රනිල් කියන්නේ ස්වභාවයෙන් ම දුර්වලතා ගොඩක් තියෙන පුද්ගලයෙක්. ඔහුගේ විශේෂ ම චරිත ලක්ෂණයක් වන්නේ අනුන් පිළිබඳ සහකම්පනයක් හෝ සංවේදීකමක් නොතිබීමයි. ඇත්තට ම රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීම සඳහා වූ අමාරු තීරණ රනිල්ට ගන්නට පුළුවන් වුණේ ම මේ සහකම්පනයක් නැතිකම නිසයි.
ඒක හරියට ම විශාල තුවාලයක් ඔඩු දුවා කකුලක් වණ වූ මිනිසෙකු ගේ කකුලක් කපා දමනවා වැනි දෙයක්. නිර්වින්දන බෙහෙත් පවා නැති වෙලාවක, ඒ තුවාලයෙන් පීඩා විඳින පුද්ගලයා උග්ර වේදනාවෙන් කෑ ගසද්දී ඒ කකුල කපා දමන එක සහකම්පනයක් තියෙන සංවේදී පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රනිල්ට මෙය කරන්නට පුළුවන් වුණේ ඔහුට ස්වභාවයෙන් ම එහෙම දෙයක් නැති නිසයි. ඒ නිසා රටේ දිළිඳු සහ මධ්යම පාංතික කොටස් බෙල්ල මුලට ම හිරවෙන අමාරු තීරණ ඔහුට ගන්නට පුළුවන් වුණා.
ඒත් රනිල්ට බලපෑ ප්රශ්න දෙකක් තිබුණා.
පළමුවෙනි ප්රශ්නය මේ කිසිවක් කරන්නට ඔහුට ජනතාවගෙන් සෘජු ජනවරමක් නැතිවීමයි. මේ නිසා ඔහු කරන කිසිම දෙයකට ජනතාවගෙන් කැමැත්තක් තිබුණේ නැහැ. මේ නිසා ඔහුට විශාල ජනතා ප්රකෝපනයකට මුහුණ දෙන්නට සිදුවුණා.
දෙවැනි ප්රශ්නය ඔහු දේශපාලන වශයෙන් බරපතළ බංකොළොත්භාවයකට මුහුණ දෙන පුද්ගලයෙකු වීමයි. ඒ කියන්නේ රාජපක්ෂලා මෙන් ම රනිල් වික්රමසිංහත් ලංකාවේ බංකොළොත් දේශපාලන සංස්කෘතියේ ප්රබල පුරුකක් ලෙස ජනතාව හඳුනාගැනීමයි.දේශපාලන වශයෙන් බංකොළොත් පුද්ගලයෙකු ආර්ථික බංකොළොත්භාවයට දෙන බෙහෙත් පිළිගන්නට කිසිවෙකු කැමති වූයේ නැහැ.
රට බංකොළොත්භාවයෙන් මුදවාගැනීමේ දී මොන කාර්යභාරයක් ඉටුකළත් පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී රනිල්ට සහ ඔහුගේ කණ්ඩායමට නින්දා සහගත පරාජයක් අත්වුණේ ඒ හේතුව හින්දයි.
ඒ වගේ ම රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමේ දී නිලධාරී තන්ත්රයෙන් සිදු වූ කාර්යභාරයත් කිසිවෙකුටත් අමතක කළ නොහැකියි. ඒ අතර මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්යංශ ලේකම් මහින්ද සිරිවර්ධන වැනි රාජ්ය නිලධාරීන් වගේ ම හිටපු මහ බැංකු අධිපති ඉන්ද්රජිත් කුමාරස්වාමි, ආචාර්ය ශාමිනි කුරේ සහ ආචාර්ය ශාන්ත දේවරාජන් වැනි උපදේශක භූමිකාවක් නිරූපණය කළ අයත් ඉන්නවා. ඔවුන් ගේ වෘත්තීයමයභාවය ජාත්යන්තර මූල්ය අරමුදල සමග ගනුදෙනු කිරීමේ දී විශේෂයෙන් ම වැදගත් වුණා.
මේ ගෞරවයේ ඊළඟ කොටස යා යුත්තේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකටයි. බලය ලබාගන්නට පෙර ආර්ථිකය ගැන මොන විකාර කතා කිව්වත් බලය ලබාගත් පසු අනුර ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා ම ප්රායෝගික සහ පරිණත ආකාරයෙන් වැඩ කළා.
අනුර කළ ලොකු ම දෙය වන්නේ ඡන්දයට කලින් ඔහුගේ පක්ෂයේ ම අය යෝජනා කළ “තෙල් බේත් විසඳුම්” අතහැර විද්යාත්මක ක්රමයට මේ ප්රශ්නයට විසඳුම් සෙවීමයි.
අනුර ඔහුගේ පක්ෂයේ අය කී “තෙල් බේත් විසඳුම්” කරන්නට ගියා නම් මේ මාස තුන තුළ ආර්ථිකය නැවතත් පීලි පනිනවා. මේ තෙල් බේත් කාරයන් කී කතා දැන් නැවත සමාජ මාධ්යයේ උඩ මතු වී ඔවුන් සමාජයට විහිළුවක් වීම වැළැක්විය නොහැකියි. ඔවුන් කොහොමටත් වැඩි කල් යන්නට කලින් සනත් නිශාන්තලා කුට්ටිආරච්චිලා මෙන් ම ‘ඇවිදින මීම්’ බවට පත්වෙනවා. ඒක වළක්වන්නට බැරි තත්ත්වයක්.
අනුර ගේ U-turn එක ඇත්තට ම ප්රශ්නයක් වනවා නම් ප්රශ්නයක් විය යුත්තේ අර සමාජවාදී තෙල් බේත් ඇත්තට ම විශ්වාස කොට අනුරට ඡන්දය දුන් අයටයි. ඒ ප්රශ්නය අනුර ඔවුන් සමග බේරා ගත යුතුයි. ඒ සමාජවාදී තෙල් බේත් කොහොමටත් විශ්වාස නොකළ අයට ඒක ප්රශ්නයක් වෙන්නේ නැහැ. ඔවුන්ට සාපේක්ෂව හිතුවොත් අනුර මේ කරන්නේ රනිල් ගේ කාලයේ තිබුණු ආර්ථික වැඩපිලිවෙලම රනිල්ගේ හොරු ටික නැතුව කරගෙන යාමයි.
අනුරගේ ජනවරමේ මූලික ම කොටස වන්නේ “හොරු ඇල්ලීමයි”. ඒ හොරු ඇල්ලීම කරන තාක්කල් ඔහුට ප්රතිපත්තිමය වශයෙන් මේ වගේ U-turn ගැනීමට යම් අවකාශයක් තියෙනවා. අනුර ඇත්තට ම හොරු අල්ලනවාද, නැද්ද යන්නට අවසානාත්මක උත්තරයක් ඉතිරි මාස 06 තුළ ලබාගන්නට පුළුවන්. ඒ මාස 06 තුළ හොරු අල්ලන වැඩේ සිදු නොවුණොත් අනුරටත් රනිල් මුහුණ දුන්නා වැනි ප්රශ්නයකට මුහුණ දෙන්නට සිදුවෙනවා.