Sunday, May 5, 2024

අපි යන්නේ උතුරෙත් දකුණෙත් මාධ්‍යවේදියා තුළ සිටින ජාතිවාදියා පරදවන්නයි-මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු ෆ්‍රෙඩී ගමගේ

Must read

IMG_8157එන්න එකට හුස්ම ගන්න මැයෙන් උතුරේ මාධය සහෝදරත්වය හා දකුණේ මාධ්‍ය සහෝදරත්වය එකට යා කෙරෙන සංහිදියාවේ චාරිකාව මාර්තු මස 26, 27, 28 යන තෙදින ගමන් ඇරඹීමට නියමිතය. එය ජනමාධ්‍ය අමාත්‍යාංශය හා මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුව එක්ව සංවිධානය කරන ලද්දක් වන අතර එම වැඩසටහන හා එම චාරිකාවේ අරමුණු පිළිබදව අදහස් දැක්වීමට මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු ෆ්‍රෙඩී ගමගේ සමබිම හා එක්විය.

සංක්‍රාන්තික සමාජ දේශපාලනික සමයකට අපි පිවිස සිටින මොහොතක මාධ්‍යවේදීයාගේ කාර්ය භාරය ගැන මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විදිහට සෑහිමකට පත් විය හැකිද?

අපි ඉතාම මර්දනකාරී යුගයක් පසු කළේ. ඒ යුගය විසින් මාධ්‍යවේදීන් 44 දෙනෙකු අපිට අහිමි කරනවා. ඒ සියලු බාධක මැදත් අපි මාධ්‍යවේදීන් විදිහටත් සංවිධානයක් විදිහටත් අපේ කටයුතු අතපසු කළේ නෑ. ඒ සියල්ලේ ප්‍රතිඵල විදිහට අද රට තුළ යහපත් වාතාවරණයක් ඇති වෙලා තියෙනවා. මේ ඉඩ කඩ තුළ මාධ්‍යවේදින් ලෙස සාධනීය එකගවීම් constructive engagement හරහා ප්‍රතිසංස්කරණ දිනා ගැනීමේ වැඩපිළිවෙලකට අපි යායුුතුයි. ප්‍රතිසංස්කරණ දිනා ගැනීම වෙනුවෙන් වගේම සංහිදියාව රට තුළ ස්ථාපනය කිරීම වෙනුවෙනුත් උතුරේත් දකුණේත් මාධ්‍යවේදීන්ට විශාල වැඩකොටසක් පැවරීලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි සාධනීය එකගවීම් සමග මේ මොහොතේ ඉන්නවා.

නමුත් මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සම්බන්ධව පරීක්ෂණ සිදුවන බවක් තවමත් පෙනෙන්නේ නෑ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ පරීක්ෂණ ඇරඹුණත් ඒවා අතරමග නතර වෙලා. ප්‍රගීත් එක්නැළිගොඩ සම්බන්ධව සිදුවන පරීක්ෂණවල වුනත් ගැටලු සහගත තැන් තියෙනවා. අග්‍රාමාත්‍යතුමා පසුගිය දිනක නිකුත් කළ ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් 44 දෙනාගේ ලැයිස්තුවේ වැඩි පිරිසක් දෙමළ මාධ්‍යවේදීන්. ඒ නිසාම ප්‍රතිසංස්කරණ දිනා ගැනිම සහ රට තුළ සංහිදියාව ඇති කිරීම සම්බන්ධයෙන් වගේම ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉෂ්ට කිරීම වෙනුවෙනුත් අපිට අද සටන් කරන්න වෙලා තියෙනවා.

පසුගිය කාලයේ දකුණේත් උතුරේත් මාධ්‍යවේදින් අතර විශාල දුරස්ථ බවක් තිබුණා. එවැනි තත්ත්වයක් යටතේ සංහිදියාවක් ඇති කරගැනීම කොතරම් දුරට ප්‍රායෝගිකද?

