Friday, September 20, 2024

ලන්ඩනය හෙල්ලූ “දුඹුරු බල්ලාගේ ස්මාරකය ”

Must read

මේ කතාව පටන් ගන්නේ 1902 අවුරුද්දේදීය.
ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි වෛද්ය සිසුන් පිරිසකට ශල්යකර්ම පුහුණු වීම් සදහා දුඹුරු පැහැති බල්ලෙකු ලබා දෙන ලදී. එය සාමාන්ය සිදුවීමක් විය. වෛද්ය සිසුන් හට ශල්යකර්ම පුහුණුවීම් සදහා සජීවි සතුන් භාවිතා කිරීමට එවකට අවසර තිබිණ.
ඒ වෛද්ය සිසුන් විසින් කිසිදු නිර්වින්දක බෙහෙතක් නොදීම මේ බල්ලාව සැත්කම් පිහියකින් කපා විවර කොට ඔහුගේ අග්න්යාශය ඉවත් කරන ලදී.
එයද එවකට සාමාන්ය දෙයක් විය.
අග්න්යාශය නොමැතිව බල්ලාට ඇතිවන අතුරුපල අධ්යයන සදහා ඉන්පසු මාස කිහිපයක්ම ඌව කූඩුවක රදවන ලදී. ඒ මාස කීපය තුලදීම අසරණ බල්ලා වේදනාවෙන් මරහඩ දුන්නේය. විශ්ව විද්යාලයේ සේවකයින්ට මේ බල්ලාගේ වේදනාත්මක හඩ අසා සිටින්නට බැරි තරම් විය.
මාස කිහිපයක් කූඩුවේ වේදනා විදි බල්ලාව 1903 පෙබරවාරි මාසයේදී නැවතත් වෛද්ය සිසුන්ගේ දේශන ශාලාවක මේසයක් මතට ගෙන එන ලදී. ඒ මේසය මතදී යලිත්, කිසිදු නිර්වින්දනයකින් තොරවම බල්ලාගේ ශරීරය කපා විවෘත කරන ලදී. ඒ මීට මාස කීපයකට කලින් සිදු කළ සැත්කමේ ප්රතිපල නිරීක්ෂණය කිරීම සදහාය. වෛද්ය සිසුන් ඒ ප්රතිඵල අධයනය කළ පසුව බල්ලාව තවත් පරීක්ෂණ කරුවෙකුගේ ප්රයෝජනය සදහා ලබා දෙන ලදී. ඔහු බල්ලාගේ ගෙල සිදුරු කලේය. ඒ සිදුර හරහා බල්ලාගේ ඛේට ග්රන්ථීන් වලට විද්යුත් තරංග මගින් කම්පන ලබා දුන්නේය. ඒ පරික්ෂණය පැය බාගයක් තිස්සේ සිදු කෙරිණ. පරික්ෂණය එතරම් සාර්ථක නැත. එනිසා වෑයම අත්හැර දමනු ලැබිණ.
ඒ වන විටත් වේදනාවෙන් ඇඹරෙන බල්ලාව තවත් සිසුවෙකුට තවත් පරීක්ෂණයක් සිදු කිරීම සදහා ලබා දෙනු ලැබිණ. ඒ සිසුවාට බල්ලා විදින වේදනාව බලා සිටින්නට බැරි තරම් විය. තියුණු පිහියක් ගත් සිසුවා බල්ලාගේ හදවත පසාරු කරමින් ඒ පිහියෙන් ඇන බල්ලාව ඒ ජීවිතයෙන් නිදහස් කළේය.
එදා ඒ සිසුන් අතර ස්වීඩන් ජාතික සිසුවියන් දෙදෙනෙකු උන්හ. ඔවුන් මේ වෛද්ය විද්යාලයේ සිසුවියන් ලෙස ලියාපදිංචි වූයේ වෛද්ය විද්යාව හදාරන්නට නොවේ. වෙනත් අරමුණකිනි. ඒ දෙදෙනා සතුන් පණපිටින් පරික්ෂණ සදහා යොදාගැනීමේ ක්රියාවලියට එරෙහිව කටයුතු කරන ක්රියාකාරිණියන්ය. ඔවුන් ඒ වෛද්ය විද්යාලයේ සිසුවියන් ලෙසින් ලියාපදිංචි වූයේ මේ ගැන තොරතුරු සෙවීම පිණිසමය.
ඒ අවුරුද්දේදී මේ සිසුවියන් දෙදෙනා විසින් ලියූ පොතක් පිට විය. පොතේ නම “නවීන විද්යාවේ වධකාගාර“ ය. ඔවුන් වෛද්යවිද්යාලයේදී ලැබූ අත්දැකීම් එහි විස්තර කොට තිබිණ. පර්යේෂකයන්ගේ කුරිරු ක්රමවේදයන් එහි හොදින් විස්තර කොට තිබිණ.
මේ පොත ජාතික ජෛව විච්ඡේදන විරෝධී සංගමයේ ලේකම් ස්ටීවන් කොලෙරිජ්ගේ අවධානයට යොමු විය. ඒ පොතට අනුව වෛද්ය විද්යාලය විසින් සත්ව හිංසන විරෝධී නිතීන් දෙකක් උල්ලංඝණය කොට ඇත. පලමුවැන්න බල්ලාව නිර්වින්දනය නොකර සැත්කමට භාජනය කිරීමය. දෙවැන්න ඌව පර්යේෂණ එකකට වැඩි සංඛ්යාවක් සදහා යොදා ගැනීමය.
