මේකට සංවිධානයක් කියා නමක් තිබ්බේ විහිළුවට වගේ ය. ඇත්තටම ගත්තොත් මේක රටක් ය. රටක් කරවන අතක් ය. අතක් වට කොට ඇති රෙදි පටක් ය. එහෙම කියාගෙන කියාගෙන යනකොට මතක් වෙන්නේ මෙහෙම එකක් ය.
‘ඒවං මේ සුතං ඒකං සමයං ඥාන’
ඔබ සතු කඩය ගිනි ගැනීමේ අවදානමක් ඇත. ඔබේ නිවසට ගල් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇත. ඉන්පසු කාකි රෙදි පටක් කියනුයේ මෙසේ ය. ‘ඒ බයිසිකලයක ආපු තනි කෙනකුගේ වැඩක්’
ඉතින් රටක් වට කොට තැනූ මේ රෙදි පටේ අයිතිකාරයා ලෙස පෙනී සිටි තැනැත්තා සැඟවී සිටියේ කුමක් නිසාද? ඒ, මේ නිසා ය.
සියල්ලට පස්මහ බැලුම් බැලිය යුතුය. කාලය එනතෙක් උන් වහන්සේ සිට ඇත්තේ ලොකු තැනගේ පුරෝහිත තැනකගේ කිහිල්ල අස්සේ ය. මේ පුරෝහිත තැන කියන්නේ පන උල උඩ තියන මංගල ලක්ෂණ ඇති දූෂණයක් දුටු ගමන් ‘අඩෝව්’ කියන ජාතියේ සිරා පුරෝහිත කෙනෙකි. ඒ ආණ්ඩුව කාලයේ මෙච්චරක් මෙව්වා කළා, මේ ආණ්ඩුවේ බැඳුම්කර සල්ලි අච්චරක් අරහේ ගියා යනුවෙන් ඒ පුරෝහිත තැන දෙසා වදාළේය. ඒ දෙසිල්ල දෙස බලාගෙන ඇතැම් කීර්තියක් ඇති තැනැත්තෝ සාධුකාර දුන්නහ.
දැන් ඉතින් පුරෝහිත තැන කිහිල්ල අස්සේ සඟවාගෙන සිටි ඥාන එළියට දැම්මේය. ඒ ආණ්ඩුවේ ජීප් රථයෙන් පැමිණ ය. ආණ්ඩුවේ ජීප් රථයට පෙට්‍රල් ගහන්නේ කිරිපිටි ටිකට ගහන බද්දෙන් ය. සීනි ටිකට, පාන් රාත්තලට ගහන බද්දෙන් ය. බද්දෙන් කියන්නේ ඒ හරහා එකතු කරන සල්ලිවලින් ය. කොහොම හරි ඥාන නම් ඥාන ම ය. ඒ කාලයේ ගෝඨාගේ හෙවණේ වැඩුණේ ය. දැන් පුරෝහිත හෙවණේ ය.
පුරෝහිත හෙවණේ කියපු ගමන් පට්ට පතුරු ඇරිය යුතු නැත. මේ පුරෝහිත කියන්නේ කොහොමත් අනුන්ගේ වැඩ අදින ජාතියේ කෙනෙකි. මොනවා වුණත් භාරගන්නා වැඬේ බොක්කෙන් අදින්නේය. කන්‍යාවන්ගෙන් කිරි කළ හතක් නෑ තාත්තාගේ පුතා වෙනුවෙන් ද බොක්කෙන් දර දිය ඇද්දේය. ඒත් තාත්තා වගේ නොව, පුතාට එක කළයක්වත් නාන්නට බැරි බව ඉබේම වගේ තේරුම් ගත්තේය.
