Saturday, May 18, 2024

මේක ඇත්තටම පට්ට විහිළුවක් ! අන්තර්ඡාල මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ කැඳවුම්කරු සම්පත් සමරකෝන්

Must read

samare 1

“ඔහු පසුගිය දා ගොඩනගනවා කියපු ප‍්‍රබුද්ධ සමාජයට එල්ල කරන්නේ බරපතල පහරක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධාන කණුවක් වන ජනමාධ්‍යට මෙහෙම ඔහුගේ ජනාධිපතිකම යටතේ පහර එල්ල කරනවා නම්, ඒ මිනිස්සු ඇදලා දානවා නම්, ඒ මිනිස්සුන්ට ඉතාමත් වෛරී ආකාරයට බනිනවා නම් කිසිම නීත්‍යනුකූලව හෝ ආචාර ධර්මවලට නොගැලපෙන ආකාරයට ඒකට ඇතුල් වෙලා මහා ව්‍යසනයක් කරනවා නම් අපේ අර්ථ නිරූපනයන් අනුව ඔහුට සදාචාරාත්මක අයිතියක් නැහැ ජනාධිපති පුටුවේ ඉන්න.” යැයි අන්තර්ඡාල මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ කැඳවුම්කරු සම්පත් සමරකෝන් මහතා පවසයි.

පසුගිය 26 වෙනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථා විරෝධී අන්දමට අගමැති ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා සිටියදීම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කරන ලදි. මේ සිදුවීමත් සමග රටේ මහත් ව්‍යවුල් තත්ත්වයක් පැන නැගින. ව්‍යවස්ථා අර්බුදයක් ඇති වී තිබේ. නිත්‍යානුකූල අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේ තමන් තවමත් රටේ නීත්‍යානුකූල අගමැතිවරයා බවයි.

මේ සිදුවීමෙන් පසුව රාජ්‍ය ජනමාධ්‍ය ආයතනයන් පොහොට්ටුවේ මැරයන් විසින් අදාල වගකිව යුතු නිලධාරීන් පන්නා දමා, පහර දී, අප‍්‍රසන්න තත්ත්වයක් ඇති කරන ලදි.

මේ තත්ත්වය ගැන තමන්ගේ පාර්ශ්වයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා වෘත්තීය ජනමාධ්‍යවේදීන් සංගමය ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදි. මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව සඳහා එම සංගමයේ සභාපති නිලංග සම්පත්, මාධ්‍ය සේවක වෘත්තීය සමිතියේ ධර්මසිරි කුමාරපේලි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සමාජික විරන්ජන් හේරත්, උදය කළුපතිරණ, දෙමළ මාධ්‍ය සන්ධානයේ ඒ.එන්. නික්සන්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍යවේදීන් නියෝජනය කරමින් චන්දන සිරිමල්වත්ත, අන්තර්ඡාල මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ කැඳවුම්කරු සම්පත් සමරකෝන් යන අය සහභාගි විය.

අන්තර්ඡාල මාධ්‍ය ක්‍රියාකාරිත්වයේ කැඳවුම්කරු සම්පත් සමරකෝන් දැක්වූ අදහස් පහත සඳහන් වේ.

“මෙතන ඉන්න මාධ්‍ය සංවිධාන බොහෝමයක් අවුරුදු ගණනාවක් තිස්සේ සෑහෙන්න උත්සාහ දරපු එකක් තමයි රාජ්‍ය මාධ්‍ය කොහොමද මහජන සේවා මාධ්‍යයක් කරන්නේ කියලා. හැබැයි කණගාටුවට කරුණ තමයි මේ ඇතිවෙලා තියෙන බරපතල ව්‍යසන තත්ත්වය තුළ මේ මාධ්‍ය සාකච්ඡාවේ රාජ්‍ය මාධ්‍ය කිසිවක් නැහැ. එතකොට අපිට තේරුම්ගන්න පුළුවන් වෙන්නේ කිසියම් විදියකට තවමත් ලෝකය ඩිජිටල් කාලයක් ගැන සාකච්ඡා කරන අවස්ථාවේ තවමත් අපිට බැරිවෙලා තියෙනවා රාජ්‍ය මාධ්‍ය කිසියම් විදියකට වෙනස් මත දරණ, තමන් කැමති හෝ අකමැති මත දරණ කිසියම් සාකච්ඡාවකට උනන්දුවෙන්, වුවමනාවෙන් සහභාගි වෙන සවිඥානික බව ඇති කරගන්න.

