ශ්‍රී ලංකාවේ දේශපාලනය හා ආර්ථිකය තීරණාත්මක කඩඉමකට පැමිණ තිබේ. නිදහසෙන් පසු ගෙවුණු හැටනව වසර තුළ මෙරට පාලනය කළ සියලුම නායකයින්, පාලකයින් කල්පනා කරනු ලැබූයේ රටේ ආර්ථිකය හා රටේ දේශපාලනය යනු දෙකක් ලෙසය. එම නිසාම දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී රටේ ආර්ථිකය පයිසකට මායිම් නොකළෝය. එතෙක් මෙතෙක් රට පාලනය කළ සියලුම නායකයින් තම තමන්ගේ දේශපාලන ව්‍යාපාරය තම තමන්ට තේරෙන මට්ටමෙන් ක්‍රියාත්මක කළ අතර එමගින් රටේ ආර්ථිකයට හා අනාගත ආර්ථික තත්ත්වයන්ට සිදුවන බලපෑම පිළිබදව කිසිදු තක්සේරුවක් ද නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකයට දැරිය නොහැකි තරම් සුබසාධනවාදී රටක් ද, සමාජ සුබසාධනය හා සියලුම පොදු කටයුතු රජය විසින් සපයා දිය යුතුයැයි ආකල්පයකින් යුත් සමාජයක් මෙන්ම රජයේ ආදායමට වඩා වැඩි ණය වාරිකයකින් යුතු ආණ්ඩුවක් ද, දශක හතකට පසු අපට උරුම වී තිබේ. අප රටක් ලෙස සිටිනුයේ බංකොලොත් භාවයේ එළිපත්තේය. පසුගිය දශක හත තුල සිදුවූ ආර්ථිකය හා දේශපාලනය පීලි දෙකක ගමන් කිරීම තාර්කික අවසානයකට පැමිණ තිබේ. වර්ථමාන පාලකයින් දේශපාලනඥයින්ට වඩා ආර්ථික විශේෂඥයින් ලෙස සිතිය යුතු කාලය එළඹ තිබේ. රටේ අගමැතිවරයාත්, එක්සත් ජාතික පක්ෂයත් මේ මොහොතේ කියවිය යුත්තේ එම සන්දර්භය තුල සිටිමිණි. බැලූ බැල්මට රට තුල අවුල් වියවුල් ගණනාවක් පවතී. එම අවුල් වියවුල් බොහොමයක් පවතින අවිද්‍යාත්මක, අශීලාචාර ක්‍රමවේදයන් තුළින් වාසි ලබන්නන් විසින් ඇතිකරන ලද ඒවාය. ඔබ හොදින් නිරීක්ෂණය කළහොත් දිනපතා මහාමාර්ගවල උද්ඝෝෂණයේ යෙදෙන, වර්ජනයේ යෙදෙන හා අර්බුද ඇතිකරන අය සියල්ලෝම පාහේ වර්ථමාන ආණ්ඩුව යෝජනා කරනු ලබන ප්‍රතිසංස්කරණවලින් පාඩු ලබන පිරිස් වන අතරම එම පවතින අශීලාචාර ක්‍රමවේදයන් තවදුරටත් පවත්වාගෙන යාම සදහා බලපෑම් කරනු ලබන්නෝ වෙති. ආණ්ඩුවේ කොටස්කාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ඒකාබද්ධ විපක්ෂය ද දශක දෙකක් පුරා මෙම ක්‍රමය ශක්තිමත් කිරීමට දරදිය ඇද්දන් වන අතරම එමගින් තම පැවැත්ම තහවුරු කරගත් අය ද වෙති. එක්සත් ජාතික පක්ෂය, එහි නායකයින් හා එම පක්ෂයේ සමාජිකයින් දහසකුත් කැපවීම් කරමින් රටේ පවතින තත්ත්වය, වඩා හොද තත්ත්වයකට ගෙන ඒමට උත්සාහ කරමින් සිටිය දී විටෙක මිතුරු වෙසින් සිටින සතුරන්ගෙන් ද තවත් විටෙක සතුරන්ගෙන් ද එමෙන්ම මිතුරන්ගෙන් ද ප්‍රහාරයට ලක්වෙමින් සිටී. නමුත් යහපාලන ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික ඇමතිවරු, එක්සත් ජාතික පක්ෂයේ ජන වරමට මුවා වී ආණ්ඩුවේ සියලුම වරප්‍රසාද ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයටම දෙස් දෙවොල් තබයි. ඔවුන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හා අනෙකුත් ආණ්ඩු විරෝධී බලවේග සමග එක් වී යහපාලන ආණ්ඩුව පෙරලා දමා ඔවුන්ගේම ආණ්ඩුවක් සෑදීමට කුමන්ත්‍රණය කරමින් සිටී. නමුත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයත්, රටේ ජනතාවගේ ජනමතයත්, ආණ්ඩුවේ ජනවරමත් ඇති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අගමැතිවරයාගේ කණ්ඩායම සෙමින් නමුත් ස්ථිරසාරව ඉදිරියට ගමන් කරයි. එම කණ්ඩායමේ ආරක්ෂාව නිරන්තරයෙන්ම ජනාධිපතිවරයාට හිමි වේ. නමුත් ජනාධිපතිවරයා වෘකයන් අතර නග්නවය. ජනාධිපතිවරයාට රාජ්‍යයේ කටයුතුවලට සම්බන්ධ වීම කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් වල නව ආණ්ඩු පිහිටුවීමේ පිපාසය හා ආශාව ඉදිරියේ ජනාධිපතිවරයාගේ කාලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් එම කණ්ඩායම හා ගත කිරීමට සිදුව තිබේ. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම කණ්ඩායම් ජනවාරි 08 වෙනිදාට පෙර සිටියේ එතුමාට විරුද්ධ කදවුරේ වන අතර මේ මොහොතේද ඔවුන් ජනාධිපතිවරයා සමග සකච්ඡා කොට ඉර බැස යන ගමනේ දිව යන්නේ හිටපු ජනාධිපතිවරයා හමුවීමටය. ජනාධිපතිවරයා වෘකයන් අතර නග්නව වුවද වෘකයින් දවල් මිගෙල් රෑ ඩැනියෙල් චරිතය රගපාමින් මහින්ද රාජපක්ෂ ඉදිරියේ හිවලුන් බවට පත්ව තිබේ. මෙම දේශපාලන නාට්‍යය දෙස එක්සත් ජාතික පාක්ෂිකයිනුත්, කොළඹ කේන්ද්‍රීය සිවිල් සංවිධානත්, දෙමල මුස්ලිම් ජනතාවත්, ජාත්‍යන්තර ප්‍රජාවත්, උපේක්ෂා සහගතව විටෙක භීතියෙන් ද විටෙක මවිතයෙන් ද බලා සිටී. ජනවාරි 08 වෙනිදා ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ සැබෑ හිමිකරුවෝ ඔවුන් වන අතර ඔවුන් ජනාධිපතිවරයා හොරු සමග හෙලුවෙන් යැයි සිතති. නමුත් තවමත් එම කණ්ඩායම් වලට ජනාධිපතිවරයා කෙරෙහි තිබෙන විශ්වාසයේ අඩුවක් සිදුවී නොමැත. ජනාධිපතිවරයා නිවැරදි තීන්දු තීරණ ගනිතැයි වශ්වාසයක් එම කණ්ඩායම් තුල ඇති අතර එම නිවැරදි තීන්දු වෙනුවෙන් පෙනී සිටීමේ එකගතාවයක් ජනවාරි 08 බලවේග තුල තවමත් ඉතිරිව තිබේ. මෙම ආණ්ඩුවට කෙතරම් ප්‍රහාර එල්ල වුවද අගමැතිවරයා දේශපාලන යුද්ධය තාවකාලිකව අමතක කොට ආර්ථික යුද්ධය ජය ගැනීමේ විශාල පරිශ්‍රමයක නිරතවී සිටී. මෙම අවදානම්කාරී ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමකින් තොරව මේ රටේ ජනතාවටත් ප්‍රධාන දේශපාලන ධාරාවන්ටත් පැවැත්මක් නොමැති බව අගමැතිවරයාගේ තක්සේරුවයි. මෙම ආර්ථික ආගාධයෙන් රට ඉහලට ඔසවා තබා රටේ ණය බර අඩුකොට ජාතික ආර්ථිකයේ පිබිදීමක් ඇති නොකළ හොත් රට තුල සිටින ප්‍රතිගාමී බලවේග නැවත ශක්තිමත් වී රට නැවතත් ඛේදවාචකයක් බවට පත්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය සිතයි. එබැවින් එක්සත් ජාතික පක්ෂයේ හා අගමැතිවරයාගේ මුළු අවධානයම යොමුවී ඇත්තේ රජයේ ආදායම 23% ට ගෙන ඒමට, රැකියා දස ලක්ෂයක් බිහිකිරීමට, ආර්ථික මර්මස්ථාන නැවත ජාතික ආර්ථිකයට එක්කර ගැනීමට, විදේශ විනිමය සංචිතය ශක්තිමත් කිරීමට හා රජයේ අනවශ්‍ය වියදම් සීමාකිරීම වැනි ප්‍රගතිශීලී ආර්ථික කාරණා කෙරෙහිය. එසේම එම මොහොතේදී ම රටේ දේශපාලන ස්ථාවරභාවය පවත්වාගෙන යමින් යහපාලන රජයේ පැවැත්ම කෙරෙහි අවධානය යොමු කළ යුතු සේම ඒ සදහා ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් ඇති කැපවීම රටට ප්‍රදර්ශනය විය යුතු බව මාගේ හැගීමයි.