Friday, December 27, 2024

ලොව ප්‍රබලම ‍‍කෝටිපතියාව පැරදවූ නිර්ධන පන්තියේ ඒ අසිරිමත් ගැහැණිය – ක්ෂමා සැවන්ත්

Must read

එය මතවාදීමය සටනකි. එය ධනපති පන්තියේ සහ නිර්ධන පන්තියේ සටනකි. එමෙන්ම එය ප්‍රබල මිනිසෙක් සහ ආර්ථිකමය ලෙස දුර්වල ගැහැනියක් අතර සටනකි. මිනිසා සිය රටෙි උපන් මිනිසෙකි. ගැහැනිය ඉන්දියාවෙන් සංක්‍රමණය වූ තැනත්තියකි. හේ ලොව ප්‍රබලම කොටිපතියායැයි නම් ලද ඇමෙරිකා එක්සත් ඡනපදයේ සියැටල්හි ඉපදී සියැටල් සිය වෙළද මුලස්ථානය කරගත් ඡෙෆ් බීසෝස්ය. ඇය ආචාර්ය උපාධියක් අතැති ඉන්දියාවෙි පුනාහි සිට එක්සත් ඡනපදයට පැමිණ එහි පුරවැසිබව ලැබූ සියැටල් නගරයේ පදිංචි සංක්‍රමණික ඉංදියානු ගැහැණිය වුවාය.

ක්ෂමා සැවන්ත් 2013 එක්සත් ඡනපදයේ සියැටල් නගර සභාවට දිස්ත්‍රික් 3 ක් නියෝඡනය කරමින්, සමාඡවාදී විකල්ප සංවිධානයෙන් තරග කරමින් මන්ත්‍රී අසුනක් දිනාගත්තාය. ඇය වසර 100 කට පසු සියැටල් නගර සභාවට පත්වූ පළවෙනි සමාඡවාදී ඡනතා නියෝඡිතයාය. එක්සත් ඡනපදයේ නගර සභාව ලංකාවෙි මෙන් දුර්වල නගර සභාවක් නොවෙි. එයට රටෙි ඉඩම් සහ පොලිස් බලතල පවා අයත්ය. එැබැවින් එය නාගරික ආණ්ඩුවක්ට සමානය. ඇය සිය සමාඡවාදී අදහස් වලින් නුවර කැළඹු අතර දෙවන වර 2015 පැවති නගරසභා ඡන්දයෙන්ද සිය අසුන පහසුවෙන් රැක ගත්තාය.

ඇය දෙවන වර සිය ධුරකාලයේදී ඇමෙරිකා ඉතිහාසය වෙනස් කරලීය. ඒ ඇගේ ‘‘සියැටල්හි සිටින සියලු කම්කරුවන්ගේ අවම වැටුප විය යුත්තේ පැයකට ඩොලර් 15 ක් ‘‘ බවට වු යෝඡනාව නීතියක් බවට සමම්ත කර ගැනීමෙනි. සියැටල් මුලු ව්‍යාපාරික ක්ෂේත්‍රයම කැළඹවූ එකී නීතිය ඇය නගර සභාවෙි සම්මතකර ක්‍රියාවට නගන විට සියැටල්හි සිටි ලොකුම ව්‍යාපාරිකයා වු Amazon සමාගමෙි හිමිකරු ඡෙෆ් බිසෝස් සිය ව්‍යාපාරික කටයුතු වෙනත් නගරයට ගෙන යන බවට තර්ඡනය කලේය. බොයින් සමාගම නගරය හැර ගියේය. ඒවා නගරයකට බියකරු පණිවිඩ විය. ඡෙෆ් බිසෝස්ගේ සමාගමෙි සේවකයෝ පනස්දහසකට අධිකය. එහෙත් ඇය සැලුනේ නැත. තවදුරටත් එකී නීතිය බලාත්මක කළාය.. ඇමෙරිකා එක්සත් ඡනපදයේ එවැනි නිතියක් හදුන්වා දුන් ප්‍රථම නගරය සියැටල්ය. එය ආදර්ශයට ගනිමින් දැන් තවත් නගර 20 ක් පුරා එකී නීතිය ක්‍රියාත්මකය. ඒ මගින් එක් වසරකට එක්සත් ඡනපද ව්‍යාපාරිකයෝ කම්කරුවන්ට වැඩිකල වැටුපේ ප්‍රමානය ඩොලර් බිලියන 66 කි. ඡෙෆ් බිසෝස් සිය උපන් නගරය හැර ගියේ නැත. නමුත් ඇය ඔහුට ගැලපෙන දේශපාලන චරිතයක් නොවන බව හේ වටහාගන්නට ඇත. ඇය ඔහුට හිසරදයක් වන බවට නොඅනුමානය.

