යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රහයකත්වය දැක්වීමෙ ක්‍රියාවලියෙන් ඉවත්වීමට රජය තීරණය කළ බව අගමැති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුලට එරෙහිව පනවා ඇති සාමුහික දඩුවම ගැන ඇතිවී තිබෙන කථිකාවෙන් පෙනෙන්නේමේ රටේ දේශපාලන බෙදීම පවතින්නේ එක් පැත්තකින් රට ජාතිය ගැන හිතන දේශ මාමක බලවේගයත්, අනෙක් පැත්තෙන් රට පාවාදීමට අවස්ථාවක් එනතුරු බලා සිටින උපන් ගෙයි දේශද්‍රෝහීන් අතර බෙදීමක් හැටියට බව අගමැතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
එහෙත් ආණ්ඩුවේ මේ තීරණය සම්බන්ධව විග්‍රහ කරන මානව හිමිකම් ක්‍රියාකාරිකයකු සහ මාධ්‍යවේදියකු වන සුනන්ද දේශප්‍රිය පවසන්නේ තව සතියකින් එළඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට හුදෙක් ප්‍රකාශයක් කිරීම මගින් 30/1 සහ 40/1 යෝජනාවන්ගෙන් නිල වශයෙන් ඉවත් විය නොහැකි බවය.
එය කළ හැකි වන්නේ ඒ සදහා යෝජනාවක් මෙවර කවුන්සිලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි නම් පමණි. මේ අවස්ථාවෙහි ඒය ඉතා දුෂ්කර කාරියක් වීමට ඉඩ ඇති බව ජිනීවාහි තතුදත් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඔහු පවසයි.
ආණ්ඩුවේ නිල ඉවත්වීම දන්වමින් අගමැති මහින්ද රාජපක්ෂ නිකුත්කල නිවේදනය පහත දැක්වෙයි.
මහින්දගේ නිවේදනය !
” ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇමරිකාවට ඇතුල් වීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. අප සිටින්නේ 21 වෙනි සියවසේ වුවත්, යුරෝපයේ මධ්‍යතන යුගයේ සිදු වූ සාමූහික දඩුවම් සිහිගන්වමින්, කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනාවකටවත් ලක් වී නැති යුද හමුදාපතිවරයාගේ බිරිඳ හා දරුවන් මතත් එම තහංචිය පනවා තිබේ.
මෙහි ඇති සාධාරණය කුමක් දැයි ජනතාව තීන්දු කළ යුතුය. යුද හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි චෝදනා කලද, ඒ චෝදනා මොනවාදැයි කිසිවෙකුත් දන්නේ නැත. නීති ප්‍රකාරව වැරදිකරුවෙකු වෙනතුරු අපරාධයකට චෝදනා ලැබුවෙකු වුවද නිර්දෝශී ලෙස සැලකිය යුතු බවට සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුතියේ සඳහන් වුවත් ශ්‍රී ලංකාවේ හමුදාපතිවරයාට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එම නියමය බලපාන බවක් පෙනෙන්නට නැත. අපගේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය වෙත දැඩි විරෝධය ප්‍රකාශ කර ඇත.
ඓතිහාසික පාවාදීමක් !
වෙනත් රටවලට අපගේ ආරක්ෂක හමුදා සාමාජිකයන් මේ ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් හැටියට නම් කිරීමට අවකාශය ලැබුණේ, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රහයකත්වය දැක්වීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසාය.
මේ යෝජනාවේ පළමු ක්‍රියාකාරී වගන්තියේම, 2015 සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමාසාරිස් කාර්යාලය විසින් ලංකාවේ සන්නද්ධ හමුදා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සම්පාදනය කර තිබූ වාර්තාව අගය කර තිබුණි.
මෙකී වාර්තාව ඊට කළින්, 2011 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා, එම ආයතනයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියට පිටින් පත් කොට තිබු නිල නොවන ත්‍රි පුද්ගල කමිටුවක වාර්තාව මත පදනම්ව තිබුණි.
