නීතිපතිවරයාට නියෝග දීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලයක් ජනාධිපති විමර්ශන කොමිසමකට නොමැති බව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල  ලිවේරා අවධාරණය කර ඇත.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මාධ්‍ය වෙත දැනුම්දී ඇත්තේ  ජනාධිපති ගෝඨාභය  ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාව වෙත මේ බව නීතිපතිවරයා ලිඛිතව දැනුම්දී ඇති  බවය.

ජනාධිපති විමර්ශන කොමිසන්  සභා පනත යටතේ පිහිටුවනු ලැබු ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවකට අධිකරණයක් හමුවේ විභාග කෙරෙන නඩු කටයුත්තකට අදාළව නියෝග දීමේ හෝ වාරණය කිරීමේ නීතිමය බලයක් හෝ අයිතියක් නොමැති බවද නීතිපතිවරයා  ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවට ලිඛිතව කළ දැනුම් දීමේදී අවධාරණය කොට ඇතැයිද  වැඩිදුරටත් වාර්තා වේ.

නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලට් වසන්ත කරන්නාගොඩ සහ රියාද් අද්මිරාල් ඞී.කේ.පී. දසනායකට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අවසන් නිර්දේෂ නිකුත් කරනතුරු ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාව කළ දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු සපයමින් නීතිපතිවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවට මේ බව දැනුම් දි  ඇත.

2015 ජනවාරී 08 වැනිදාත් 2019 නොවැම්බර් 16 වැනිදාත් අතර කාලය තුළ සිදුවි  ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්‍ෂා කොට කොට තොරතුරු ලබාගැනීම සඳහා  පත් කළ මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයින් වශයෙන් විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති) විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ‍්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරයි.

මෙම කොමිසමට පසුගිය 22 වැනිදා පළමු පැමිණිල්ල ඉදිරිපත් කොට ඇති වසන්ත කරන්නාගොඩ සහ ඞී.කේ.පී. දසනායක  විසින් දේශපාලන බලපෑම් මත තමන්ට එරෙහිව නඩු කටයුතු ආරම්භ කොට ඇති බවට පැමිණිලි කොට ඇති බව දැනුම් දී තිබු අතර ඒ සම්බන්ධයෙන් 23 වැනිදාම විමර්ශනය කළ කොමිසම වසන්ත කරන්නාගොඩ සහ ඞී.කේ.පී. දසනායකට  එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවේ අවසන් නිර්දේෂ නිකුත් කරනතුරු ඉදිරියට පවත්වාගෙන යෑම වලකාලමින් නියෝගයක් නිකුත් කොට තිබිණි.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවට ලිඛිතව පිළිතුරු සපයමින් නීතිපතිවරයා අධිකරණය හමුවේ නඩු පවරනු ලබන්නේ විමර්ශන වලදී ඉදිරිපත් වන සාක්කි පදනම් කරගෙන මිස වෙනත් පරිබාහිර කරුණු පදනම් කරගෙන නොවන බව දැනුම් දී ඇත.

මෙම විත්තිකරුවන් දෙදෙනා ඇතුළු  විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරනු ලැබ්වේ සියලුම නෛතික ක‍්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් අනතුරුව තමන් වෙත පැවරී ඇති නීතිමය බලතල අනුව බව කොමිසමට පෙන්වා දී ඇති නීතිපතිවරයා තමන්ගේ ඉල්ලීමකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට ඇති බවද පෙන්වා දී ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 04 සී හා 105 වැනි වගන්තීන් අනුව අධිකරණ නියෝගයකින් තොරව තමන්ගේ රාජකාරී කටයුත්තක් වන පැමිණිල්ල මෙහෙයවිම නතර කිරීමට කොමිසමකට කිසිඳු  නෛතික ප‍්‍රතිපාදනයක් නොමැති බව කොමිසමට පෙන්වා දී ඇති  නීතිපතිවරයා කොමිසන් සභා පනතේ 16 වැනි වගන්තිය යටතේ පිහිටුවනු ලැබු ජනාධිපති විමර්ශන කොමිසන් සභාවකට නීතිපතිවරයාට නියෝග දීමේ ව්‍යස්ථාපිත හෝ නෛතික බලතල නොමැති බවද වැඩිදුරටත් පෙන්වා දී ඇත.