දැඩි නීති රීති පැවතියද, වයඹ වෙරළ තීරයේ ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව නීති විරෝධී කැස්බෑ මස් ජාවාරම ඉතා සූක්ෂම අයුරින් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වේ.
මෙම ජාවාරම්කරුවන් විසින් ගැඹුරු මුහුදේදී කැස්බෑවුන් මරා, කටුව මුහුදට විසිකර මස් පමණක් ගොඩබිමට රැගෙන ඒමේ ක්‍රමවේදයක් අනුගමනය කරන බව අනාවරණය වී ඇත. ආරක්ෂක අංශවල ඇසට වැලි ගසමින් ගොඩට ගෙන එන මෙම මස් ඉතා රහසිගතව අලෙවි කෙරෙන අතර, කැස්බෑ මස් කිලෝග්‍රෑම් එකක් රුපියල් 2,000ක පමණ මිලකට අලෙවි වන බව සඳහන් වේ.
මෑත කාලයේදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන සතුන්ට සිදුවන හිංසාවන් පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ අනුව, අලි ඇතුන් ආරක්ෂා කිරීම සහ අලි ජාවාරම් වැටලීම සඳහා රජය විසින් ‘හස්ති සේනා’ මෙහෙයුම වැනි විශේෂ වැඩපිළිවෙළවල් වයඹ කලාපය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇත.
කෙසේ වෙතත්, අලි ඇතුන් රැකගැනීමට මෙන්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සාගරික ජීවීන් ආරක්ෂා කිරීමටද බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව පරිසරවේදීහු පෙන්වා දෙති. ආරක්ෂක අංශවලින් මිදී මෙලෙස කැස්බෑ මස් ගොඩබිමට ගෙන ඒම සම්බන්ධයෙන් ඔවුන් සිය දැඩි කණගාටුව පළ කර සිටිති.
ශ්‍රී ලංකාවේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ කැස්බෑවන් දැඩි ලෙස ආරක්ෂිත සත්ව කොට්ඨාසයක් ලෙස නම් කර ඇති අතර, ඔවුන් මැරීම, මස් ප්‍රවාහනය හා අලෙවි කිරීම මෙන්ම බිත්තර එකතු කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් වේ.




