වසර 2050 වනවිට මිලියන 300කට නිවහන වී ඇති වෙරළබඩ ප්‍රදේශ ගංවතුරින් යටවීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයෝ නැවත වරක් අනතුරු අඟවති.
කාබන් විමෝචනය වැඩි වී ඇති බවත් එයත් තවත් හේතු රැසක් නිසාත් විශේෂයෙන්ම මානව ක්‍රියාකාරකම් නිසාත් දේශගුණික විපර්යාස වැඩි වී ඇති බවත් එම නිසා ගංවතුර අවදානම උග්‍ර අතට හැරී ඇති බවත් ඔවුහු පෙන්වාදෙති.
‘අදත් හෙටත් කෙරෙන තේරීම්’ මානව ක්‍රියාකාරකම් අනුව 21 වැනි සියවස අර්ධයේදී සහ ඉන්පසුව එළැඹෙන කාලයේදී ‘ගෝලීය වෙරළ තීර’ ‘සිතියම්වල’ ඉතිරි වේද නොවේද යන්න තීරණය වනු ඇති බවත් එම විද්‍යාඥයෝ පෙන්වාදෙති. කඩිනම් පියවර නොගෙන්නේ නම් අනාගත පරම්පරාවලට වෙරළ තීර දැකගැනීමට නොහැකි වනු ඇතැයි එම විද්‍යාඥයෝ අනතුරු අඟවති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂණ කණ්ඩායමක් වන ‘ක්ලයිමේට් සෙන්ට්‍රල්’ ආයතනයේ විද්‍යාඥයන්ගේ මූලිකත්වයෙන් කරන ලද අධ්‍යයනයකින් මේ කරුණු හෙළි වී තිබේ. එම අධ්‍යයන වාර්තාව ‘නේචර් කමියුනිකේෂන්ස්’ ජර්නලයේ (විද්‍යා සඟරාවේ) පළ කර තිබේ.
විනාශකාරී කුණාටු, බලවත් හා දැඩි හානි සිදු කරන සුළි සුළං සහ මුහුදු මට්ටම් ඉහළ යෑම වැඩි වී තිබෙන බවත් එයින් වැඩිම බලපෑමක් සිදුවන්නේ ආසියානු මහද්වීපයට බවත් එම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ.
මේ තත්ත්වය නිසා චීනය, බංග්ලාදේශය, ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල ජනගහනයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් අවදානමට පත්ව ඇතැයි ද අධ්‍යයනය කළ විද්‍යාඥයෝ පෙන්වාදෙති.
බැංකොක්, හොංකොං, ෂංහායි, තායිෂූ, සුරබයා, ඩකා, මුම්බායි, හෝ චි මින් සහ ඔසාකා ආදී මිලියන ගණනක් ජීවත්වන නගර අවදානම් ගංවතුර කලාප ලෙස හඳුනාගෙන තිබේ.
ඒ.එෆ්.පී