අපි දන්නවා මේ මාධ්‍ය සාකච්ඡාවට ප‍්‍රස්තෘත වෙන කාරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසියම් විදියකට අපි දකින විදියට ඉතාමත් බරපතල විදියට ලංකාවේ මූලික නීතිය වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ඔහුගේ සිතුම් අනුව කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති විදියට පත් කලා. මේ ගැන වෙන විදියකට පර්යේෂණ කරන කෙනෙක් විදියට මම හිතනවා මේක පට්ට විහිළුවක්. අපිට මතකයි 2015 ජනාධිපතිවරණය අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන කිව්වේ මම පැරදුනා නම් මගේ පවුලත්, මමත් අඩි 08ක් යට ඉන්නේ කියලා. අඩි 08 ඉන්නේ කියලා ඇඟව්වේ, කවුරුත් නෙමෙයි රාජපක්ෂ පාලනය. ඒ කණ්ඩායමත් එක්ක දැන් කොහොමද මේ විදියට මගුල් කන්නේ එක දේශපාලන විද්‍යාවට අහුවෙන්නේ නැති කාරණයක්. ඒ ගැන සමාජ මාධ්‍යවල ලියවිලා තියෙනවා. ඒක හොඳයි. ග‍්‍රාම සේවක චින්තනය ඉතාම වැදගත් මේ වෙලාවේ ලංකාවේ දේශපාලනය ගැන අර්ථ නිරූපනයක් කරන්න බැහැ. ඒක තමයි පළමුවැන්න.

දෙවැන්න තමයි මේ පත්වීමත් එක්ක අදහස් දක්වන පිරිස් කියනවා යහපාලනයේ ප‍්‍රශ්න තිබ්බා කියලා. යහපාලනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ යම් ප‍්‍රශ්න තිබුනා. මාධ්‍ය නිදහස පිළිබඳ, දණ්ඩමුක්තිය පිළිබඳ ප‍්‍රශ්න තිබුණා. හැබැයි අපිට අනුව කිසියම් විදියකට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ, ප‍්‍රතිසංස්කරණවාදී ලක්ෂණ තිබුණා. උදාහරණයක් ගත්තොත් එහෙම ජනමාධ්‍යවේදීන් විදියට සෘජුව බලපාන්නේ නැති වුනත් ලංකාවේ ජනතාවට තොරතුරු දැනගන්න, අවුරුදු 20 ගාණකට වඩා වැඩි සිවිල් සමාජයේ පුරවැසියන්, සංවිධාන අරගල කරපු එක වැඩක් තමයි තොරතුරු දැනගැනීමේ පනත. මේක ක්‍රියාත්මක වුනා. මෙය ඉතාමත්ම ප‍්‍රගතිශීලී ක්‍රියාවක් විදියට තමයි අපි දකින්නේ. මේ වගේ යම් වැඩ ප‍්‍රමාණයක් තිබ්බා. අන්න ඒ වැඩ ප‍්‍රමාණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය 26 වෙනිදා ඉතාමත් නිර්ලජ්ජිත විදියට පහර ගැහැව්වා. පිටුපෑවා. ඔහු නිරුවත්ව තමයි පිටුපෑවේ. ඒ ලක්ෂ දෙකේ ජනවරමට.

