එහි වෙසෙන ජනතාව කටයුතු කර තිබේ.
මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආරම්භයේ සිට ම උතුර සහ නැගෙනහිර පළාත්වල බලය ජනවාර්ගිකත්වය පදනම් කරගත් දේශපාලන පක්ෂ කිහිපයක් වටා ඒකරාශී වී තිබිණි.
එහෙත්, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මීට පෙර බලය කේන්ද්‍රගතව තිබූ දේශපාලන පක්ෂ මත පැවති බලය යම් දුරකට අහිමිව ඇති බව මැතිවරණ ප්‍රතිඵල නිරීක්ෂණයේදී පෙනී යන කරුණකි.
එහි කේන්ද්‍රගත දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සතුව පැවති සාම්ප්‍රදායික දේශපාලන බලය ජාතික ජන බලවේගයෙන් තරග කළ නව අපේක්ෂකයින් පිරිසක් වෙත ලබාදීමට උතුර සහ නැගෙනහිර පළාත් බහුතර ජනතාව කටයුතු කර තිබේ.
උතුර සහ නැගෙනහිර පළාතේ ඡන්ද ප්‍රතිඵලය ඇති කළ වෙනස
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 6න් 3ක බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත් වූ අතර, වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර 6න් ආසන 2ක් ද, ත්‍රිකුණාමලයේ මන්ත්‍රී ආසන 4න් ආසන 2ක බලය ද, මඩකලපුව මැතිවරණ දිස්ත්‍රික්කයේ එක් ආසනයක් හා දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කයේ ආසන 4ක් ද ජාතික ජන බලවේගයට හිමි ව තිබේ.
පසුගිය ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණයන්හි දී දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ වෙත උතුර සහ නැගෙනහිර පළාතේ බලය හිමිව තිබූ අතර, එම බලය මෙවර සම්පූර්ණයෙන් ම වෙනස් වී තිබේ.
මෙවර උතුරු පළාතේ මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි ම බලයත්, නැගෙනහිර පළාතේ ත්‍රීකුණාමලය සහ දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කවල බලයත් තමන් සතු කරගැනීමට ජාතික ජන බලවේගය සමත් වූ අතර, මඩකලපුව මැතිවරණ දිස්ත්‍රික්කය පමණක් ජයග්‍රහණය කිරීමට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමත් විය.
දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ මෙවර වෙන් වෙන් ව මහ මැතිවරණයට තරග කළ අතර, මඩකලපුව හැරුණුවිට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය උතුරු නැගෙනහිර එක් එක් දිස්ත්‍රික්කයෙන් දිනා ඇත්තේ එක් ආසනය බැගින් ය.
දෙමළ ජාතික සන්ධානය තුළ සිටි පක්ෂ කිහිපයක් එක් ව පිහිටුවාගත් ප්‍රජාතන්ත්‍රවාදී දමිළ සන්ධානය දිනා ඇත්තේ එක් ආසනයක් වන අතර, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නියෝජනය කළ ඊපීඩීපී පක්ෂයට මෙවර කිසිඳු ආසනයක් හිමි ව නැත.
උතුර සහ නැගෙනහිර පළාතේ ඡන්ද තීරණාත්මක ඇයි?
1994 ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්ගේ යම් අඩුවක් පැවතිය ද උතුර සහ නැගෙනහිර පළාත ජය ගැනීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සමත් වූවා ය.
ඡන්දය ප්‍රකාශ කිරීමේ සුළු අඩුවක් පැවතිය ද 1994 ජනාධිපතිවරණයේ දී උතුරේ සහ නැගෙනහිර පළාතේ බහුතර බලය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක දිනාගැනීමට සමත් වූ නමුත්, 1999 ජනාධිපතිවරණයේ දී එම සහය හිමි වූයේ ඇගේ ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂයටයි.
1999 දී උතුරේ සහ නැගෙනහිර ලක්ෂ හතරක ආසන්න ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගත් එක්සත් ජාතික පක්ෂය 2005 ජනාධිපතිවරණයේ දී එම පළාත්වල බහුතර බලයක් හිමි කරගත් නමුත් ඡන්ද ප්‍රකාශ කළ ප්‍රතිශතය අතිශය අඩු මට්ටමක පැවතියෙන්, මෙතෙක් ජයග්‍රාහකයා තීරණය කළ අවම ඡන්ද මට්ටම වන ඡන්ද 180,000කින් මහින්ද රාජපක්ෂ ජය ගත්තේ ය.
