මහින්ද රාජපක්ෂ 2005 නොවැම්බරයේ දී බලය කරා ගමන් කළේ වර්ගවාදී රණකාමය කළඹාලමිනි. රටේ සතර දිග් භාගයේම, සියලු ක්‍ෂේත්‍රයන් වසා පැතිරුණු භීෂණකාරීත්වයේ පළමු සෘජු ගොදුර වූයේ දෙමළ ජනයා ය. වවුනියාවේ චන්‍ද්‍රබෝස් සුදාහර් ගේ නම ඒ භීෂණයේ අතරට එක් වූයේ 2007 අප්‍රේල් 16 වැනිදා යි. මේ අප්‍රේල් මාසයට ඔහුගේ මරණයෙන් අට වසරක් සම්පූර්ණ වේ. දකුණේ සිංහල ජනයා නොදන්නා මුත් මරා දමන ලද දස දහස් සංඛ්‍යාත වටිනා මිනිසුන් අතරේ ඔහු එක් අයෙකි.
වව්නියාව තිරුනාවට්කුලම් හි විසු චන්‍ද්‍රබෝස් සුදාහර් කවියෙකි; නිර්මාණාත්මක ලේඛකයෙකි; මුද්‍රණ ශිල්පියෙක් හා පිටු සැළසුම් ශිල්පියෙකි. මේ සියල්ලටමත් වඩා දෙමළ තරුණ ජනයා අතරින් නැගී ආ හැකියා පූර්ණ ජනමාධ්‍යවේදියෙකි.
දරුවෙකුගේ සාක්‍ෂිය
“අප්පයි මමයි ගෙදර නිදාගෙන ඉන්න කොට තුවක්කු ගත්තු කට්ටියක් ඇවිල්ලා මාව තල්ලු කරලා දාලා අප්පව එලියට ඇදගෙන ගියා. ඊට පස්සේ අප්පාට වෙඩි හතරක් තිබ්බා,” චන්‍ද්‍රබෝස්ගේ අට හැවිරිදි පුතු මරණ පරීක්‍ෂණයේදී කියා සිටියේ ඝාතකයෝ සිංහලෙන් හා දෙමලෙන් කථා බහ කළ බවකි.
රජයේ රෝහලේ හෙදියක වන චන්‍ද්‍රබෝස්ගේ බිරිඳ එදින රාත්‍රියේ සේවා මුරයට පිටව ගොස් සිටියා ය. පියාට වෙඩි තැබීමෙන් පසු චන්‍ද්‍රබෝස්ගේ අට හැවිරිදි පුතු යාබද නිවෙස්වල විසූ අසල්වැසියන්ගෙන් උපකාර ඉල්ලා හඬ නැඟුව ද, භීෂණයෙන් මුසපත් වූ ඒ ඉරණම්කාරී රාත්‍රියේදී කිසිවෙක් පිටතට පැමිණීමට ඉදිරිපත් නොවූහ. අවදානම නොතකා චන්‍ද්‍රබෝස්ට වෙඩි තැබූ තැනට පැමිණීමට ශක්තියක් තිබුණේ ඔහුගේ නිවසින් මීටර පන්සියයකට නුදුරින් පිහිටි නිවසක විසූ වයෝවෘද්ධ අයෙකුට පමණි. නමුත් ඒ වන විටත් චන්‍ද්‍රබෝස් මිය ගොස් තිබුණි.
