යාපනය මාධ්‍ය සමාජය, මුලතිව් මාධ්‍ය සමාජය, මඩකලපුව මාධ්‍ය සමාජය මෙන්ම දෙමළ ජාතික ජනතා පෙරමුණ ද විසින් ගුණානුස්මරණය කරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පැවති 2005 අප්‍රේල් 28 දා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් බම්බලපිටිය පොලීසිය අසලදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු තරාකී නමින් ප්‍රකට ධර්මරත්නම් සිවරාම්ය.
ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා මඩකලපුව ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත ස්මාරකය ඉදිරිපිට දී ධර්මරත්නම් සිවරාම්ගේ ඡායාරූපයකට මල් මාලයක් පලඳා මලින්, පහනින් ඔහුට උපහාර දැක්වීීමට මඩකලපුව දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය, මඩකලපුව මාධ්‍ය සමාජය හා නැගෙනහිර පළාත් මාධ්‍යවේදීන්ගේ සංගමය කටයුතු කර තිබුනේ අප්‍රේල් 29 වැනිදා අගහරුවාදා දිනයි.
2007 වසරේ අප්‍රේල් 29 වැනිදා යාපනය ස්ටැන්ලි පාරේ දී වෙඩි තබා ඝාතනය කළ උදයන් පුවත්පතේ මාධ්‍යවේදී සෙල්වරාජා රජීවර්මන් ද එහිදී සිහිපත් කර තිබුනි.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් මන්නාරම නගර සභා ශ්‍රවනාගාරයේ අප්‍රේල් 28 දා පැවැත්වු ජන රැලියකදී ද අවුරුදු විස්සකට ඉහතදී ඝාතනය කරන ලද ධර්මරත්නම් සිවරාම් අනුස්මරණය කර තිබුනි.
ටැමිල්නෙට් පුරෝගාමී කතුවර මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම්ගේ ඡායාරූපයකට මල් දම් පළඳා අප්‍රේල් 28 වැනි සඳුදා මලින් පහනින් ඔහුට ගෞරව දැක්වීමට මුලතිව් මාධ්‍ය සමාජය මෙන්ම යාපනය මාධ්‍ය සමාජයත් කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ ඝාතනයට ලක් වු මාධ්‍යවේදීන් අනුස්මරණය උදෙසා යාපනයේ ස්ථාපිත ස්මාරකය ඉදිරිපිට දී පැවැති අනුස්මරණය හා විරෝධතාවය සදහා කොළඹ සිට එහි ගිය සිංහල මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද එක්ව සිටි අතර අනුස්මරණයෙන් පසුව උතුරු, දකුණු හා නැගෙනහිර මාධ්‍යවේදීන් එක්ව යාපනයේදී විරෝධතාවය දියත් කර තිබුනේ සිවරාම් ඇතුළු මාධ්‍යවේදීන්ගේ ඝාතකයන්ට දඬුවම් දෙන ලෙස ඉල්ලා සිටිමිනි.
එම අවස්ථාවට එක්ව සිටි නැගෙනහිර පළාත් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් වඩිවේල් ශක්තිවේල් සදහන් කළේ මාරුවෙන් මාරුවට බලයට පත්වන කිසිදු පාලකයෙක් ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන් වෙත යුක්තිය ඉටු කර නොමැති බවයි.
“සිවරාම් වගේම, මේ භූමියේ මාධ්‍යවේදීන් 43 දෙනකු ඝාතනය කර තිබෙනවා. සෑම වසරකම, අපි පාර අයිනේ සිටගෙන ඝාතනයට ලක්වු අපේ සහෝදර මාධ්‍ය මිතුරන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා උද්ඝෝෂණ කරනවා. මාරුවෙන් මාරුවට බලයට එන ආණ්ඩු අපිව පාරට තල්ලු කරනවා. අපි කා ළඟට ගිහින් පැමිණිලි කරන්නද?”
ඝාතනයට ලක් වු සියළු මාධ්‍යවේදීන් වෙනුවෙන් මේ වසර තුළ දී හෝ යුක්තිය ලබා දෙන බවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ආන්ඩුව පොරොන්දු ලබා නොදුනහොත් මාධ්‍යවේදීන්ට යුක්තිය දිනා දීම වෙනුවෙන් මාධ්‍ය ප්‍රජාවට දිගටම මහපාරේ අරගල කිරීමට සිදු වන බවයි නැගෙනහිර පළාත් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් වඩිවේල් ශක්තිවේල් එහිදී තව දුරටත් සදහන් කර ඇත්තේ.