2015 ජනාධිපතිවරණයේ දී උතුරු පළාතේ මැතිවරණ දිස්ත්‍රික්කවල ඡන්දදායකයන්ගේ ඡන්දය භාවිත කිරීමේ විශාල උනන්දුවක් ඇතිව තිබූ අතර, ඒ දක්වා ඉතිහාසයේ ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් වැඩිම ඡන්ද දායකයන් ප්‍රතිශතයක් උතුරු පළාතේ ඡන්දය භාවිත කර තිබුණේ එම වසරේදීයි.
එවර යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 66.28%ක් ඡන්දය භාවිත කර තිබූ අතර, වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 72.57%කි.
2019 දී ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ හට උතුරේ ඡන්ද දායකයන්ගේ බහුතර සහය නොලැබුණෙන් ‘ඔහු තමා සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙකු’ ලෙස හඳුන්වා ගත්තේ ය.
පසුගිය සැප්තැම්බර් මාසයේ දී පැවති ජනාධිපතිවරණයේ දී මෙම තීරණාත්මක පළාත් දෙකෙහි ඡන්ද වැඩි කොටසක් දමිළ පොදු අපේක්ෂකයෙකු ලෙස තරග කළ පී. අරියනේත්තිරන් හටත් සමගි ජන බලවේගයේ අපේක්ෂයා වූ සජිත් ප්‍රේමදාසටත් හිමිව තිබිණි.
කෙසේනමුත් මාස දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත නව දේශපාලන ප්‍රවාහයකට, පැරණි ජාතිකත්ව දේශපාලන අධිකාරීත්වය බිඳ දමා බලය ලබා දීමට උතුරු නැගෙනහිර ජනතාව තීන්දු කර තිබේ.
බලය අහිමි වූ උතුර සහ නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරුන් කවුද?
පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව උතුර සහ නැගෙනහිර පළාත් නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට මෙවර සිය ආසන රැක ගැනීමට නොහැකි වී ඇති අතර, වසර ගණනාවක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ යාපනය මැතිවරණ කොට්ඨාසයේ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ සෙල්වරාසා ගජේන්ද්‍රන්, ප්ලොට් සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුළු පිරිසට සිය මන්ත්‍රී ධූර අහිමි තිබේ.
ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වන්නි මැතිවරණ කොට්ඨාසයේ හිටපු මන්ත්‍රී කුලසිංහම් දිලීපන්ට ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය ආසනය අහිමිව ගොස් තිබිණ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ එම්.එස්. තවුෆික් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කපිල අතුකෝරළ ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත්ව ඇත.
එමෙන් ම, පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ යාපනය මැතිවරණ කොට්ඨාස මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් හා වන්නි මැතිවරණ කොට්ඨාස මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන්ගේ බලය ද ගිලිහී තිබේ.
ජනතාවගේ බලාපොරොත්තු මොනවා ද?
උතුර සහ නැගෙනහිර පළාත් තුළින් පැරණි දේශපාලන පක්ෂ හා නියෝජිතයින් ඉවත් කර ජාතික ජන බලවේගය ප්‍රමුඛ නව පාලනයක් ගෙන ඒමට කටයුතු කළේ ඇයි ද? යන්න සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ සිවිල් වැසියෙකු වූ එම්. මනෝහරන්ගෙන් විමසීමක් කළෙමු.
“මට නම් පැරණි සිංහල හා දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින්ගේ ක්‍රියාකලාපය එපා වෙලා තිබුණේ. ඒ හැමෝම කළේ බිම් මට්ටමේ ඉන්න සාමාන්‍ය වැසියන් රවට්ටපු එක. දකුණේ වේවා, උතුරේ වේවා පවුල් පාලනය කේන්ද්‍ර කර ගත් දේශපාලන නියෝජිතයින් බහුතරයක් තමයි මේ දක්වා කාලයේ රට පාලනය කළේ.”