හය දෙනෙකුගෙන් යුත් සන්නද්ධ පිරිසක් සිය නිවසටම පැමිණ මරා දමන විටත් ‘නිලම්’ නමින් සංස්කෘතික – දේශපාලනික ත්‍රෛමාසික සඟරාවක් ඔහුගේ සංස්කරණයෙන් පළවෙමින් පැවතුණි. 2006 දී ‘වීරකේසරී’ පුවත්පතේ කටයුතු කරමින් සිටින කාලයේදී ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ පුවත්පත් කලාව පිළිබඳ වැඩිදුර හැදෑරීමේ අවස්ථාවක් ඔහුට හිමි විය. ඒ අතර තුර ලන්ඩනයේ ප්‍රකාශිත ‘Tamil World’ සඟරාවටද චන්‍ද්‍රබෝස් ලේඛනයෙන් සම්බන්ධව කටයුතු කළේය. ඊළනාදම්, වෙළිච්චම්, ඊළනාඩු, කාලච්චෝඩු, මූන්ඩ්‍රාවදු මනිදන්, තමිල් උළහම්, තිනක්කුරල් සහ සර්නිහර් වැනි පුවත්පත් හා සඟරා පාඨකයෝ දිගු කලක සිට ඔහුගේ නිර්මාණශීලී කුශලතා දැන හැඳින සිටියහ.
‘නව පරම්පරාවේ කවියා’
‘චන්‍ද්‍රබෝස් කියන්නේ මම දකින විදිහට මෑත කාලීන දෙමළ සමාජයෙන් මතුවුණු දක්‍ෂතම රැඩිකල් තරුණ කවියෙක්,” 1999 වසරේ දී ඊළනාදම් පුවත්පතේ උප කර්තෘවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියදී හඳුනාගත් තවත් කවියෙකු හා මාධ්‍යවේදියෙකු වන මුල්ලෙයි කමාල් කියයි. ඒ වකවානුවේදී කිලිනොච්චියේ සිට පළ කළ ‘ඊළනාඩු’ පුවත් පතේ මාධ්‍යවේදියෙක් ලෙස කමාල් ක්‍රියා කළේය.
පුදුවෛ රත්තිනදුරෛගේ මඟ පෙන්වීම යටතේ පළ වූ ‘වෙලිච්ච්ම්’ මාසික සංස්කෘතික ප්‍රකාශනය හා 2000 දී එක් වූ එක් වූ චන්‍ද්‍රබෝස් කවි සහ කෙටිකතා ඇතුළු සාහිත්‍යයමය ලිපි හා විචාර රැසක් සම්පාදනය කළේය. ඒ කාලය තුළ චන්‍ද්‍රබෝස් කවියෙකු හා ලේඛකයෙකු ලෙස දෙමළ භාෂා විද්වතෙක් වූ මහාචාර්ය සිවතම්බිගේ පවා ගෞරවාදරයට පාත්‍රව සිටියේය. “මහාචාර්ය සිවතම්බි කිව්වේ, දෙමළ නව පරම්පරාවේ කවියා චන්‍ද්‍රබෝස් කියලායි,” මුල්ලෙයි කමල් පවසයි.
එහෙත් ‘වෙලිච්චම්’ සංස්කාරක මණ්ඩලය අභ්‍යන්තරයේ හටගත් පරස්පරතා මුල්කොටගත් ගැටුමකට මැදි වූ චන්‍ද්‍රබෝස් ඉක්මණින් ‘වෙලිච්චම්’ හැර ගියේය.
“ඒ ගැටුම් පුද්ගල පෞරුෂ අතර ගැටුමක් කියලායි මම හිතන්නේ. ඒවා නිරාකරණය කරන්න පුදුවෙයිට පවා දුෂ්කර වුණේ ඒ නිසායි. අවසන් ප්‍රතිඵලය වුණේ ‘වෙලිච්චම්’ සඟරාවෙන් චන්‍ද්‍රබෝස් ඉවත්ව යාමයි,” පවසන මුල්ලෙයි කමල්, ‘වෙලිච්ච්ම්’ හැර දා ආ චන්‍ද්‍රබෝස්ට කිලිනොච්චියේ ස්කන්‍ධපුරම් සිට ‘නිලම්’ අරඹන්න සහාය දුන් මිතුරන්ගෙන් අයෙකි.