කියන්නට හැදුවේ වෙන කතාවකි. මේ රෙදි පට සියල්ල අඥ්ඥකොරොස් කර තිබේ. කාකි යුනිෆෝම් කාණ්ඩ හතරක් මාස භාගයක් තිස්සේ මේ රෙදි පට හෙව්වේය. ඒත් සල්ලං ය. කාකි බොස් කියා තිබුණේ ‘අපිට මේවා කජු ඇට වගේ, අහවලාගේ රෙද්ද පල්ලේ නැත්නම්’ කියා ය. භාවනා කළේ නැත කියා කොලර් එකෙන් ඇද යුනිෆෝම් එකකට කණට ගහන්නට හැදූ කාකි බොස්ට මෙව්වා සිම්පල් ය. ඒත් කොන්දේසි දෙකකි. එක, නාරි දේහයක් නොවීම ය. ඊට හේතුව ඕනෑම නාරි දේහයක් ළඟ දෙකට නැමෙන සහජ හැකියාව ය. දෙක ලොකු තැන් දෙක සමඟ ඇයි හොඳයිකම් නැති එක ය. එහෙම නොහිටියොත් මේක දාලා ගිය දාට වයඹ – මධ්‍යම පළාත් සභා මන්ත්‍රීකම නැති වෙන එක ෂුවර් ය. හිටියොත් හොඳට හැදී – ලොක්කොත් බණට වඩී කියන්නේ කාකි ලොකු තැන හැමවෙලාවේ ම ධර්මයෙන් ඉන්නට හදන නිසා ය.
ගෝඨලා මේ රෙදි පට රැක්ක එකේ වාඩුව ජනතාව ගත්තේය. මේ රෙදි පට සුදු තොප්පි කෑල්ලට දැමූ සද්දවල වාඩුව වින්දේය. ‘ගිනි තියන්නට හැක, ඒත් අළු හංගන්නට නොහැක’ කියන්නේ නිකමට නොවේ. රෙදි පට යන යන තැන අළු ඉතුරු කළේය. සුදු තොප්පි කෑල්ල ද නිකම් හිටියේ නැත. ඉත්තෑවාගේ ගෙට රිංගූ කබැල්ලෑවා වගේ විල්පත්තුව වගේ කැලෑවලට ශුද්ධය දුන්නේය. අල්ලන්නට පුළුවන් හැම අස්සක් මුල්ලක් ම තමන්ගේ තොප්පිය යට ට දාගන්නට ට්‍රයි කරන්නේය.
මේ දෙක ම එක ය. ඒ නිසා රෙදි පටේ වගේම සුදු තොප්පියේ ද හයිකාරකම් සියල්ල බැස්සිය යුතුය. ඒත් කොහේ බස්සන්නද?
රෙදි පට හැංගි හැංගී වෙස් බැඳ අන්තිමේ දී එළියට ආවේය. ආපු ගමන් සං සං ගා නඩු තුනකට ඉදිරිපත් වුණේය. සමාවන්න… අස්ගිරි ඇත්තන් කියූ පරිදි ඉදිරිපත් වුණු සේක. ඒ ඇත්තන් තව මෙසේ ද කියා තිබේ.
මේ විදිහට ගියොත් රට තුළ නොසන්සුන්කාරී පසුබිමක් ඇති විය හැකිය. එහෙම වුණොත් එහි වගකීම ආණ්ඩුව ගත යුතුය.
කතාව ඇත්ත ය. එහෙම දේවල් වළක්වන්නට කටයුතු කරන්නට ආණ්ඩුවට කොන්දක් තිබිය යුතුය. ඒත් වැඬේ තියෙන්නේ රට කරවන්නට අර්ථයෙන්-ධර්මයෙන්-අරකෙන්-මේකෙන් අනුශාසනා කරන බව කියන අස්ගිරි ඇත්තන් මෙහෙම කියන එක ය. ඒ ඇත්තන් කළ යුත්තේ මේ විදියට තර්ජනය කිරීමද? එවැනි දෙයක් සිදු වීම වැළැක්වීමට අවශ්‍ය කටයුතු කිරීමද? රෙදි පටේ හැසිරීම හොඳ නැති වුවත්, ඒ වැඬේ අවුලක් නැතැයි කියන එකෙන් ඒ ඇත්තන් රටට කියන්නට හදන්නේ කුමක්ද?
ආයෙත් වටේ ගියේය. උසාවියේ නඩු තුනකට ඉදිරිපත් වූ රෙදි පට යහතින් ගෙදර ගියේය. දැන් සියල්ල සන්සුන් ය. රෙදි පටට එරෙහිව තිබූ විරෝධය ද ටිකක් නිමුණා වගේ ය. කාකි කණ්ඩායම් හතරක් රට පීරුවෙත්, උසාවියෙන් වරෙන්තු නිකුත් කළෙත් මේ ටික කරන්නද කියලා හිතෙනකොට හිනා යන්නේ කටින් නම් නොවේ ම ය.
