තමන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස දැන්වූ බවට මාධ්‍ය හමුවේ ජනාධිපති සිරිසේන පැවසූ නමුත් එය අමූලික බොරුවක් බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසයි.
නමුත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දීමට ක්‍රියා නොකළේ ජනාධිපතිවරයා සියලු බුද්ධි තොරතුරු සෘජුව ම ලබා ගන්නේ ජාතික බුද්ධි සේවයේ අධ්යක්ෂ නිලන්තගෙන් බව තමන් දැනුවත් වී සිටි හෙයින් යැයිද ඔහු පැවසීය.
ඒ සම්බන්ධව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් හේමසිරි සඳහන් කර සිටියේ ” මම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙලා දවස් දෙකකට විතර පස්සේ ජාතික බුද්ධි සේවය නිකුත්කර තිබූ බුද්ධි වාර්තාවක් ගැන ජනාධිපතිට දැන්වුවා. ජනාධිපති මාතෘකාව ඇහුවා. මම මාතෘකාව කිව්වාම මට කිව්වා, ඕක ගැන මට නිලන්ත කියලා තියනවා කියලා. තවත් දවසක කියන්න යනකොටත් නිලන්ත කියලා තියෙන්නේ කිව්වා.
මම බුද්ධි අංශ ප්‍රධානියාගෙන් මේ බුද්ධි වාර්තා ජනාධිපතිවරයාට දැන්වීම ගැන ඇහුවා. එතකොට එයා කිව්වා “පහුගිය අවුරුදු හතරේම මම තමයි ජනාධිපතිව දැනුවත් කරන්නේ” කියලා.
ප්‍රහාරය දවසේ නිලන්ත පල්ලි ගණන් කරකර ඉඳලා !
මෙහිදී ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු තවත් වැදගත් අනාවරණයක් සිදුකළේය.
“ප්‍රහාරය වෙච්ච දවසේ උදේ හත හමාරත් අටත් අතර රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා (නිලන්ත) මට කතා කරල ඇහුවා ‘සර් .. කොළඹ නගරයේ ප්‍රධාන මෙතෝදිස්ත පල්ලි කීයක් තියෙනව ද?’ කියල. මං ඇහුවා, මම බුද්ධාගමේ ඇයි එහෙම අහන්නේ කියල. එතකොට කිව්වා ‘නෑ සර් දැන් ආරංචියක් ලැබිල තියෙනවා කතෝලික පල්ලිවලට නෙවෙයි පහර දෙන්න යන්නේ, මෙතෝදිස්ත පල්ලිවලට’ කියල.”
“පස්සේ මම මිතුරන් හතර පස් දෙනෙකුට කතා කරල දැනගෙන කොළඹ තියෙන මෙතෝදිස්ත පල්ලි නිලන්තට කිව්වා.” ඔහු ප්‍රකාශ කළේය.
තමන් රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ වෙත මෙම දුරකථන ඇමතුම උදෑසන අටට පමණ ලබා දුන් බවත් ඊට විනාඩි 15කට පමණ පසු බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව තමන්ට දැනගන්නට ලැබුණු බවත් ඔහු පැවසීය.
මෙම ප්‍රහාරය සිදු වීමට පෙර දිනයේ තමන් පොලිස්පතිවරයා ඇමතූ බවත් මෙවැනි ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ඔහුට දැනුම් දුන් බවත් මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිගත්තේය.
මේ පිළිබඳව අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවත් අවශ්‍යතාවක් මතු වුවහොත් තමන් අමතනු ඇති බවත් පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ තමන්ට පැවසු බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ වනවිට රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ විසින් ජනාධිපතිවරයා ද දැනුවත් කරනු ලැබ ඇති බවට තමන් සිතූ බවත් එය සාමාන්‍ය ක්‍රමවේදය බවත් හෙතෙම පැවසීය.
අගමැති දැනුවත් නොකළ හේතුවත් සිරිසේන !
මේ පිළිබඳව අගමැතිවරයා දැනුවත් නොකළේ මන්ද යන්න විමසු විට ඔහු කියා සිටියේ “මම ස්වාධීන ලේකම්වරයෙක් නොවෙයි. හැම දෙයකටම ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්න සිදු වුනා.” යනුවෙනි.
මෙහිදී තමන් “අසරණ ලේකම්වරයෙක්” බවත් ජනාධිපතිවරයාගෙන් අත්සනක් ලබා ගැනීමට පවා පැය කිහිපයක් “බලාගෙන” සිටිය යුතු බවත් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.
ආරක්ෂක මණ්ඩලයට පූජිත ගෙන්වන්න එපා කියලා ජනාධිපති කියලා !
ආරක්ෂක මණ්ඩල රැස්වීමට පොලිස්පති පූජිත් ජයසුන්දර කැඳවීම නතර වූයේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත බව ඔහු ප්‍රකාශ කළේය. එම තොරතුරු තමන්ට ලැබුණේ රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂවරයාගෙන් බවත් ඔහු පැවසීය.
මෙහිදී ආරක්ෂක කවුන්සිලය කැඳවීම සම්බන්ධවද ඔහු අදහස් දැක්වීය.
“මා ආරක්ෂක ලේකම්වරයා ලෙස වැඩ භාර ගත්තට පස්සේ ආරක්ෂක කවුන්සිලය හතර වතාවක් රැස් වෙලා තියෙනවා. මේ රැස්වීමට නියෝගය දෙන්නේ ජනාධිපති තුමා. මේ හතරටම ලැබුණේ ඉතාමත් කෙටි නියෝග. සමහර වෙලාවට උදේ කියනවා හැන්දෑවට මේක තියන්න කියලා.”
“පළමුවැනි රැස්වීමේදී ම මම ඇහුවා ජනාධිපති තුමනි ඇයි අපි මේක අගමැති තුමාට කියන්නේ නැත්තේ කියල. එතකොට කිව්වා, නෑ … නෑ .. කියන්න ඕන නැහැ. මං කියන දේ කරන්න කියලා ”
ආරක්ෂක කවුන්සිලයේ කතා වුණේ මධුෂ් ගැන විතරයි : ජාතික ආරක්ෂාව ගැන මොකුත් නෑ !
ප්‍රහාරයට පෙර පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීම් හතරේ ම ජාතික ආරක්ෂාව ගැන හෝ තවුහිද් ජමාත් සංවිධානය ගැන කතා කෙරුණු බවක් තමන්ට මතකයට නොඑන නමුත් “මාකඳුරේ මධුෂ් ගැන නම් හැමදාම කතා” කළ බව ඔහු පැවසීය.
අගමැති රනිල් කැඳවූ ආරක්ෂක කවුන්සිලයට නොගියේ ජනාධිපති යන්න එපා කියපු නිසා !
එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ, පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසුව අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවන ලද ආරක්ෂක කවුන්සිලයට සහභාගි නොවූයේ, ඊට සහභාගි නොවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ දැනුම් දීමක් අනුව බවය.
(newstube.lk)