2020 ඉතාලියට වසන්ත කාලය ආරම්භ වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී අපි නන්නාඳුනන වෛරසයක ග්‍රහණයට හසුව පසුදින පිළිබඳව ජීවිත බලාපොරොත්තු කඩවුණු මිනිසුන් සේ අමිහිරි ජීවන අත්දැකීමක කොටස්කරුවන් වී සිටියෙමු. මේ කිසිවක් නොදත් වසන්තය වෙනදා මෙන්ම හිරුගේ අලුත් කිරණ සමග අතිනත ගෙන පැමිණ තුරුලිය මත අතුරිකිලි අග මල් තියා මධුසමය ප්‍රීතියෙන් ගත කරන්නට විය.
හැම වසන්තයකම සොබාදහම සමග එක්ව මේ ප්‍රීතිමත් සාදය බුක්තිවිඳින මානවයන් වසන්තයේ හුදෙකලා ව නිවෙස් තුළ කොටුව සිටියේය. නන්නාදුනන කොරෝනා වෛරසය ප්‍රචණ්ඩකාරී ව දකින දකින මිනිසාව ආක්‍රමණය කරමින්ර ග්‍රහණයට ගෙන මරණයට අරගෙන යන වේදනාව බිය සංකාව, ඒ වසන්තය තුළ අත් වින්දේය. අපි ඒ වසන්තය තුළ කොරෝනාවේ කෲරත්වයේ ප්‍රථම අත්දැකීමත්, ගොදුරත් බවට පත්ව සිටියෙමු.
මිනිසෙක් මිනිසෙක් කෙරෙහි රඳවා ගත යුතු මානව දයාව වෙනුවට තමන්ගේ මුහුණට මුහුණ හමුවන මිනිසා මරණය රැගෙන එන යක්ෂයා ලෙස දකින්නට, කෙනෙකු මුහුණට මුහුණ හමු වේ නම් ඔහුව මගහැර යන්නට තරම් බියට පත් මිනිසුන් විය. මේ දරුණු අත්දැකීම මාස හත අටක් විඳි අපි ස්වයං විනයකට යටත් ව දුෂ්කරතාවන්ට මුහුණ දී ඉන් මිදුනේ ය. වසංගතය පරාජයට පත් කරන්නට හැකි නොවුණත් වසංගතය සමඟ ජීවත් වෙන හැටි ඉගෙන ගත්තේය. ඒ සමග එදිනෙදා ජීවිතය ගත කරන රිද්මය විලාශය ජීවිත අත්දැකීම් තුළට කාන්දු කරගෙන අපි සෞඛ්‍යාරක්ෂිත ජීවිතයකට හුරු විය.උඩ යට යන කොරෝනා පැතිරීම සමග උස් පහත් වන බිය සැක ද සමග අපි මේ මොහොත පසු කර යන්නට වෙර දරන්නෙමු.
කොරෝනා වසංගතය ලෝකයට අලූත් අත්දැකීමක් වුණේ මීට වසර එකහමාරකට ඉහතදී චීනයේ වුහාන් වලින් ආරම්භ වුණු පසුව එහි දරුණු තම ගොදුර බවට පත්වුණු ඉතාලිය හා යුරෝපයේ අනිකුත් රටවල් කොරෝනා වසංගතයේ මුල්ම ගොදුර බවට පත් වූ කාල වකවානුව තුළයි. ක්‍රමානුකූලව මුළු ලෝකයම කොරෝනා වසංගතයේ ග්‍රහණයට හසු වූවායින් පසුව මේ නන්නාඳුනන වෛරසය පිළිබඳව බොහෝ දේවල් විද්‍යාඥයන් සොයාගෙන එය පාලනය කර ගැනීමට අවශ්‍ය කරන සෞඛ්‍ය වැඩපිළිවෙල නිර්මාණය කරමින් යම් තාක් දුරකට ඒ ජයග්‍රහණය කරමින් ඉදිරියට යන මොහොතක අප උපන් බිම මව්බිම මේ වසංගතයේ ගොදුරක් බවට අද පත්ව තිබේ.
අද අපට අපේ රට පිළිබඳව දැනෙන්නේ බියකි කනගාටුවකි දුකකි. අප එහි ජීවත් නොවුනත් අපගේ ජීවිත බැඳීම් එහි තවමත් පවතී. ඔවුන්ගේ ජීවිත පිළිබඳව අපට ඇත්තේ බියකි. රටේ පාලකයන් මේ වන විට ගෙන ඇති තීන්දු තීරණ ක්‍රියාමාර්ග හමුවේ රටේ ජනතාවගේ ජීවිත පිළිබඳව ඔවුන්ට වගකීමක් නැති බව අපට සනාථ වී ඇති නිසාම ඒ බිය තවදුරටත් වැඩි වෙමින් පවති. පාලකයන් පාලකයන් ගේ ජීවිත සුරක්ෂිත කරගනිමින් රටේ මිනිසුන්ගේ බහුතරයක් පීඩිතයින්ගේ ජීවිත බිල්ලට තබමින් ක්‍රියාමාර්ග ගන්නා හැටි දුටුවාම හෙට දවසේ අඳුර පිළිබඳව ඇතිවන්නේ බියකි. කණාමැදිරි එලි වලින් ආලෝකමත් කරන්නට බැරි තරම් වූ කළුවර අන්ධකාරයකි එය.
