Wednesday, December 25, 2024

30/1 ජිනීවා මානවහිමිකම් යෝජනාව පිළිබඳ ජවිපෙ ස්ථාවරය අගමැති මහින්ද විකෘති කරලා – විජිත හේරත්

Must read

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව සම අනුග්‍රහය යටතේ 2015දී ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ 30/1 යෝජනාව සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (19) දින නිකුත් කර ඇති නිවේදනය මගින්, එම යෝජනාව සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය බරපතල ලෙස විකෘති කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ 2015දී එජාප ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ මෙම 30/1 යෝජනාවට සම අනුග්‍රහය දක්වන විට ජනතා විමුක්ති පෙරමුණ කිසිදු විරෝධයක් දැක්වූවේ නැති බවයි. විජිත හේරත් මහතා පවසන්නේ මෙය සිතාමාතාම සත්‍ය විකෘතිකර දැක්වීමක් බවයි. 2015 සැප්තැම්බර් මස 22 දින ජවිපෙ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මෙම යෝජනාව සම්බන්ධයෙන් ජවිපෙ විරෝධය දැඩිව ප්‍රකාශ කරන ලද බවත් 2015 ඔක්තොම්බර් මස 04 දින ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින්ද මීට එරෙහිව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඊට අමතරව “ජිනීවා ඊයේ අද සහ හෙට” යනුවෙන් රට පරා සම්මන්ත්‍රණ මාලාවක් මෙම යෝජනාට එරෙහිව ජවිපෙ විසින් දියත් කරළ බවත් ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පෙන්වා දෙයි.

එමෙන්ම විදෙස් රටවලදී මෙන්ම විශේෂයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදීද මෙම යෝජනාවට එරෙහි සම්මන්ත්‍රණ පැවැත්වූ බවද ඒ මහතා අවධාරණය කරයි.

අගමැතිවරයා මෙම නිවේදනය හරහා ඇමරිකාවට සිය විරෝධය දක්වනවා වෙනුවට සත්‍ය විකෘති කරමින් එය ජවිපෙට අවලාද නැගීමට අවස්ථාවක් කරගෙන ඇති බවද විජිත හේරත් මහතා වැඩිදුරටත් පවසයි.

 

(lankatruth)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article