සියැටල් යනු නිවාස නැති කමින් හා ගෙවල් කුලී අධික බැවින් නිවාස ප්‍රශ්නය අර්බුදයකට ගිය නගරයකි. දහස්ගණන් මිනිසුන් පවුල් පිටින් පදික වෙිදිකාවෙි නිදියනවිට ධනපති නිවාස හිමියෝ සිය මහල් නිවාසවල කුලිය අඩු නොකොට ඒවා මිනිසුන් නැතිව වුනත් හිස්ව තබා ගනී. ඇය මෙයට පිලියමක් ලෙස සියැටල්වල ඉහළම ආදයම් ලබන ව්‍යාපාරවලින් වැඩකරන සේවකයන්ගේ ප්‍රමාණයට බද්දක් අයකිරීමට යෝඡනා කලේය. එකී බද්දෙන් නිවාස අහිමි මිනිසුන්ට නිවාස තනා දිය හැක.. යෝඡනාව සම්මත කිරීමට ඡනතාවගේ ඡන්දයක් පවත්වනු ඇත. මින් ප්‍රබලම පහර වදින්නේ ඡෙෆ් බිසෝස්ගේ Amazon ආයතයටය. එහි සේවක සංඛ්‍යාව පනස්දහස ඉක්මවයි. ඒ නිසා ඇය එකී බද්ද නම් කලේ ඇමසෝන් බද්ද යනුවෙනි.

ඡෙෆ් බිසෝස්ට සතුරෙක් නිර්මාණය වී ඇත. දැන් ඔහු සිය කීර්තිනාමයත් මතවාදයත් බෙිරාගැනීමටනම් ඇය හා සටන් කල යුතුය. ඔහු සටන පටන්ගත්තේය. ඒ 2019 පවතින මැතිවරණයෙන් ඇගේ අසුන අහිමිකිරීමට ප්‍රබල ප්‍රතිවාදියෙක් නිර්මානය කිරීමෙනි. ඔහු සිය ඇමසෝන් සමාගම හරහා ඇගේ ප්‍රතිවාදියා ඡනප්‍රිය කිරීම උදෙසා ප්‍රචාරක වියදම් පමණක් ඩොලර් මිලියන 1.45 ක් වියදම් කලේය. දුප්පත් ක්ෂමා සැවන්ත්ට එහෙම ඡන්දයට වියදම් කරන්න මුදල් නැත. ඇගේ සමාඡවාදී විකල්ප පක්ෂයද දුප්පත් පක්ෂයකි. එවිටම සියැටල් නගරයේ මිනිසුන් ඇගේ ඡන්ද සටන වෙනුවෙන් අරමුදලක් පිහිටුවීය. සතියක් තුල එයට ඩොලර් ලක්ෂ 5 ක් බැර වී තිබිණි. නුවරුන් ක්ෂමා සැවන්ත් නැමති ගැහැණියට ආදරේ බවත් ඔවුන්ට ඇයව අවශ්‍ය බවත් සියැටල් නාගරික පන්තිය කීවෙි එසේය. ක්ෂමා සැවන්ත් නැතිවම ඔවුහු සියැටල්වල නිවාස ලක්ෂ දෙකකගේ දොරවල්වලට තට්ටුකොට මෙි ගැහැනිය දිනවිය යුතු බව කියා තිබිණි. එය අසාමාන්‍ය ඡන්ද සටනකි. එක් අන්තයක ලොව ලොකුම කෝටිපතියාද අනෙක් අන්තයේ ඉංදියාවෙි සිට පැමිනි දුප්පත් ගැහැනියද විය. එක අන්තයක සාමාන්‍ය ඡනතාවද අනෙක් අන්තයේ එක්සත් ඡනපදයේ ප්‍රබලතම සමාගම් සහ ව්‍යාපරයන්ද තිබුණෝය.

ඡන්දය ප්‍රකාශිත 2019 නොවැම්බර් 01 දින රාත්‍රියේ සියැටල්හි ප්‍රතිපල කියන විට ඡෙෆ් බීසෝස්ගේ අපේක්ෂකයා ක්ෂමා සැවැන්ත්ට වඩා 8%ක් සිටියේ ඉදිරියෙනි. එහෙත් ක්ෂමා සැලුනේ නැත. එක්සත් ඡනපදයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම දින 3 ක් තරම් කාලයක් ගනී. 2019-11-04 අවසන් ප්‍රතිපලයේදී සමස්ත ඡන්දදායකයන්ගෙන් 52% ක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුනේ ක්ෂ්මා සැවන්ත් නැමති ගැහැණියගේ ඡන්ද සළකුන ඉදිරියෙනි. දැන් සියැටල්හි ප්‍රබලම මිනිහා පරාදය. ඒ අනුව ලොව ප්‍රබලම කෝටිපතියා ගැහැණුන් දෙදෙනෙකුගෙන් පරාඡය වි ඇත. එක්වරක් ඔහුගේ බිරිදගෙනි. අනෙක්වර සංක්‍රමණික ගැහැණියක වූ ක්ෂමා සාවන්ගෙනි. වසර ගණනක් එකට සිටි ඔහුගේ බිරිද ඡේෆ් බිසෝස් සමග තවදුරටත් සිටිය නොහැකි බව පවසා දික්කසාද නඩුවක් ගොනු කර ඇත. මිනිසුන් තමන් ප්‍රබලයැයි සිතා සිටින තරමට ප්‍රබල නැත. ඡෙෆ් බීසෝස්ගේ සහ ක්ෂාමාගේ කතාව ඊට සාක්ෂියකි.

 

(Rohana wijeweera- facebook පිටුවෙනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article