අත් පා බිඳ වෙඩි තබයි
අනතුරුව වසර කිහිපයට පසු කිලිනොච්චිය අත්හැර වවුනියාවට පැමිණෙන චන්‍ද්‍රබෝස් දුම්රිය පොළ අසළ කුඩාවට මුද්‍රණාලයක් පවත්වා ගෙන යමින් ‘නිලම්’ සාහිත්‍ය සඟරාව එහි සිට නැවතත් පළ කිරීම ආරම්භ කළේය. 1995 යාපනය හැර දා අවතැන් වූ ජනයා පිළිබඳ ඉන්දියාවේ පළ වූ සඟරාවකට ඔහු විසින් සම්පාදනය කරන ලද ලිපියක් හේතුවෙන් හමුදා බුද්ධි අංශ මගින් අත් අඩංගුවට ගන්නා චන්ද්‍රබෝස් දරුණු වධ බන්ධනයන්ට ලක් වූයේ මේ අතරතුරදී ය.
“සාහිත්‍යය සහ විශේෂයෙන්ම කවිය තමයි චන්‍ද්‍රබෝස්ගේ ජීවිතය වෙලා තිබුණේ. එයාට සෑහෙන උවමනාවක් තිබුණා සාහිත්‍ය හා දේශපාලනය මුල් කරගෙන පත්තරයක් පටන්ගන්න. එහෙම ඉන්නකොට තමයි එයාට වෙඩි තියලා මැරුවේ” වව්නියාවේ ඔහුගේ මාධ්‍ය සගයෙකු වූ කනග රවී සිය මතක අවදි කරමින් කියයි.
“වෙඩි තියන්න ආපු හය දෙනත් එක්ක මෙයා පොර බදලා තියෙනවා. උන් චන්‍ද්‍රබෝස්ව අල්ලාගෙන අතකුයි, කකුලකුයි කඩලා ඊට පස්සේ තමයි වෙඩි තියල තියෙන්නේ. එයාගේ පොඩි පුතා කෑ ගහල තියෙනවා ළඟ තියෙන පොලිසියේ වැඩ කරන කෙනෙකුගේ ගෙදර ලඟටත් ගිහින් , ඒත් දරුවා කෑ ගහන්නේ ඇයි කියලා බලන්නවත් කවුරුවත් එළියට ඇවිත් නැහැ.”
ඔහුගේ මරණයෙන් දින කිහිපයකට පසු ත්‍රි රෝද රථයක පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු චන්‍ද්‍රබෝස්ගේ කුඩා පුතු ගැන තොරතුරු විමසා තිබුණි. තම දෑස් ඉදිරියේ දී පියාට වෙඩි තබා මරා දැමීමෙන් දැඩි කම්පනයට පත්ව සිටි දරුවාගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුහු වවුනියාවෙන් පිටමං වන්නට තීරණය කළහ.
අවසන් දුරකතන ඇමතුම
රජයේ හමුදා විසින් උතුරට පිවිසුම් දොරටුවක් ලෙස යොදාගත් වවුනියාව පැවතියේ හමුදා පාලන ප්‍රදේශයක් ලෙසිණි. ප්ලොට්,ටෙලෝ සහ ඊ.පී.ඩි.පී වැනි සන්නද්ධ කණ්ඩායම් ද වවුනියාවේ ක්‍රියාත්මක වුයේ රජයේ හමුදාවන්ගේ සහාය භුක්ති විඳිමිනි. චන්‍ද්‍රබෝස්ගේ ඝාතනයට පෙර දෙසතිය තුළ පමණක් වවුනියාවේදී වෙඩි තබා මරා දැමුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව 25 කි.
පස් වසරක් පුරා චන්‍ද්‍රබෝස් සමග සංස්කෘතික දේශපාලන ක්‍රියාකාරීත්වයන්හි නියැළුණු ‘සර්නිහර්’ පුවත්පතේ හිටපු ප්‍රධාන සංස්කාරක හා එවකට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක වූ බි. සිවකුමාර් චන්‍ද්‍රබෝස් ඝාතනය ගැන වසර අටකට පසු අදත් කතා කරනුයේ දැඩි කම්පනයෙනි.