“ඒ අය හරහා අපි වගේ සාමාන්‍ය වැසියන්ට සිදුවුණ සෙතක් නෑ. උතුරු නැගෙනහිර ජනතාවගේ හිත්වලට කතා කරන නායකයෙක් පහුගිය කාලයේ රට පාලනය කළේ නෑ. ඒ හින්දා උතුරු නැගෙනහිර ජනතාව බොහෝ පිරිසක් දන්නේ නැති කෙනෙකුට ජන්දේ දෙනවාට වඩා දන්න පැරණි දේශපාලඥයන්ට ජන්දය දුන්නා.”
“ඒත් අනුර කුමාර මහත්තයා සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා මේ හැමෝගේ ම හිතේ තියෙන සාමාන්‍ය ජන දුක ගැන කථා කරමින් ඒවාට විසඳුම් හොයන්න කැප වෙයි කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. ඒ හින්දා තමයි එයා ගැන විශ්වාස කරලා අපි මේ පාර ජාතික ජන බලවේගයට ජන්දේ දුන්නේ.”
“ඒ විශ්වාසය රකින්න එයා කටයුතු කරන්න ඕනේ. ඒ විශ්වාසය එයා කඩ කරලා දැම්මොත් අපි නැවත වතාවක් එයාට බලය දෙන්නේ නෑ. අපි ඉල්ලන්නේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න ඉක්මනින් විසඳලා දෙන්න කියලා විතරයි. දැන් මිනිස්සුන්ට ප්‍රශ්නවලින් පීඩා විඳලා ඇති වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ,” මනොහරන් පවසයි.
නැගෙනහිර ජනතාවගෙන් බහුතර පිරිසක් ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශ්වාස කර ජාතික ජන බලවේගයට බහුතර බලයක් ලබා දීමට කටයුතු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන එම්. මොහිදීන්ගෙන් විමසීමක් කළෙමු.
“උතුරු නැගෙනහිර බහුතර ජනතාව මේ වෙලාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විශ්වාස කරලා තමයි ජාතික ජන බලවේගයට ජන්දය ලබාදුන්නේ. එයා සාමාන්‍ය ජනතාවගේ ගැටලු විසඳයි කියන විශ්වාසය හින්දා තමයි නැගෙනහිර පළාතේ ජනතාවත් ජාතික ජන බලවේගයට ජන්දේ දුන්නේ.”
“අපිට පැරණි දේශපාලන පක්ෂ ගැන විශ්වාසය නැති වෙලා තිබුණේ. ඒ හින්දා තමයි, මේ වෙලාවේ හොඳ ම විසදුම වෙලා ඉන්න ජාතික ජන බලවේගය වටා ජනතාව එකතු වුණේ.”
“ජනාධිපතිවරයා අපේ ගැටලුවලට විසඳුම් දෙන්න ඕනේ. ඒ වෙනස අපි බලාපොරොත්තු වෙන හින්දා තමයි අපි අනුර කුමාර මහත්තයා දිනවන්න ඡන්දය දුන්නේ.” හෙතෙම කියයි.
‘තවමත් උතුරු නැගෙනහිර ජනතාව දෙමළ දේශාපාලන පක්ෂ වෙත විශ්වාසයෙන් ඉන්නවා’
පසුගිය ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර දෙමළ ජාතික පොදු අපේක්ෂකයෙකු ලෙස තරග කළ පී. අරියනේත්තිරන් පවසන්නේ මෙවර සාම්ප්‍රදායික දෙමළ පක්ෂවලට ඡන්දය ලබා දීමේ අඩුවක් ඔහු නිරීක්ෂණය කරන බවයි.
“මෙවර උතුරු නැගෙනහිර ජනතාව සාම්ප්‍රදායික දෙමළ දේශපාලන පක්ෂ වෙත ජන්දය දීලා නෑ. සමහර පිරිසක් පුද්ගලවාදය නැති කරන්න කියලා ඇතැම් පක්ෂ වෙත ඡන්දය ලබාදීලා තිබුණේ නෑ. ඒ හින්දා අපේ පැරණි පක්ෂ වෙත ජන්දය ලැබීම අඩුවෙලා තිබුණා”
“අනෙක් කාරණය තමයි ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති උතුරු නැගෙනහිර ජනතාව බහුතරයක් දෙනා පිළිගෙන තිබුණා. ඒ හින්දා ඔහුගේ පක්ෂය වෙනුවෙන් ජන්දය ලබාදීමට වැඩි පිරිසක් කටයුතු කරලා තිබුණා,” ඔහු පැවසුවේ ය.
