සැඳෑ කල්පනා කවුළුවක
තනි රෑ කලු කුරුල්ලෙකි
ඈත අමතක ගීයක
මතක පද ඇහිඳගෙන ගයන…
මගේ මීදුම් මතකෙක
සැඳෑ මළ පත් කිහිපයකි
බැරිවීමකින්
නොගිළිහී තනි වුණු….
සංචාරයකය මා
තවම තනි තටු මිනිසෙකි
පරණ කෙලිබඩු කිහිපයක්
ළඟ තබාගෙන හිඳින
රිදුණු අප වැනි අයම
අපට හමු වෙද නැවත?
බිඳුණු මේ වැහි කුණාටු
සිඳුණු වැවකට වැටුම
කුමන කවියක වචනතර
නැවත හමුවෙද අපට?
සොඳුර මේ කවි කවුළුව
වසා දැමුමට නියමිත
කුඩා අඩිපාරක් ලෙසට
පෙනෙනවද තාමත් ඔබට?
කමක් නෑ
මේ වැනිම
කුරුල්ලන් අරන් ගිය කවි
කුඩා දිලිසෙන ගල් කැබලි
නැත්නම් කුඩා තරු කැටිති
වෙනත් කිසියම් රූ බිඳිති ලෙස
තිබෙනු ඇත යම් තැනක…
සිඳිනු ඇත මා හදම….
නදුන් යසිත දසනායක