ඒක ඇත්තටම විශාල අභියෝගයක්. පසුගිය වකවානුවේ ඇති වුණු තත්වයන් හමුවේ අතිබහුතරයක් වන මාධ්‍යවේදීන් ස්වයං වාරණයක් පනවගෙන සිටීම ඒකට එක හේතුවක්. අනෙක් කාරණය තමයි ඉතිහාසය පුරා ජාතිකත්වය පිළිබද ප්‍රශ්නය එනකොට දකුණේ මාධ්යවේදියාගේ ඇග ඇතුළේ ඉදලා පෑන අතින් අරගත් සිංහලයෙක් එළියට එනවා. මාධ්‍යවේදීයා වාෂ්ප වෙලා සිංහලයෙක් එළියට ඒමෙන් මාධ්‍යවේදීයාගේ භූමිකාව අමතක වෙනවා. එතකොට ඔවුන් හිතනවා දෙමළ මිනිසුන් තමුන්ගේ අනෙකා කියල. ඔවුන් හිතන්න පතන්න ගන්නේ සිංහලෙන්. මම මේ කියන කාරණය දකුණට විතරක් නෙවෙයි උතුරටත් අදාළයි. මොකද ඔවුනුත් හිතනවා සිංහලයා තමන්ගේ අනෙකා කියල. එවැනි භාවිතාවකට හැඩ ගැසුණු බහුතර මාධ්‍යවේදීන් සිටින පසුබිමක ඒ තත්ත්වය වෙනස් කරන්න විශාල අභියෝගයක් තියෙනවාග ඒ සදහා මාධ්‍යවේදීන් තුළ බරපතළ ආකල්පමය වෙනසක් ඇති කරගැනීම අවශ්‍යයි. ඒ සදහා උතුරු දකුණු මාධ්‍යවේදීන් නිතර හමුවීම්ල ගමන් බිමන්, එකිනෙකාගේ ප්‍රශ්නවලට කෙරෙන මැදිහත් වීම් අවශ්‍යයි.

මේ ක්‍රියාවලියේ ආරම්භක පියවරක් වශයෙන් උතුරු දකුණු මාධ්‍යවේදීන් යා කෙරෙමින් එන්න එකට හුස්ම ගන්න මැයෙන් වැඩසටහනක් පැවැත්වීමට නියමිතයි.

පහුගිය වකවානුවේ උතුරු මාධ්‍යවේදීන් සමග දකුණට තිබුණේ ඵෙන්ද්‍රිය සම්බන්ධයක් නෙවෙයි. දකුණේ පැවැත්වෙන වැඩසටහනකට පොඩි අලංකාරයක් ගේන්න උතුරෙන් කෙනෙක්ව ගෙන්න ගන්නවා හැර වෙන ශක්තිමත් බැදීමක් පසුගිය කාලයෙ උතුර සමග ගොඩනැගුණේ නෑ. නමුත් රයිට්ස් නව් සංවිධානය පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීන් සදහා ලබා දුන් ඩිජිටල් ආරක්ෂණය පිළිබද පුහුණු වැඩසටහන් මාලාවේ එක් පියවරක් විදිහට උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන්ටත් එම පුහුණුව ලබා දීම හේතුවෙන් උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් සමග ඉතාම කිට්ටු විශ්වසනීය සබදතාවයක් ගොඩනගා ගන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ නිසාම පසුගිය කාලයේ දකුණේ අපි සංවිධානය කළ වැඩසටහන්වලදී දකුණේ මාධ්‍යවේදීන් හා සම තැනක් උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් සදහාත් ලබාදුන්නා. එවැනි එක් අවස්ථාවක ජනමාධ්‍ය ඇමතිවරයට උතුරට ඇවිත් යන්න එන්න කියල ඔවුන්ගෙන් ආරාධනයක් ලැබුණා. එය පාදක කරගෙන මාර්තු 26, 27, 28 කියන දවස් තුනේ එන්න එකට හුස්ම ගන්න කියන මේ චාරිකාව සැලසුම් වෙලා තියෙනවා.

මේහිදී මුලිකවම කාරණා දෙකක් ආමන්ත්‍රණය කරන්න අපිට අවශ්‍යයි. උතුරු නැගෙනහිර ජනමාධ්‍යවේදින්ගේ සුබසාධනය වගේම ආරක්ෂක අංශවලින් ඔවුන්ට එල්ලවන බාධා සම්බන්ධව එහි සිටින සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග සාකච්ඡා කරන්නට අපිට අවශ්‍යයි. ඒ වගේම උතුරු නැගෙනහිර ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන්ගේ පවුල්වල අය බැහැ දකින්නත් අපි සුදානම්. මාධ්‍යවේදීන්ගේ සුබසාධනය වෙනුවෙන් ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන්ගේ විපතට පත් පවුල් තුනක් සදහා නිවාස ඉදිකර දීමත් සිදුවෙනවා. මීට අමතරව පසුගිය කාලයේ පිඩනයට ලක් වු උදයන් ඇතුළු මාධ්‍ය ආයතන වලට යන්නත් ඒවායේ මාධ්‍යවේදීන් සමග සාකච්ඡා කරන්නත් ජනමාධ්‍ය ඇමතිවරයා ඇතුළුව දකුණේ මාධ්‍යවේදී නඩය සුදානමින් සිටිනවා.

මේ වැඩසටහන තවත් මාධ්‍ය සංදර්ශනයක් කර ගැනීමෙන් එහා දිගුකාලීන වැඩසටහනක් වශයෙන් ඉදිරියට ගෙන යාමට මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුවට ඉදිරි සැලසුමක් තියෙනවාද ?