ස්ටීවන් කොලෙරිජ් මේ පිලිබදව මාධ්යයට කතා කළේය. වෛද්ය විද්යාලයේ කීර්තිනාමයට කලු පැල්ලමක් ඇති විය. පර්යේෂණය කළ වෛද්ය විද්යාලයේ මහාචාර්ය වරයාට එරෙහිව නඩු පැවරිණ.
ඒ නඩුවෙන් ස්ටීවන් කොලෙරිජ් පැරදුනද “දුඹුරු බල්ලා“ ගේ කතාන්දරය පුලුල්ව මහජන අවධානයට ලක්විය.
1906 අවුරුද්දේදී “දුඹුරු බල්ලා“ වෙනුවෙන් ස්මාරකයන් හදන්නට එක්තරා දානපතියෙක් විසින් පරිත්යාග මුදලක් ලබා දෙන ලදී.
ඒ මුදලින් බැටර්සී ප්රදේශයේ ඉඩමක දුඹුරු බල්ලාගේ ස්මාරකයක් තනනු ලැබිණ. සිලින්ඩරාකාර වතුර මලක් උඩ සෘජුව හිදගෙන පහල බලා සිටින දුඹුරු බල්ලෙකුගේ රුවින් ස්මාරකය තැණින. වතුර මලෙන් දෙපසට හැරෙන වෙන් වෙන් පයිප්ප දෙකකි. දෙකෙන්ම ලබා දෙන්නේ බොන වතුරය. එක් පයිප්පයක් මිනිසුන් වෙනුවෙනි. අනෙක සතුන්ටය. ස්මාරකයේ ඉදිරිපස පලකයක් විය. එහි මෙසේ ලියා තිබිණ.
“1902 දී වෛද්ය විද්යාලයේ පර්යේෂණ වධකාගාරයේ අනන්ත දුක් විදිමින් සිට මරණය විසින් බේරාගත් දුඹුරු බල්ලාගේ මතකය වෙනුවෙන් තැනූ ස්මාරකයයි මේ.
ඔහු ලෙසින්ම ජෛව විච්ඡේදනය කොට එහිදීම ඒ අවුරුද්දේම මරා දැමුණු තවත් බල්ලන් 232ක් ද වෙයි.
ලන්ඩනයේ මිනිසුනි, මේ හිංසනය නවතින්නේ කවදාද.? “
යනුවෙන් එහි ලියවී තිබිණ.
පලකයේ ලියා තිබුණු දේ නිසා ලන්ඩන් නගරයේ වෛද්ය සිසුන් කුපිත විය. මේ ස්මාරකයට එරෙහිව උද්ගෝෂණ පැවැත්වූ වෛද්ය සිසුහු නිරන්තරවම ස්මාරකයට ප්රහාර එල්ල කළහ. වෛද්ය සිසුන්ගෙන් ස්මාරකය බේරා ගන්නට ස්මාරකයට පොලිස් ආරක්ෂාව ලබා දෙන්නට සිදු විය. වෛද්ය සිසුහු නගරය වටා පෙලපාලි යමින් කලබල කරන්නට වූහ. මුලු නගරයටම පොලිසියෙන් හා හමුදාවෙන් යොදවන්නට සිදුවිය.
කලහකාරී ලෙස හැසිරුණු වෛද්ය සිසුන්ව අත් අඩංගුවට ගැණින. වෛද්ය සිසුන්ට තමන්ගේ හැසිරීම වෙනුවෙන් දඩ ගෙවන්නටත් සිදු විය.
ස්මාරකය රකින්නට මාරුවෙන් මාරුවට දවසේ පැය විසිහතරම සෙබලුන් යොදවන්නටත් සිදු විය. අවුරුදු හතරක් පුරා මේ අයුරින් හමුදාවෙන් හා පොලිසියෙන් යොදා ගනිමින් දුඹුරු බල්ලාගේ ස්මාරකය ආරක්ෂා කෙරිණ. ඒ අවුරුදු හතර පුරාවටම වෛද්ය සිසුන්ගේ කලහකාරී බවද නැවතුණේද නැත.
අන්තිමේදී නගර සභාව මේ කලහයෙන් විඩාවට පත් විය. මේ එක ස්මාරකයක් වෙනුවෙන් නගරයට වැය කරන්නට සිදුවෙන මුදල බෙහෙවින් අධික බව නගර සභිකයන්ගේ තීරණය විය. අන්තිමේදී 1910 අවුරුද්දේ මාර්තු 10 වෙනිදා නිහඩවම මේ ස්මාරකය ඉවත් කරන්නට නගර සභාව විසින් තීරණය කරන ලදී.
ප්රශ්නය එතකින් ඉවර වූයේ නැත.
සත්ව අවිහිංසාවාදීන් තුන් දහසකට අධික පිරිසක් නගරයට පැමිණ ස්මාරකය යලි පිහිටුවන්නැයි ඉල්ලමින් උද්ගෝෂණය කළහ. එහෙත් ඔවුන්ටද විසදුමක් ලැබුණේ නැත.
අන්තිමේදී වසර හැත්තෑපහකට පසුව දුඹුරු බල්ලාගේ ස්මාරකය යලි පිහිටුවන්නට බැටර්සී නගර සභාවට සිදුවිය.
වසර හැත්තෑ පහකට පසුව එනම් 1985 දී “දුඹුරු බල්ලාගේ ස්මාරකය“ බැටර්සී උද්යානයේ යලි පිහිටවනු ලැබිණ. ඒ අලුත් ස්මාරකය යට වතුර මලක්වත් වතුර පයිප්පවත් නැත. ඒත් අර සමරු පලකය නම් ඒ වැකිය ඇතිවම අදටත් දක්නට ඇත.

නිම්මි මුදිතා හේරත්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article