේ ජනප්‍රියවාදී ස්ථාවරය ආණ්ඩුවේ ස්ථාවරය බවට පත් කිරීමය. වසර විස්සකට පසුව අද ශ්‍රී ලංකාව වැටී සිටින අර්බුදකාරී වාතාවරණයට මුල් ගල තැබුණේ එකී ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. 

2005 ජනාධිපතිවරණයේදී එල් ටී ටී ඊ සංවිධානය විසින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද වර්ජනයක් මගින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාගේ ජයග්‍රහණය අවහිර කළ අතර, ජනතා විමුක්ති පෙරමුණ විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම මගින් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පරාජය කිරීමට සක්‍රියව දායක විය. 2010 සහ 2015 ජනාධිපතිවරණයන්හිදී එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වළක්වා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණත්, එල් ටී ටී ඊ සංවිධානය පැවැති කාලයේ එහි ප්‍රොක්සිය ලෙස කටයුතු කළ දෙමළ ජාතික සන්ධානයත් ක්‍රියා කළහ.

අවසානයේදී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදි එකම එක ආසනයක් ලැබෙන තත්ත්වයට පසු බැස්සේය. හරියටම කියන්නේ නම් 1994 ජනතා විමුක්ති පෙරමුණ සිටි ස්ථානයට 2020 වසරේදී එක්සත් ජාතික පක්ෂය වැටුණේය.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ 2/3 කට ආසන්න බලයක් සහ සියළු බලැති විධායක ජනාධිපති ධුරයක්ද සමග සුක්කානමක් නැති නෞකාවක් බවට පත්ව ඇති මේ අවස්ථාවේ ආණ්ඩුව සමග එක්ව සභාග ආණ්ඩුවක් ගොඩ නැගීම සඳහා රනිල් වික්‍රමසිංහගේ ‘වන් මෑන්’ පාර්ලිමේන්තු කණ්ඩායමට ආරාධනයක් ලැබී ඇති බව වාර්තා වේ. රට මුහුණ පා ඇති බරපතළ තත්ත්වය මත ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් රට බේරාගැනීමට හැකියාව ඇති එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බවට සියළු සමාජ ස්තර අතර ප්‍රබල මතයක් ගොඩ නැගෙමින් ඇත. මෙම තත්ත්වය තුළ ඇද වැටීමට ආසන්න ආණ්ඩුවට මුක්කු ගැසීමට යනවා යැයි එක්සත් ජාතික පක්ෂයට චෝදනා කිරීමට ජනතා විමුක්ති පෙරමුණට හිතවත් කණ්ඩායම් වලට සදාචාරමය අයිතියක් තිබේද?
දැන්, ඉතිහාසය ආපසු කැරකෙන මොහොත පැමිණ ඇත. 

-සිරිනා කැලෑගොඩ විසිනි-

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article