ඔහු පවසන්නේ මඩකලපුවේ තත්ත්වය වෙනස් වී ඇති බවයි.
“මඩකලපුවේ ජනතාව ඒ මතයට වෙනස් මතයක ඉදලා ඉලංගෙයි තමිල් අරසු පක්ෂය වෙත බහුතර බලයක් දීලා තිබුණා.”
පී. අරියනේත්තිරන් පෙන්වා දෙන්නේ තවමත් දෙමළ දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාවගේ විශ්වාසය පවතින බවයි.
“හැබැයි උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ නියෝජනයේ අඩුවක් වෙලා තිබුණේ නෑ. මගේ මතකයේ හැටියට පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජනතා නියෝජිතයෝ 12 දෙනෙක් තමයි පාර්ලිමේන්තුව නියෝජනය කළේ. මෙවරත් ජාතික ජන බලවේගයේ නියෝජිතයින් හැර 11 දෙනෙක් දෙමළ පක්ෂ නියෝජිතයෝ උතුරු නැගෙනහිරින් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒක ලොකු වෙනසක් නෙවෙයි. තවමත් උතුරු නැගෙනහිර ජනතාව දෙමළ දේශාපාලන පක්ෂ වෙත විශ්වාසයෙන් ඉන්නවා කියලා ඒ තුළින් ඔප්පු වෙනවා කියන එකයි මගේ මතය.”
‘නැගෙනහිර සැලකිය යුතු වෙනසක් වෙලා තියෙනවා’
සමාජ ක්‍රියාකාරිකයෙකු වන නිහාල් අහමඩ් පවසන්නේ මාස දෙකක් වැනි කාලයක් තුළ උතුරේ මතය වෙනස් වීමට ජනාධිපතිවරණයෙන් පසුව ගත් යම් යම් ක්‍රියාමාර්ග හේතු වූ බවයි.
“උතුරේ බලාපොරොත්තු වූ තත්ත්වයට වඩා මෙවර විශාල වෙනසක් සිදුවෙලා තියෙනවා. නව ජනාධිපති පත් වූවාට පසුව සිදු කරපු යම් යම් වැඩ මේ වෙනසට හේතු වෙන්න ඇති කියලා මම හිතනවා. වසර ගණනකට පසුව විවෘත වුණු පලාලි පාර විවෘත කරන්න කියලා මිනිස්සු අවුරුදු ගණනක් අරගල කරලා තියෙනවා. මම හිතන්නේ ජනාධිපතිවරණයෙන් පසුව සිදුවුණ මේ වගේ සුළු සුළු දේවල් ජනතාව තුළ යම් බලාපොරොත්තුවක් ඇති කරන්න හේතුවක් වුණා කියලා.”
කෙසේනමුත් නැගෙනහිර පළාත තුළ මෙවර ඉලන්ගෙයි තමිල් අරසු පක්ෂයට බලය ලබා දීමට ජනතාව කටයුතු කර ඇති බවක් දිස්වන්නේ යැයි ඔහු පැවසුවේ ය.
“නැගෙනහිර පසුගිය ඡන්දයට වඩා වැඩියෙන් ජාතික ජනබලවේගයට ඡන්ද ලැබිලා තිබුණත්, මෙවර යම් ඡන්ද කොට්ඨාසවල ඉලංගෙයි තමිල් අරසු කච්චි වැඩිපුර ඡන්ද වැටිලා තියෙනවා. පසුගිය ඡන්දයේ දී කරුණා අම්මාන්, පිල්ලෙයාන් වගේ අයගේ පක්ෂවලට ඡන්ද බෙදිලා ගියා. මෙවර ඒ පක්ෂ නැවත තරග කළත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි වෙලා සහ පහුගිය ඡන්දයේදී හිමි නොවුණු පැති වලිනුත් ආසන හිමිවෙලා තියෙනවා.”
