Tuesday, November 19, 2024

මහියංගනයේ සිදුවූ අනතුරකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට

Must read

මහියංගණය – බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරිපිටදී අද (17) අලුයම වෑන්රථයක් හා බස්රථයක් ගැටී සිදුවූ මහ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇතැයි මහියංගණය පොලිසිය පවසයි.

දියතලාව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන්කරමින් තිබූ පෞද්ගලික බස්රථයේ ගැටුණු වෑන්රථය බස්රථය තුළට කාවැදී ඇතැයි පොලිසිය කියයි. වෑන්රථයේ රියදුරාට නින්ද ගොස් මාර්ගයේ වැරදි මංතීරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.

අනතුර වන අවස්ථාවේ වෑන්රථයේ 12 දෙනෙකු ගමන්කර ඇති අතර ඉතිරි දෙදෙනාගේද තත්ත්වය බරපතල මහියංගණය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. මෙම තුවාලකරුවන් දෙදෙනාම වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත පිටත්කර යවා තිබේ.

වැඩිහිටියන් 7 දෙනෙකු හා ළමුන් තිදෙනකු අනතුරින් මියගොස් ඇත. මළසිරුරු මහියංගන මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

අනතුරට පත්වූ වෑන් රියේ සිටි පිරිස මඩකලපුවේ සිට ජා ඇල සිටින ඥාතීන් පිරිසක් බැහැදැකීමට ගොස් නැවත සිය ගම් පෙදෙස බලා එමින් සිට ඇත.

මියගිය 10 දෙනා පවුල් තුනකට අයත් පිරිස වෙති. ඔවුන් අතර වයස අවුරුදු 56 ක් සහ 50 ක් වූ අඹු සැමි යුවළක් සිටින අතර ඔවුහු මියගිය දරුවන්ගේ සීයා සහ මිත්තණිය වෙති. මේ දෙදෙනාම මඩකලපුව පනිච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මඩකලපුව ඩවුබාර් පාරේ පදිංචිව සිටි මවත් පියාත්, ඔවුන්ගේ නිවුන් දියණියෝ දෙදෙනාත් යන සිව්දෙනාම අනතුරෙන් මියගියහ.

මඩකලපුව රත්නම් පාරේ පදිංචිව සිටි අඹුසැමි යුවළත්, වෑන් රිය පැදවූ ඔවුන්ගේ 19 හැවිරිදි පුතා සහ 10 හැවිරිදි දියණියත් මියගියහ. එම පවුලේම 13 හැවිරිදි දියණිය සහ ජා ඇල සිට පැමිණි 16 හැවිරිදි ඥාති දියණිය බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර සිටිති.

අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව මත පෞද්ගලික බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

මහියංගණය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.

(Lankadeepa.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article