ජාතිවාදය ඇවිස්සීම ගැන ලොකු කතා කිව්වාට අවසානයේ රෙදි පටට විරුද්ධව චෝදනා ගොනු කර තිබුණේ නිකම්ම නිකම් පහරදීම් ගැන ය. දුන්නු ටෝක්වල හැටියට මෙදා පොටේ නම් රෙදි පටට හම්බෙයි බැටේ කියා සිතූ පිරිස්වලට නකුට දෙපරැන්ද අස්සේ ගසා ගත් බල්ලා වගේ ඉන්නට සිදු විය.
කෙහෙල්කැනක් කැපුවාට චෝදනා ගොනු කළද, මේවාට අදාළ ව එහෙම චෝදනා ගොනු කරන්නට කාකි ඇත්තන්ට බැරි ය. ඒවා කෙරෙන්නේ වෙනත් තැන්වලින් ය. ජාතිවාදය ඇවිස්සීම යට ගොස් පහරදීම් එළියට එන්නේ ඒ නිසා ය.
හරි ඒ විදියට වුණයි කියමු… කෝ එතකොට අර කියපු අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ සමානත්වය..
ඒවත් අර තැන්වලින් මෙව්වා වුණා වත්ද?
කාකි තැනින් වැඬේ සිද්ධ වුණු බව හැබෑ ය. ඒ නිසා පොතේ නීතියට අනුව වැඩ කළ යුතු බවත් හැබෑ ය. කාකි ටීම් හතරක් අච්චරක් මෙච්චරක් හොයලා දැම්මේ මේ චෝදනාවදැයි ප්‍රශ්න කළ බවත් හැබෑ ය. ඊට පස්සේ රෙදි පටට ගෙදර යන්නට දුන් බවත් හැබෑ ය.
මෙහෙම කරන්නට නම් අධිකරණයක් මොකටද?
නීති පොතට අනුව සියල්ල කළ යුතු බව ඇත්ත ය. ඒත් එහෙම කරන කොට යුක්තිය නොවන වෙන එකක් ඉස්සරහට එන්නේ නම් එහෙම නීතියකින් සහ අධිකරණයකින් වැඩක් තිබේද? අවශ්‍යතාව අනුව ඔයිට වඩා පොත් වෙනස් කර ඇත.
අධිකරණයේ සිටින ලෝගු මහත්තයාට කරන්නට දෙයක් නැත. ඒත් අඩු තරමේ ප්‍රශ්න කරන්නට හැක. එය රෙදි පටට අදාළ ව යම් තරමකින් සිදු වී තිබේ. අච්චරක් විලිරුදාවයි කිව්වාට, වැදුවේ මෙච්චරද? එසේ ඇසීමෙන් පමණක් සියල්ල හරි යයිද?
කාකි භාරයේ සිටි සැකකරුවන් මාංචු පිටින් ගංගාවලට පැන මියයාම්, අච්චරක් කාකි මහත්තුරු සිටිය දී තුවක්කුවක් උදුරාගෙන වෙඩි තියන්නට ගොස් වෙඩි කෑම් සිය ගාණක් ගැන අධිකරණයට කරුණු වාර්තා කෙරිණි. ඒත් ඒ සියල්ලේ දී කාකි කතා පිළිගත්තා මිස අධිකරණය පැත්තෙන් හරස් ප්‍රශ්න අහන්නට ගියේ නැත. සැකකරුවකු අත්අඩංගුවට ගත් පසු ඔහුගේ සියලු වගකීම අදාළ කාකි ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැරිය යුතුය. අඩු තරමේ ඒ වගකීම දරන කාකි ලොක්කා අධිකරණයට කැඳවූ අවස්ථාත් ඇත්තේ කීයෙන් කීයද?
ඒ නිසා කාකි ඇත්තන්ට පමණක් දොස් කියා අත පිසදා ගන්නට අධිකරණයක් අවශ්‍යද? ඒ කියන්නේ රට කරවන ඇත්තන්ට වචනයකින් හෝ තර්ජනයක් කරන්නට මේ තරම් ස්වාධීනයි කියන අධිකරණයට බැරිද? උත්තරය බෑ කියන එක ය. බෑ කියනවාටත් වඩා එහෙම කරන්නට ඔවුන්ට අවශ්‍ය නැත කියන එක ය.
රටක් වට කළ රෙදි පටක් ගොඩ ගියේ ඔන්න ඔහොම ය. සැඟවීම, අස්ගිරිය, එළියට ඒම, චෝදනා වෙනස, අධිකරණ වැඬේ … මේ සියල්ල ප්ලෑනකි. ඒ ප්ලෑනේ ජ