ඒ ආකාරයට, යුද්ධය අවසන් වූ කාලයේ සිට අපේ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව නොයෙක් පාර්ශව විසින් එල්ල කළ සියලුම පදනම් විරහිතචෝදනා, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ යහපාලන හවුල පිළිගෙන ඇත. 30/1 යෝජනාව ලංකාවේ සම අනුග්‍රහකත්වය තුළින් පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කර ඇත.
”යහපාලන හවුල එය හෙළා දැක නැත”
අපේ රටේ යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත මධ්‍යයතන යුරෝපයේ සාමූහික දඩුවම් සිහිගන්වන ආකාරයේ සාමූහික ගමන් තහන්චියක් පනවා තිබුණද, යහපාලන හවුල එය හෙළා දැක නැත. එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා මේ ගමන් තහන්චිය පැනවීම අපේ ආණ්ඩුවේ වගකීමක් යැයි කියා තම පක්ෂය 2015 කළ මහා පාවාදීම වසන් කිරීමට උත්සාහ දරයි.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ මොහොතේ ඇමරිකාව විසින් යුද හමුදාපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් මත මේ ආකාරයට ගමන් තහංචි පනවා ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදුජන පෙරමුණට විශිෂ්ඨ ජයක් ලබා දීමේ කුමන්ත්‍රණයක් නිසා බවයි.
දෙමළ ජාතික සන්ධානය නම් අමෙරිකාව විසින් යුද හමුදාපතිවරයා සහ ඔහුගේ පවුල මත පැනවූ සාමූහික දඩුවම ගැන සෘජුව ප්‍රසාධය පල කොට ඇත.
2015 දී එජාප ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ 30/1 යෝජනාවට සම අනුග්‍රහකත්වය දක්වන විට ඊනියා අධිරාජ්‍ය විරෝධීන් යැයි කියාගන්නා ජනතා විමුක්ති පෙරමුණ එයට කිසිදු විරෝධයක් දැක්වූයේ නැති බවත් මෙහිදී ජනතාව සිහියේ තබාගත යුතුය” අගමැතිවරයා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
සුනන්ද දේශප්‍රියගේ විග්‍රහය මෙන්න !
ආණ්ඩුවේ මේ තීන්දුව සම්බන්ධව මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය srilankabrief.org
ශ්‍රී ලංකා හමුදාපති ෂවේන්ද්‍ර සිල්වාට ඒරෙහිව එක්සත් ජනපදය විසින් පනවා තිබූ තහනමට ප්‍රතිචාරයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ ද සමදායකතවයෙන් සම්මත කරන ලද 30/1 යෝජනාවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිලිබඳව අන්තර් ජාතික මානව හිමිකම් සංවිධාන සිය විරුද්ධත්වය පළ කරනු ඇතැයි දැන ගන්නට තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පෙරේදා (17) පැවති විශේෂ රැස්වීමකදී බව ද වාර්තා වේ.
මේ බව සනාත කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 දරණ යෝජනාවන්ගෙන් ඉවත් වීමට රජය කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පෙරේදා මාධ්‍යවේදීන් අමතමින් පවසා තිබේ.
ජිනීවා යෝජනාව ශ්‍රී ලංකාවට එරෙහිව භාවිතා කළ ආයුධයක් බවත්, යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු බවත් ජයසේකර පවසා ඇත.
මෙම යෝජනාවන්ට ශ්‍රී ලංකා ආණ්ඩුව සමදායකත්වය සපයන ලද අවස්ථාවේහි දී එම ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ ජයසේකර ඊට සහය දුන්නේ ය.
මෙළෙස ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් ඉවත්වීම ආන්තික අදහස් දරණ දෙමළ මෙන්ම සිංහල පිරිස්හි සතුටට හේතු වී තිබේ.
