Saturday, September 28, 2024

දෙමළ මාධ්‍යවේදියකුට එරෙහි මෑත ප්‍රහාරය ‘නිදහස් මාධ්‍යයට මළබෙර වැයීමක්

Must read

messenger sharing button
යාපනයේ නිදහස් මාධ්‍යවේදියකුගේ නිවසට එල්ල වු ප්‍රහාරය හෙලා දකින වන්නියේ මාධ්‍ය සමාජයක් ශ්‍රී ලංකාවේ දෙමළ මාධ්‍යවේදීන්ටඑරෙහිව දිගින් දිගටම කෙරෙන අඩන්තේට්ටම් සහ මර්දනය පිළිබඳ ජාත්‍යන්තර මැදිහත්වීමක අවශ්‍යතාව අවධාරණය කර සිටී.

උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කෙරෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන්ට දැනුම් දී ඇතත් ඔවුන් ඒ පිළිබදව නිසි දැඩි පියවර නොගැනීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පලකරන මුලතිව් මාධ්‍ය සමාජය ඒ නිසා ජාත්‍යන්තර නිරීක්ෂකයන් යෙදවීම අත්‍යාවශ්‍ය වී ඇති බව පෙන්වා දෙයි.

“ප්‍රවෘත්ති රැස්කිරීමේ තම රාජකාරිය අපක්ෂපාතීව  සිදු කරන උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන්ට එරෙහිව නොකඩවා දියත්කෙරෙන ප්‍රහාර හා අඩන්තේට්ටම් සම්බන්ධයෙන් පොලිස්පති සහ ජනාධිපති දක්වාම ඉහලට දැනුම් දී ඇතත්, ඒ පිළිබඳව කිසිදු දැඩි පියවරක් ගෙන නැත.”

ජුනි 13 වැනි බ්‍රහස්පතින්දා අලුයම 12.15 ට පමණ යාපනය අච්චුවේලියේ, පත්තමේනිහි පිහිටි දෙමළ මාධ්‍යවේදී තම්බිදුරෙයි ප්‍රදීපන්ගේ නිවසට යතුරුපැදිවලින් පැමිණ හඳුනා නොගත් පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නිවසට ගිනිතබා ප්‍රහාරයක් එල්ල කර තිබුනි.

මේ ප්‍රචණ්ඩ ක්‍රියාව නිසා මාධ්‍යවේදියාගේ යතුරුපැදිය සහ පවුලේ සාමාජිකයකුට අයත් ත්‍රිරෝද රථයකට මහත් සේ අලාබහානි සිදුවී ඇති අතර තවත් දේපලට හානි සිදුවී ඇති බව පෙන්වා දෙන මුලතිව් මාධ්‍ය සමාජය පවසන්නේ ඇස්තමේන්තු කර ඇති පරිදි ප්‍රදීපන් මාධ්‍යවේදියාගේ දේපලට සිදුවී ඇති හානිය රුපියල් දශලක්ෂය ඉක්මවන බවයි.

මුලතිව් මාධ්‍ය සමාජයේ සභාපති මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්ගේ අත්සනින් ජුනි 17 වැනිදා නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය අවධාරණය කරන්නේ ක්‍රියාත්මක වීමට මැලිකම දෝ, අභිප්‍රායක් නැතිකමදෝ හේතුකොටගෙන ආණ්ඩුව කිසිදු පියවරක් නොගැනීම විසින් මගපාදා ඇත්තේ දණ්ඩමුක්ති සංස්කෘතියකට බවයි.

දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහිව අඛන්ඩ ප්‍රහාර එල්ලවීම වැලැක්වීමට බලධාරීන් පසුබිම සකස් නොකරන තත්වයක් තුළ මෙම ප්‍රහාරයද රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන මාධ්‍ය මර්දනයක් ලෙස මුලතිව් මාධ්‍ය සමාජය විශ්වාස කරයි.

“පැමිණිලි කරන ලද විට නිසියාකාර විමර්ශන කරන ලද්දේ නම්, දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහිව අඛණ්ඩව ප්‍රහාර දියත් නොකෙරෙනු ඇත. අපට මෙය පෙනෙන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් කෙරෙන මාධ්‍ය මර්දනයක් ලෙසිනි.”

එමනිසා, මුලතිව් මාධ්‍ය සමාජය සිය නිවේදනය මගින්  තදින්ම ඉල්ලා ඇත්තේ දිගින් දිගටම සිදුකෙරෙන දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාරත්, මාධ්‍ය මර්දනයත් දැකබලාගැනීමට ජාත්‍යන්තර නිරීක්ෂණයක් අවශ්‍ය බවයි.

යුද වින්දිත මුලතිව් දිස්ත්‍රික්කයේ වෘත්තිය මාධ්‍ය සේවකයන්ට පසුගිය සමයේ රජයේ ආරක්ෂක අංශ වලින් එල්ල වු ප්‍රහාර සම්බන්ධයෙන්ද මුලතිව් මාධ්‍ය සමාජය සිය නිවේදනය මගින් සිහිපත් කර තිබේ.

“මුලතිව් දිස්ත්‍රික්කයේ රාජකාරි කරන බොහෝ මාධ්‍ය සේවකයන්ට එරෙහි කුරිරු ප්‍රහාර අතීතයේදී සිදුකරන ලද්දේ යුද හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් විසිනි. මාධ්‍යවේදීන් ජීවත් වූයේ නිරන්තර සෝදිසි කිරීම්වලට ගොදුරුවෙමිනි. “

එවැනි බියවැද්දීම්වලට අමතරව, පොලිස් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයේ ප්‍රශ්න කිරීම් සඳහා කැඳවීමටද, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හා නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල යෙදී සිටින්නන්ගේ තර්ජනයටද  දෙමළ වීම නිසාම මාධ්‍යවේදීන් ගොදුරු වීම මහත් කනස්සල්ලට හේතු වන්නකි.

එමෙන්ම, අතීතයේදී පැහැරගෙන ගොස් මරාදමන ලද දෙමළ මාධ්‍යවේදීන් 44ක්  සම්බන්ධයෙන් මේතාක් කිසිවකුත් වගවී නැතිවාක් මෙන්ම කිසිදු වින්දිතයකුට යුක්තිය හිමිකර දී නැත.

“දෙමළ මාධ්‍යවේදී තම්බිදුරෙයි ප්‍රදීපන්ට එරෙහි ප්‍රහාරය ඔහුගේ ස්වාධීන මාධ්‍යවේදයට මළබෙර වැයීමක් වන අතරම, ප්‍රජාතන්තරවාදයේ සිව්වැනි මුරගලට එරෙහි ප්‍රහාරයක් ද වෙයි.“ දෙමළ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර මුලතිව් මාධ්‍ය සමාජය (MPC) දැඩි ලෙස හෙලා දකී.

මාධ්‍යවේදීන්ට එරෙහි තර්ජන හා අඩන්තේට්ටම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්ගේ නායකත්වයෙන් යුත් මුලතිව් මාධ්‍ය සමාජය එවැනි ප්‍රහාර ගැන අවධානයෙන් හිඳ ඒවා නැතිකර දැමීම සඳහා කටයුතු කරන මෙන් ජාත්‍යන්තර ආයතන ඇතුළු සියලු පාර්ශවයන් ඉතා උවමනාවෙන් ඉල්ලා තිබේ.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article