පැවතුණු දුර්දාන්ත පාලනය වෙනස් කරලා යහපාලන වටපිටාවක් සකස් කරගත්තට පසුව එවැනි රජයක් සමග කොහොමද ගණුදෙනු කරන්නේ කියන එකට මාධ්‍ය සංවිධාන අතරත් මත තුනක් තියෙනවා. එක් පිරිසක් නිෂ්ක්‍රියයි. තව පිරිසක් හැමදේටම විරුද්ධ වෙනවා. තව පිරිසක් ඉන්නවා සාධනීය එකගතා සමග ප්‍රතිසන්ධානය ආදී ක්‍රියාවන් සිදුවෙනවා දකින්න. මෙහිදී අපි ඉතාම සවිඥානකයි. මොකද රජයට ඔවුන්ගේම වන න්‍යාය පත්‍රයක් තියෙනවා අපිටත් ඉතා පැහැදිලි න්‍යාය පත්‍රයක් තියෙනවා. මාධ්‍යවේදීන් 44 ක් ඝාතනය වීම සම්බන්ධව පැහැදිලි සමාජ අවධානයක් අරන් දෙන්න බරපතල විවේචන සහිතව කටයුතු කරන ඇතැම් සංවිධානවලට හැකියාවක් තිබුණේ නෑග නමුත් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරු දෙසැම්බර් 10 වැනි දා අගමැතිතුමාට මේ ලැයිස්තුව දීලා නැවත වතාවක් සමාජ අවධානය ඇති කරන්න මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුවට හැකිවෙනවා. අපි සුදානම් නෑ කුමන හේතුවක් මත හෝ අපේ අරමුණ අත්හරින්න. නමුත් ලංකාවේ බහුතරයක් සංවිධානවලට හෝ සමාජ ක්‍රියාකාරීන්ට මේ තත්ත්වය කළමණාකරණය කිරීමේ ශක්‍යතාවය පිළිබද ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාම ඇතැම් අය ජනප්‍රිය විරෝධතාවන්වලට යනවා. ඒ නිසා අපේ වැඩපිළිවෙලවල් ඇතුළේම මේ තත්ත්වයන් හදා ගන්න සිදුවෙලා තිබෙනවා. දිර්ඝ කාලීන වැඩපිළිවෙලක් වශයෙන් උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් දකුණට කැදවන්නත් දකුණේ මාධ්‍යවේදීන් උතුරට නැගෙනහිරට යන්නත් අපිට අවශ්‍යය. මෙය එවැනී දිගු කාලීන ක්‍රියාවලියක ආරම්භයක් පමණයි.

මේ ක්‍රියාවලියට උතුරේත් දකුණෙත් ඉතා සීමිත මාධ්‍යවේදීන් පිරිසක් පමණයි සහභාගි වෙන්නේ. නමුත් එතනින් එළියේ් ඉන්න අතිබහුතරයක් වන ජනමාධ්‍යවේදීන් මේ සංහිදියා ක්‍රියාවලියට ඇදා ගැනීම සදහා මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුව විදහට ඔබේ යෝජනාව මොකක්ද?

උතුර පිළිබද වන ඇත්ත දකුණටත් දකුණ පිළිබද වන ඇත්ත උතුරටත් සන්නිවේදනය විය යුතුයි. එය සංහිදියාව සදහා යන ගමනකට අත්‍යවශයි. එවැනි වටපිටාවක් ස්ථාපනය කිරීම සදහා මාධ්‍යවේදීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරලා උතුර නැගෙනහිර හා දකුණ අතර අන්තර් සබදතාවය ශක්තිමත් කිරීමට මැදිහත් විය යුතුයි. මේ ක්‍රියාවලිය ඇතුළේම අපි සැලසුම් කරගෙන යනවා උතුරු නැගෙනහිර හා දකුණ සම්බන්ධ කෙරෙමින් මාධ්යවේදීන් සදහා වෙබ් අඩවියක් සකස් කරන්න. එය බොහෝ විට උතුරේත් දකුණේත් සිංහල දෙමළ මුස්ලිම් මාධ්‍යවේදීන්ගේ මුලිකත්වයෙන් ඇරඹෙන පළමු වෙබ් අඩවියද විය හැකියි. එය උතුර දකුණ යා කෙරෙමින් උතුරේත් දකුණේත් සැබෑව සන්නිවේදනය කෙරෙන පාලමක් විය හැකියි.

සාකච්ඡා කලේ : ජයනි අබෙිසේකර

උපුටා ගැනිම රාවය සමබිම ඉරිදා සංග්‍රහය 2016.03.27

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article