Friday, September 20, 2024

‘කොරෝනා මර්දන තීන්දු තීරණ විශේෂඥ උපදෙස් මත පමණයි’ – ජනාධිපති

Must read

රජය මෙතෙක් කළ අයුරින්ම වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීරණ ගනුයේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු

අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ දැනුම සහ නිර්දේශ මත පදනම් වෙමින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

කොවිඩ් – 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ඊයේ  (04) ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර ජනාධිපතිවරයා ඉහත කාරණය අවධාරණය කර ඇත්තේ එහිදීය.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වෛරසයේ භූගෝලීය ව්‍යාප්තිය සහ එය පාලනය කරනු පිණිස රජය ගත් ක්‍රියාමාර්ග වල ප්‍රගතිය එහිදී පැහැදිලි කර තිබේ.

රට තුළ වෛරසයේ ව්‍යාප්තිය හඳුනාගත් මුල් අවස්ථාවේම ජනාධිපති ප්‍රමුඛ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මේ සෞඛ්‍ය ගැටලුව පාලනයෙන් ගිලිහී යා නොදී කළමනාකරණය කිරීමට හැකි වූ බව අනතුරුව සිදු වූ අදහස් හුවමාරුවේදී ප්‍රකාශ වී ඇත.

 

රෝගයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින්….

රෝගයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර කරන නිර්දේශ අධ්‍යයනය කොට සුදුසු පරිදි පිළිපැදීමට ද එම සාකච්ජාවේදී තීරණය කර තිබේ.

දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්දන වැඩසටහන වඩාත් විධිමත්ව තත්ත්වය යහපත් වන තුරු ඉදිරියට ගෙන යාමට සාකච්ජාවේදී එකඟත්වය පළ විය.

ආසාධිතයන්, ආසාධිතයන් යැයි සැක කෙරන පිරිස සහ ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරීක්ෂණයටලක් කළ යුතු බව ද තීරණය කර තිබේ.

වසංගතය පාලනය කිරීමට සමත් වූ සෙසු රටවල් අනුගමනය කර ඇත්තේ එවැනි පිළිවෙතකි.

ආසාධිතයන් සහ ඔවුන් ඇසුරු කළ අය නිවැරදිව හඳුනාගැනීමට හැකිවී ඇතැයි ආරක්ෂක බලධාරීහූ එහිදී සඳහන් කර තිබේ.

ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෙසු නිළධාරීහූ සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා ඇතුළු පිරිසක් මෙම සාකච්ජාවට එක්ව සිටි බව ආණ්ඩුවේ ‘දිනමිණ’ පුවත්පතේ අන්තර්ජාල වාර්තාවේ දැක්වේ.

 

විශේෂඥයින් කොන්කරලා ද ?  – සජිත්ට සැකයක් !Sajith Talk

මේ අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා නිකුත්කර තිබු මාධ්‍ය නිවේදනයක සඳහන් වුයේ මෙවැනි අවස්ථාවකදී වෛරස් පිළිබඳව විදෙස් පාඨමාලා හැදෑරු, ක්ෂේත්‍රය පිලිබඳ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇති ශ්‍රී ලාංකීය විශේෂඥයින් කිහිප දෙනාගෙන් නිසි ප්‍රයෝජනයක් ගෙන නොමැති බවයි.

”ආණ්ඩුව පළමුකොට කළ යුත්තේ වෛරස් රෝග පිළිබදව රටේ සිටින විශේෂඥයින්  05 දෙනා සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙවැනි වෛරස් රෝග පාලනය සඳහා  පුහුණු කරන ලද විශේෂඥයින්  02 දෙනා මුල්කරගත් විශේෂඥ  මණ්ඩලයක් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය මුල් කරගත් කාර්‍යසාධක බලකායක් මගින් අනෙකුත් ක්ෂේත්‍ර වලට මාර්ගෝපදේශ සැපයීම බව අවධාරණය කරමු.” යයි සමගි ජන බලවේගයේ නායකයින් සමග සිදුකළ සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යය වෙත නිකුත් කර තිබු නිවේදනයේ සඳහන් විය.

 

 

(theleader)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article