අනෙක් පැත්තෙන් අපි ගත්තොත් එහෙම මීට සතියකට පෙර උතුරේ ජනමාධ්‍යවේදියෙකුට පොලිසියෙන් බලපෑමක් කලා කිසියම් විදියකට ඔහු කෝවිලේ උත්සවයක් ආවරණය කරන්න ගියා කියන හේතුව මත ඔහු හතර පාරක් කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවනවා. ඊට අමතරව ගත්තොත් ප‍්‍රගීත් සම්බන්ධයෙන් ප‍්‍රශ්න තිබුණා. ප‍්‍රගීත්ගේ අතුරුදහන්වීම සම්බන්ධව පරීක්ෂණ ඉදිරියට ගෙනියන්න බැරිවුනේ කව්රු නිසාද? අපි කවුරුත් දන්න විදියට ජනාධිපති සිරිසේන නිසා. ලසන්ත වික‍්‍රමතුංගගේ පරීක්ෂණත් එහෙමයි. ඒ දෙන්නගේ විතරයි යම් කිසි පරීක්ෂණ ප‍්‍රමාණයක් අපි දැක්කේ. පොද්දල ගැන අපි දැක්කද? පොද්දල ඒ ගැන ප‍්‍රකාශයක් කලාම ආණ්ඩුවේ මොකක්ද ඒ ගැන ප‍්‍රතිචාරය. තිබ්බේ නැහැ. සිවරාම් ගැන අපි කතා කලා. ජනමාධ්‍ය සමාජයේ මේ ගැන කතා කළේ ඉතාම සුළු පිරිසක්. යම් සංවිධාන ටිකක්. නිමලරාජන් ගැන අපි කතා කළාද? නෑ. උදය පුවත්පතට 13 පාරක් ගහලා තියෙනවා. අපි කතා කලාද ? නැහැ. ඒ වගේ ප‍්‍රශ්න ටිකකුත් එක්ක යම් සුබදායී දේවල් ටිකකුත් තියෙනවා.

දැන් අපි කල්පනා කරන්නට ඕනේ 26 වෙනිදා සිදුවීමට පැය 24ක් යන්නටත් පෙර අමුතු දෙයක් සිද්ධ වුනා. ස්වාධීන රූපවාහිනියට රාජපක්ෂ නඩය ගිහිල්ලා සිදුවීමෙන් පස්සේ එක් මනුස්සයෙක් කියනවා ”අපි ගහලා එලෙව්වා. වැඩේ අපි කලා.” කාටද කියන්නේ. කෙහෙළියට. කෙහෙළිය කියන්නේ අද පත් කරපු සම මාධ්‍ය ප‍්‍රකාශක. ”කෙහෙළිය කියනවා මංගල හිටියේ නැද්ද?” අපි මේ වගේ මිනිස්සුන්ගෙන් ද යහපත් මාධ්‍ය සංස්කෘතියක් බලාපොරොත්තු වෙන්නේ. සුදර්මන් රඳළියගොඩට කිසිම අයිතියක් නැහැ ස්වාධීන රූපවාහිනියට යන්න. ඔහුට නඩුත් තියෙනවා. ඒ වගේම ගුවන් විදුලිය සංස්ථාවට, ලේක් හවුස් එකට පත් කරපු හෙන්චයියන්ට කිසිම අයිතියක් නැහැ මෛත්‍රීපාල සිරිසේන වැනි ජනාධිපතිවරයෙක් යටතේ යන්න. යන්න යනවා නම් ඔහු පසුගිය දා ගොඩනගනවා කියපු ප‍්‍රබුද්ධ සමාජයට එල්ල කරන්නේ බරපතල පහරක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධාන කණුවක් වන ජනමාධ්‍යට මෙහෙම ඔහුගේ ජනාධිපතිකම යටතේ පහර එල්ල කරනවා නම්, ඒ මිනිස්සු ඇදලා දානවා නම්, ඒ මිනිස්සුන්ට ඉතාමත් වෛරී ආකාරයට බනිනවා නම් කිසිම නීත්‍යානුකූලව හෝ ආචාර ධර්මවලට නොගැලපෙන ආකාරයට ඒකට ඇතුල් වෙලා මහා ව්‍යසනයක් කරනවා නම් අපේ අර්ථ නිරූපනයන් අනුව ඔහුට සදාචාරාත්මක අයිතියක් නැහැ ජනාධිපති පුටුවේ ඉන්න.”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article