හෑරූ මිනී වල
මහා මිනී වළවල් මතින් පියමනින
දේවතාවකි නුඹත් අම්මේ
දරුවෝ සොයා අඩි තබන
මේ පොලෝගැබ
විවර නොවුනාද නුඹට
අම්මේ නුඹ මාව සෙව්වාද
මම තාම මෙතනමයි…
සාමයක් නොමැතිවම සැතපුනා..
පස් කන්දරාවක් යට අපව සැඟවූ
ඒ රහස දිවා රෑ සෙව්වාද
මහා මිනීවළවල් මතත්
තුරු ලතා වැවෙනවා – මල් පවා පිපෙනවා..
දෝරේ ගලන වැසිත් හිත හදනවා
මේ මගේ ඇටකටුය – මං නිදන්නෙ මෙතන
පුරුදු සුවඳක් දැනී – නුඹ මෙතැන හැඳිනීද……
දුහුල් ඇටකටු වැසූ රෙදි පෙරෙලි මත
මම දැනුත් පෙර දා වගෙයි
නියමලක්වත් අතගාන්නට
නුඹට සිතුනාද
මහා මිනීවළවල – සමූහ සොහොන් තුළ
සැඟවුණද ලේ කඳ
අපේ අවසන් සුසුම්
උරාගත් අහස් කුස
වලාකුළු පුරවා
වැසි හෙළයි පොලොව මත
ඒ වැසියි අම්මේ
මහීමව් නහර තුළ
ලේ මෙන් ගලන්නෙ…
ඇගේ ඉකියක සැඟව
හැඬුම් මෙන් නැගෙන්නෙ…
ඒ සුසුම් දැනුනාද
ඒ කතා ඇසුනාද…
කුමාරි ප්‍රනාන්දු