ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරියට පමණක් අධික ලෙස වැටුප් වැඩිකරමින් නිකුත් කළ චක්‍රලේඛය නීති විරෝධි බවට අධිකරණ තීන්දුවක් පවා ලබා දී තිබියදී කැබිනට් පත්‍රිකාවක් මගින් එහි නීත්‍යානුකූලභාවය තහවුරු කිරීමේ උත්සාහයක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹදී අද (29) පැවැසීය.
එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බවද ඔහු සඳහන් කළේය.
ලංකා විිදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.
ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරියට පමණක් අධික ලෙස වැටුප් වැඩිකරමින් නිකුත් කළ 2014/ 46 දරණ චක්‍රලේඛය නීති විරෝධි බවට වෘත්තීය සමිති දිගින් දිගටම ප්‍රකාශ කර සිටියද රජය එය නොසළකා හැරි බවද ඒ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් පවා ප්‍රකාශයට පත්ව තිබියදී ඒ අනුව කටයුතු කරවනවා වෙනුවට මෙම චක්‍රලේඛය තවදුරටත් නීත්‍යානුකූල කිරීමේ උත්සාහයක් පවතින බවද හෙතෙම කීය.
රටට නිසි පරිදි විදුලිය ලබා දීමටවතත් නොහැකි අවස්ථාවක මෙවැනි චක්‍රලේඛ තවදුරටත් නීත්‍යානුකූල කිරීමට රජය ගන්නා උත්සාහය නින්දිත ක්‍රියාවක් බවද රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් පැවැසීය.
(Lankadeepa.lk)