2020 වසන්තයේ ආරම්භයේ තැබූ ඒ දුක්මුසු කවි සටහනම 2021 ග්‍රීස්මය මධ්යනයේ මගේ රටේ මිනිසුන් වුදෙසා තබමි.
2020 වසන්ත කාලේ
ගමේ කෙළවර
ආදාහනාගාරය
දවා අලුකර හදවත්
සෝ සුසුම් පිටකලා
දුම් කවුළුවෙන්
ඉහළ අහසට
මළ ගමේ
නොමළ මිනිසුන්
හොරෙන් බල බල
ජනෙල් කවුළුවෙන්
ආදාහනාගාර චිමිනියෙන්
ගමේ අඩු වෙන
මිනිසුන්ව ගැන්නා
කට වසාගෙන
නිරුවත් දෑතින්
මිනී ගඳ මුහුවුන
අවට වාතය
පෙර පෙරා ඔක්සිජන්
පපුවේ ගැඹුරටම ඇද්දා
ගිලන් රථයක
හඬක් ඇහුනම
තිගැස්සෙන බයක් තිබුනා
අමාරුම කාලේ
අතැර ගියත්
බියට පත් මිනිසුන්
පුරුද්දට දෙයියන්ට යැද්දා
අලුත් හිරු කිරණ
තුරුලිය මත හැපි හැපී
රමණය කර කර
අලුත් මල් තිබ්බා
ඉඳ හිට ජනෙල් කවුළුවෙන්
වට පිට බලන විට
දඟකාර මද නල
අරන් ඇවිත් මල් සුවඳ
නාස් පුඩු මතින් තිබ්බා
බිඟුන් ඇවිදින්
හුරතල් කර කර මල් පෙති
හාදු දෙන සද්දෙත් ඇහුනා
නිදහසේ ගී ගය ගයා
විහඟුන්
වසන්තයේ සුව වින්ඳා
ධනවාදය
යුද ටැංකි ද
ඈතට විදිය හැකි මිසයිල ද
වෙඩි උණ්ඩ ද
පුහුණු කළ සොල්දාදුවන් ද
රටවල් අල්ලා ගැනීම සඳහා හොඳ සැලසුම් ද
නිර්මාණය කර
යුද උපකරණ
ගොඩ ගසා ගත්හ
ඔවුන්
හදිසි අවස්ථාවක පාවිච්චිය සඳහා
එකම ගිලන් ඇඳක් වත් ගොඩ ගසා නොගත්හ
***********************
කොරෝනා කාලේ
වසා දමා දේව මන්දිර දොර
ගමේ මිනි ගැන්නා ඝාණ්ටාර
***********************
පැරණි ලෝකය සහ අලුත් ලෝකය
ඔබ අසා ඇද්ද
වෙඩි උණ්ඩ නිෂ්පාදනය කරන්න
නොහැකිවීම මත
නවතා දැමූ යුද්ධයක් ගැන
ඔබ අසා ඇද්ද
ආහාර හිඟය මත
මිනිසුන් මැරෙනවා කියා
පාලනය අතහැර දැමූ පාලකයන් ගැන
ඔබ අසා ඇද්ද
ලෝකය පාලනය කරන මහල්ලන්
කොරෝනා වෛරස ආසාදන
සංකූලතා ඇති වී මියගිය බව
ඔබ හිතන්නේ නැද්ද
කොරෝනා වෛරස ආසාදනය වී
වැඩිපුරම මිය යන්නේත්
ඔබේ පන්තියෙ මිනිසුන් බව
ඔබට හිතෙන්නේ නැද්ද
කොරෝනා වෛරසය සමඟ
පැරණි ලෝකය විනාශ කර
අලුත් ලෝකය ගොඩනගන්න අවශ්‍ය බව
************************
රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ දොරටුව ඉදිරිපිට මල් ගසේ මල
හිත නරක් කර ගෙන මලක්
බලන් හිටිය මං දිහා
මගේ හිත සෙලවුණු නිසා
මාත් ඇහුවා මොකදැයි කියා
සුවඳ බෙදනවා මම
විඳින කෙනෙක් දුටුවේ නෑ
ඔබෙත් ඇස් දෙකේ තියනවා බය
හැමෝම වහගෙන නහයයි කටයි
ගිලන් ඇඳේ
ගියේ කවුද ?
පෙම්වතිය ද?
දැන් ටික දවසක ඉඳන්
ඔය දොරෙන් ඇතුලට ගිය අය
එලියට ආවෙ ටිකයි ඉඳහිට
ගිලන් වෙලා නේද හදවත
ඇස් දෙකෙන් පේනවා ඒ බව
නෙලාගෙන මාව
ඇයට ගිහින් දෙන්න
***************
කවියෙකුගේ අවසන් කවිය
ජීවිතෙන් සමු ගනිමි
තව ටිකෙන් මම
ආදරේ මං හැංගුවේ
කවි වල
පරිස්සම් කර තියන්න
ඒ පොත් කවි කොල
දරුවන්ට කියවන්න පුළුවන් වූ දවසක
පිටු පෙරළලා උන් කියවයි
මගේ හදවත
හිල්මි සුපුන්