දෙමළ ආන්තික ජාතිකවාදී කන්ඩායම් දිගටම කියා සිට ඇත්තේ මෙම යෝජනාව වැඩකට නැති එකක් බවත් එය දෙමළ “ජන සංහාරය” වසං කිරීම සපයන ලද කඩතුරාවක් බවත් ය. දෙස් විදෙස් එම පිරිස් දිගින් දිගටම ඉල්ලා සිට ඇත්තේ යුද්ධයේ අවසන් සමයෙහි දී ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනයාට එරෙහිව කරන ලදැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික යුද අධිකරණයට වාර්තා කළ යුතු බවයි.
එමෙන්ම ආන්තික ජාතිකවාදී අදහස් දරණ සිංහල පිරිස් කියා සිටින්නේ මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ සෛරීයත්වයට කරන ලද බාධාවක් බවත් යුද සමයෙහි කිසිදු යුද අපරාධයක් සිදු නොවූ බවත් ය. මෙම යෝජනාවෙන් ශ්‍රී ලංකාන්ඩුව ඉවත් වියයුතු බවට දෙස් විදෙස් එවැනි පිරිස් දිගටම උද්ඝෝෂණය කළහ.
හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වාට එරෙහිව පවරා ඇති තහනම සහ ජිනීවා යෝජනාවෙන් ඉවත් වීම එළඹෙන මහ මැතිවරණයෙහි දී රාජපක්ෂවරුන්ට මහත් වාසියක් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
නිල වශයෙන් ඉවත් විය නොහැකි හේතුව :
තව සතියකින් එළඹෙන මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට හුදෙක් ප්‍රකාශයක් කිරීම මගින් 30/1 සහ 40/1 යෝජනාවන්ගෙන් නිල වශයෙන් ඉවත් විය නොහැකි ය.
එය කළ හැකි වන්නේ ඒ සදහා යෝජනාවක් මෙවර කවුන්සිලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි නම් පමණි. මේ අවස්ථාවෙහි ඒය ඉතා දුෂ්කර කාරියක් වීමට ඉඩ ඇති බව ජිනීවාහි තතුදත් ආරංචි මාර්ග පවසති.
40/1 යෝජනාව විසින් මානව හිමිකම් මහ කොමසාරිස්වරයගේ කාර්යාලයට පවරණ ලද වගකීම් අනුව එලඹෙන 43 වන සැසිවාරයට ශ්‍රී ලංකාව එම යෝජනාව ඉටු කිරීම සම්බන්ධ ප්‍රගතිය ගැන අන්තර් වාර්තාවක් ද 2021 මාර්තු මාසයේ ද පැවැත්වෙන 46වන සැසි වාරයට පරිපුර්ණ වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු ය. එම වගකීම ඉවත් කළ හැක්කේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් මගින් පමණි.
ජිනීවාහී ශ්‍රි ලංකා තානාපති ධුරය තවමත් හිස්:
අද වනවිට ජිනීවාහී ශ්‍රි ලංකා තානාපති ධුරය හිස්ව පවතින අතර කලින් සිටි තානාපතිවර අසීස් නොරේවේ තානාපති වශයෙන් පත් කරන ලද නමුත් පසුව ඔහු කොළඹට කැදවන ලදී. ජිනීවාහි තානාපති වශයෙන් නම් කර ඇති සී.ඒ. චන්ද්‍රප්‍රේම තවම ජිනීවා කරා පැමිණ නැත.
ශ්‍රී ලංකාව 30/1 සහ 40/1 යෝජනාවෙන් ඉවත්වුව හොත් යුරෝපා සංගමය විසින් ලබා දී ඇති ජී.ඒසි.පී. සහනය අත් හිටුවීමට ඉඩ ඇත්දැයි දැන්ම කිව නොහැකි බව යුරෝපා සංගමයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේ වුවත් ශ්‍රී ලංකාව මෙම තීරණය ක්‍රියාත්මක කළ හොත් එය දාම ප්‍රතික්‍රියාවකට මඟපාදනු ඇති බව ජිනීවා මානව හිමිකම් සංවිධාන ප්‍රධානියකු පැවසී ය.
(newstube)