ඔහු පවසන්නේ ජාතික ජනබලවේගය නැගෙනහිර පළාතේ ජයග්‍රහණය කළ මන්ත්‍රී ධූරවලට මුස්ලිම් නියෝජිතයන් ඇතුළත්ව නොමැති බවයි.
“මුස්ලිම් ඡන්දවලින් 50%ක් සම්පූර්ණයෙන් ම වෙනස් වෙලා. පරණ මුස්ලිම් දේශපාලනඥයන්ගෙන් බාගයකත් වඩා අඩු වෙලා තියෙනවා. නමුත් නැගෙනහිර පළාතේ මනාප සංඛ්‍යාව අඩු වීම නිසා මුස්ලිම් නියෝජිතයන් කවුරුත් ජාතික ජන බලවේගයෙන් ජයග්‍රහණය කරලා නෑ. ජාතික ලැයිස්තුවෙන් තමයි ඒ නියෝජනය ලැබුණේ.”
‘මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න සිස්ටම් එකක් නෑ’
එහි දී බීබීසී සිංහල විසින් නිහාල් අහමඩ්ගෙන් විමසා සිටියේ උතුර සහ නැගෙනහිර ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට නව රජයට හැකිවේද යන්නයි.
“කවුරු ආවත් මිනිස්සු බලාපොරොත්තුවන දේවල් ඉටු කරන්න අවශ්‍ය සිස්ටම් එකක් නෑ,” ඔහු පැවසුවේ ය.
“අපි ජාතික ජනබලවේගයෙන් පත් වුණ නියෝජිතයන් සමාජ ප්‍රශ්න කෙරෙහි දරන මතය දන්නේ නෑ. වඳ කොත්තු වගේ කතා මතුවුණ අම්පාර දිස්ත්‍රික්කයෙන් තරුණ නියෝජිතයන් ඒ වගේ ජාතිවාදී ප්‍රශ්නයකදී දරපු මතය හෝ ගත්ත ක්‍රියාමාර්ග අපි දන්නේ නෑ,” ඔහු පවසයි.
“නමුත් මිනිස්සු ඡන්දෙ දීලා තියෙන්නේ ජාතික මට්ටමෙන් අනුර කුමාර දිසානායකලා, හරිනි අමරසූරියලා වගේ මේ අයත් වැඩ කරයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් දැනට තේරීපත්වෙලා ඉන්න මන්ත්‍රීවරුන් සමග උතුරු නැගෙනහිර ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න යනවා කියන එක අමාරු වෙයි කියලා මම හිතනවා,” හෙතෙම කියයි.
‘අතුරුදන්වූවන්ට මේ ආණ්ඩුවෙන් සාධාරණයක් වෙයි කියලා විශ්වාස නෑ’
බලයට පත් ආණ්ඩුව හරහා අතුරුදහන් වූවන්ගේ ගැටළුවට විසදුම් ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ ද යන්න සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් එස්. ජෙනිටාගෙන් බීබීසී සිංහල විසින් විමසීමක් සිදුකරන ලදි.
“අපි ලංකාවේ පවතින කුමන හෝ රජයකින් අපේ ගැටළුවට විසදුම් ලැබෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. මොකද 2009 වසරේ ඉදලා මේ දක්වා පැවති හැම ආණ්ඩුවක්ම අපේ ගැටළුවට විසදුම් ලබාදුන්නේ නෑ. අපි ඉල්ලන්නේ අතුරුදහන්වූවන් වෙනුවෙන් වන්දි මුදල් නෙවෙයි. අපිට ඕනේ අතුරුදහන්වූ අපේ ඥාතීන්,” ඇය පවසයි.
“අතුරුදහන් වූ අපේ ඥාතීන්ට සිදුවුණේ මොකක්ද කියලා හොයා බලන්න කිසිම ආණ්ඩුවක් උත්සහ ගත්තේ නෑ.මේ ආණ්ඩුවටත් අපේ ගැටළුවට ස්ථිර විසදුමක් දෙන්න හැකිවෙයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ,” ජෙනිටා පැවසුවා ය.
