Sunday, May 5, 2024

විදේශ රැකියා අපේක්ෂිතයින්ට පොලිස් වාර්තා නිකුත් කිරීමේදී සහනයක්

Must read

 

විදේශ රැකියා සඳහා රටින් පිටව යාමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම අනුමැතිය ලබාදී ඇත.

විදේශ රැකියා සඳහා පිටව යාමට අවශ්‍ය පොලිස් වාර්තාවට සුළු වැරදි ඇතුළත් කිරීම නිසා තමන්ට විදේශ රැකියා අවස්ථා ලබාගැනීමට නොහැකි වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදෙන ලෙසට බොහෝ පිරිසකගෙන් ඉල්ලීම් ඉදිරිපත්ව ඇති අතර විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන, නව ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන ඇත.

නව ක්‍රමවේදය අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 378 වගන්තිය යටතේ ඇති වංක පරිහරණය, දණ්ඩ නීති සංග්‍රහයේ 389 වගන්තියේ සිට 392 වගන්තිය දක්වා ඇති සාපරාධී විශ්වාසය කඩකිරීම, 400 වගන්තිය සිට 403 වගන්තිය දක්වා ඇති වංචා කිරීම සහ විෂ වර්ග, අබිං, අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩු මෙසේ පොලිස් වාර්තාවට ඇතුළත් නොකිරීමට තීරණය කර ඇති බවත් එමෙන්ම කිසියම් පුද්ගලයකු නීතිමය කටයුත්තකින් නිදොස්කොට නිදහස් කර ඇති අවස්ථාවකදී හෝ යම් නීති කටයුත්තකින් නිදහස් කර ඇති අවස්ථාවකදී එයත් පොලිස් නිෂ්කාශන වාර්තාවට ඇතුළත් කිරීමට අවශ්‍ය නොවන බවත් වාර්තා විය.

එසේවෙතත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම පරමාර්ථ කරගත් සියලුම පනත් යටතේ ඇති වරදවල් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති වරදවල් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පොලිස් වාර්තාවට ඇතුළත් කෙරෙන බවත් අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article