“2007 අප්‍රේල් 16 වැනිදා රෑ අටට විතර චන්‍ද්‍රබෝස් සුදාහර් මට ටෙලිෆෝන් කරා. එයා කිව්වේ වවුනියාවේ තත්ත්වය එච්චර හොඳ නැහැ, කිසිම වැඩක් කරන්න බැහැ කියලා. හමුදාව වැඩිය එයා ගැන දන්නේ නැති වුණාට හමුදාව එක්ක වැඩ කරන EPDP, PLOT, TELO වගේ අය තමයි වවුනියාවේ ගොඩක් වැඩ කරන්නේ කියලාත් එයා මට කිව්වා. මම ඒ වෙලාවේ කිව්වා එහෙම බයක් දැනෙනවා නම් ටික කාලෙකට කොළඹ ඇවිත් ඉන්න කියලා. පස්සේ එදාම රාත්‍රී 10 ට විතර මගේ තවත් යාලුවෙක් කථා කරලා කිව්වා චන්‍ද්‍රබෝස්ට වෙඩි තියල මරා දාලා කියල.’
සිවකුමාර්ට අනුව දෙමළ අරගලය ගැන සහයෝගී ආකල්පයක් දැරූ ඔහු දිගින් දිගටම සිදු කෙරෙමින් තිබුණු මිනිස් ඝාතනවලට එරෙහිව පෙළ ගැසිය යුතු බව සිය ‘නිලම්’ සඟරාවට ලියන ලද අවසන් කතු වැකියේ සටහන් කර තිබිණි.
“තුවක්කුවක් හෝ අඩු තරමින් තියුණු ආයුධයක් වත් අතට ගන්නට කැමැත්තක් නොමැති, එවන් දේ දුටු විගස බියපත්ව දිව යන අහිංසක අසරණ මිනිස්සු ආණ්ඩුව හා ඔවුන් ලබා දුන් අවි දරා සිටින සංවිධාන එක්ව බියවද්දා , යටත් කොට අවසාන ය. කිව නොහැකි තරම් පීඩනයකි.
මේ සම්බන්ධයෙන් අපි චෝදනා කරමින් ද , හෙළා දකිමින් ද සිටිමි. නමුත් ලේඛකයන් වෙඩි තබා මරා දැමෙයි. ජනමාධ්‍යවේදීන් ද , කවීන් ද මරා දැමෙයි නැතහොත් අත්අඩංගුවට ගනු ලබයි. මේ අයුක්තීන්ට එරෙහිව සටන් කළ යුතු තත්වයක් දැන් උදාවී තිබේ. මාධ්‍යවේදියෝ ද , ලේඛකයෝ ද, කවියෝ ද මේ වෙනුවෙන් පෙළ ගැසිය යුත්තාහ,” නිලම් සඟරාවේ 2007 අප්‍රේල් අවසාන කළාපයට චන්‍ද්‍රබෝස් ලියා තිබුණි.
ඔහු වෙඩි තබා මරා දැමුණේ එයින් සතියක් ගෙවුණු තැන ය. දිවි ගළවාගත් ඔහුගේ මිතුරන් බොහෝ දෙනෙක් රට හැර ගියහ. නමුත් චන්‍ද්‍රබෝස් පිළිබඳ මතකය ඔවුන් තුළ තවමත් සුරැකිව තිබේ.
දෙමළ කවියෙහි මතු වී ආ නව පරම්පරාවක වැදගත් පුරුකක් ලෙස සැළකිය හැකි ඔහු විසින් පබැඳූ කවක දුක්බර වැකි අතර ඔහු මෙසේ ලියා තැබුවේය:
“නගන්නට මා කටහඬ
ඉඩ දෙනුව මා හට
විසින් නුඹේ උස් ස්වරය
සිඳලූයෙන් මා බොටුවෙන්
නුඹේ පා ලකුණු යට
මගේ කටහඬ හිරවී
වියැකී ගොස් ඇත”☐
අතුල විතානගේ
© JDS