“අනෙක් කාරණය තමයි මේ ආණ්ඩුවේ වුණත් බහුතරයක් සිංහල නියෝජිතයින් තමයි ඉන්නේ. ඒ අයට අපේ ගැටළුව සම්බන්ධයෙන් දැනෙන ප්‍රමාණය අඩුයි. ගැටළුව සම්බන්ධයෙන් නිසි දැනීමක් නොමැති පිරිසක් හරහා අතුරුදහන්වූවන්ගේ ගැටළුවට විසදුම් ලබාගන්න අමාරුයි.”
එම නිසා ඔවුන් ජාත්‍යන්තර මැදිහත්වීමක් බලාපොරොත්තුවන බව ඇය පැවසුවා ය.
“අපි ඒකයි ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා අපේ ගැටළුවට විසදුම් ලබාගන්න උත්සහ කරන්නේ. වර්තමාන ආණ්ඩුව හා ජනාධිපතිවරයා වුණත් අතුරුදහන්වූවන්ගේ ගැටළුවට නිසි විසදුමක් ලබාදෙන බවට නිශ්චිත සඳහනක් කරලා නෑ.”
“වර්තමාන ආණ්ඩුව සාධාරණය ඉටු කරනවා කියලා කියනවා නම් මුලින්ම කරන්න ඕනේ අතුරුදහන් වූ අපේ ඥාතීන්ගේ ගැටළුවට විසදුම් ලබාදීමයි. එහෙම වුණොත් අපිට විශ්වාස කරන්න පුළුවන්. නැත්නම් මේ ආණ්ඩුවත් පැරණි ආණ්ඩු වගේ ම අපිව නොසලකා හරියි.”
‘දකුණට මේ ලැබී තිබෙන්නේ අවසන් අවස්ථාව’
නීතිය හා සමාජ භාරයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක සඳුන් තුඩුගල පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපතිවරයා උතුර සහ නැගෙනහිර ජනතාවට ලබා දුන් පණිවුඩය ද මාස දෙකක් තුළ ජනතා මතය වෙනස් වීමට යම් බලපෑමක් ව තිබිය හැකි බවයි.
“ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපතිවරයා උතුරට ආමන්ත්‍රණය කරපු විදිහ උතුරේ මිනිස්සු බරපතල විදිහට භාරගෙන තියෙනවා. ඔහු කිවුවා ජනාධිපතිවරණයේ දී ඔවුන්ව මගහැරුණු බව, ඒ වගේ ම තමන් උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් බරපතල විදිහට සලකන බව වගේ ඒවා. ඒකත් මේ ප්‍රතිඵලය වෙනස් වෙන්න බලපෑවා.”
එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ උතුරට ද අවශ්‍ය රටේ ජාතික දේශපාලනය හා සම්බන්ධ වීමට බව යි.
“මේ ඡන්දයෙන් පෙනී යනවා ජාතික දේශපාලනය සමග සිටීමට උතුරේ මිනිස්සු තවමත් උනන්දුයි කියලා.”
“ඔවුන් වතාවක දී චන්ද්‍රිකාව විශ්වාස කලා. මෛත්‍රීව විශ්වාස කළා. සජිත්ව විශ්වාස කළා. මේ හැම වතාවක දී ම ඔවුන්ව නැවත නැවතත් නරක විදිහට පාවා දුන්නත් ඒ මිනිස්සු නැවත වතාවක් දකුණේ ජාතික ව්‍යාපාරයක් සම්බන්ධයෙන් විශ්වාසය තියලා තියෙනවා,” යැයි සඳුන් තුඩුගල පවසයි.
ඔහු පෙන්වා දුන්නේ ඒ සමගම දකුණට බරපතල වගකීමක් පැවරී ඇති බවයි.
“ඒ නිසා දකුණට විශාල වගකීමක් තියෙනවා ඒ අයගේ විශ්වාසය ආරක්ෂා කිරීමට.”
“උතුර විසින් සමස්ත දකුණේ දේශපාලනයට ම පණිවිඩයක් දීලා තියෙනවා මේ වතාවෙදිත් දකුණ විශ්වාස කරනවා කියලා. ඒ නිසා ඒ විශ්වාසය බරපතල විදිහට අරගෙන ඒ වෙනුවෙන් ක්‍රියා නොකළොත් විශාල විනාශකාරී තත්ත්වයකට මුල පිරීමක් සිදුවෙන්න පුළුවන්.”