Friday, September 20, 2024

ජුනි 20 මැතිවරණය පැවැත්වෙන බවට නිකුත්කල ගැසට් නිවේදනය බලරහිත කරනමෙන් ඉල්ලා පෙත්සමක්

Must read

කල් දමා තිබෙන මහමැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපතිවරයා නම් කර තිබේ.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ චරිත ගුණරත්න මහතා විසිනි.

අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ දිනය වන මාර්තු දෙවන දා සිට මාස තුනක් නොඉක්මවන කාලසීමාවක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් , එම කාල සීමාව ඉක්මවා පවත්වනු ලබන මහ මැතිවරණයක් ව්‍යවස්ථා විරෝධී බවත් පෙත්සම්කරු පෙන්වා දී ඇත.

එමෙන්ම නාම යෝජනා පත්‍ර භාරගැනීම අවසන් වූ දින සිට සති 5ත් 7ත් අතර කාලය ඇතුලත මැතිවරණය පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ දක්වා ඇති බවත් ඒ අනුව මහ මැතිවරණය මැයි මස 13 වනදා ට පෙර පැවැත්වීමට මැතිවරණ කොමිසම නීතියෙන් බැඳී සිටින බව ද පෙත්සම්කරු පෙන්වා දෙයි.

එමෙන්ම මේ වන විට රටතුල ව්‍යාප්තව ඇති කොව්ඩ්19 වසංගත තත්වය හමුවේ රට තුළ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් වන බැවින් ජූනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු මහ මැතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු ජුනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article