“දැන් වසර 5 ට බලයට පත්වෙලා ඉන්න අනුර ආණ්ඩුව මේ වසරේ මාධ්‍ය ප්‍රජාවට වග කිව යුතුයි. අඩුම තරමින් මේ අවුරුද්දේවත් ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනවා, අපි තවදුරටත් මාධ්‍ය ප්‍රජාව වීදිවලට තල්ලු නොකරනවා කියලා පොරොන්දු වෙන්න ඕන. එහෙම නොවුනොත් මාධ්‍ය ප්‍රජාවට දිගටම මහ පාරේ අරගලය කරන්න වෙයි.”
සිවරාම් සමරුවක් අගනුවරදී පැවැත්වීමට කිතුසර සංවිධානය, විකල්ප වෙබ් අඩවිය සහ සහෘදස්පන්දන සඟරාව කටයුතු යොදා ඇත.
‘යුක්තිය ඉටු නොවුණු 20 වසරක්’ මැයෙන් මැයි 5 සඳුදා සවස 3ට කොළඹ ගුරු මැදුරු ශාලාවේ පැවැත්වෙන අනුස්මරණයේ දී මධු සුදනන් හා ජෝසප් ස්ටාලින් අදහස් දැක්වීමට නියමිතයි.
මාධ්‍යවේදීන් 44 ක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේදී ඝාතන සහ පැහැරගැනීම් ඇතුළු පීඩාවලට රට තුලදී ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 ක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කරන ලද වාර්තාවක දැක්වේ.
ඉන් වැඩි ප්‍රමාණයක් උතුරේ දෙමළ මාධ්‍යවේදීන්ය. ඔවුන් කිසිවකුටත් මේ තාක් යුක්තිය ඉටු වී නොමැත.
ආරක්ෂා සහිත ඝාතනයක්
1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම් 2005 අප්‍රේල් 28 වැනි දා බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පැහැර ගැනුණේ සුදු වෑන් රථයකින් පැමිණුනු පුද්ගලයන් සිව් දෙනකු විසිනි.
ඝාතනය කර දමන ලද සිවරාම්ගේ සිරුර පසුදින හමුවූයේ ශ්‍රී ලංකා පාර්ලිමේනතුව ආසන්නයේ කිඹුලා ඇල ඉවූරේ අධි ආරක්ෂක කලාපයේ දී ය. ඔහු වධබන්ධනයට ලක්කර හිසට වෙඩිතබා තිබිණ.
ඝාතනයට ලක්වන විට සුප්‍රකට ටැමිල් නෙට් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ සිවරාම් සිය මාධ්‍ය ජීවිතය ඇරඹූයේ 1990 දී ඝාතනය කෙරුණු සහෝදර මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මඟ පෙන්වීම යටතේ ය.
1997දි ටැමිල් නෙට් වෙබ් අඩවිය අරඹන තුරු සිවරාම් ‘දි අයිලන්ඩ්’, ‘සන්ඩේ ටයිම්ස්‘, ‘ඩේලි මිරර්‘, ‘වීරකේසරී‘, ‘ටැමිල් ටයිම්ස්‘ යන මාධ්‍ය ආයතනවල නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේ ය.
තරාකී
1989දී ‘දි අයිලන්ඩ්‘ පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ගාමිණී විරකෝන් විසින් දේශපාලන විශ්ලේශකයෙක් සොයනු ලබමින් සිටියදී රිචඩ් ද සොයිසා විසින් ඔහුට සිවරාම් හඳුන්වා දෙනු ලැබිණ.
ගාමිණී වීරකෝන් විසින් සිවරාම් වෙනුවෙන් නිර්මිත අරූඪ නාමය වූයේ ‘තාරක‘ යන්නයි. නමුත් සංස්කරණ දෝෂයක් හේතුවෙන් ඒ නම මුද්‍රණය වී තිබුණේ ‘තරාකී‘ වශයෙනි. දෝෂ සහිතව පළවූ එම නම සිවරාම් විසින් මියෙන තුරාම තම ආරූඪ නාමය ලෙස භාවිතා කෙරුණි.