Thursday, December 26, 2024

මම තාමත් පොඩිකාලේ ”දිසා” ම තමයි ! ”සක්යා” බණ්ඩාර සර් කියන කථාව

Must read

 

බණ්ඩාර දිසානායඅපේ ගම අනුරාධපුරයේ පානියන්කඩවල, පවුලේ අයියලා හතර දෙනයි. එක අක්කයි. මම පවුලේ බාලයා. අපේ තාත්තා මිය යන විට මට වයස අවුරුදු 8ක් විතර ඇති. තාත්තා ගමේ වෙල්විදානෙ වුණා. දවසක් රාජකාරියකට ගිහින් එතකොට ගමේ මෝඩ මිනිහෙක් තාත්තාට වෙඩි තියලා තිබුණා. අපේ තාත්තා මිය ගියේ ඒ කෙලෙහිගුණ නොදත් මනුස්සයා තැබූ වෙඩි පහරකින්. එතෙක් අඩුවකින් තොරව පෝෂණය වෙමින් හැදි වැඩුණ අපේ පවුලට දරිද්‍රතාවේ චණ්ඩ මාරුතයට මුහුණ දෙන්න සිදුවුණේ එතැන් සිටයි. අපේ අම්මා හැකි විදියට අපව පෝෂණය කරන්න ප්‍රයත්න දැරුවා. මගේ ඉස්කෝල ගමන පටන් ගත්තෙ ගමේ පාසලෙන්. ගමේ පාසල කිව්වට, ගමේ ඉඳලා කිලෝමීටර් හයක් විතර දුරින් තිබුණෙ. වැව් කණ්ඩිය දිගේ ගිහින් පල්ලම් බැහැලා ආයේ නැගලා. පයින්ම තමයි ඒ ගමන ගියේ. 9 පන්තිය දක්වාම ගියේ ඒ පාසලට. තෝරාගෙන පිළිවෙළකට අඳින්න තරම් ඇඳුම් තිබුණෙත් නැහැ. සපත්තු තිබුණෙත් නැහැ. නිරාවරණය වූ දෙපයින් ගියේ. එකම ඇඳුම හෝද හෝද ඇන්දෙ. මේ අතරෙදි 71 කැරැල්ල නිසා අපෙ අයියලා දෙදෙනෙකුට සිරගත වන්න සිදු වුණා. නිදහස් වෙලා ආවාට පස්සෙ අයියලා දෙන්නාගෙන් එක්කෙනෙක් මුල් වී මාව නගරයේ පාසලකට දැම්මා. මම ඉගෙනීමට හපනෙක්ම වුණේ නැහැ. ඒත් සාමාන්‍ය පෙළ සමත්ව ඊළඟට උසස්පෙළත් සමත් වුණා. මාව තේරුණේ ජයවර්ධනපුර සරසවියෙ කළමනාකරණ පීඨයට. ඒ හින්දා ගමට සමුදීලා නුහුරු නුපුරුදු පරිසරයකට සේන්දු වෙන්න සිද්ධ වුණා. ගමේ හැමෝම වගේම සහ යාළුවොත් මට කිව්වෙ “දිසා” කියලයි. ඒත් මගේ සම්පූර්ණ නම වන්නෙ ටිකිරි බණ්ඩාර දිසානායකයි.”

ඔබ අද මේ කියවීමට සූදානම් වන්නේ නවකතාවක චරිතයක් ගැන නොවේ. ඊට එහා ගිය අරුතක් ජීවිතයට ලබාදුන්, අපේ කාලයේ දී අපට මුණ ගැසෙන සැබෑ ලෙසම ජීවිතය ජයගත් මිනිසකු ගැනය. -බණ්ඩාර දිසානායක” ඔහුගේ නාමය වේ. දශක තුනකට සමීප කාලයකදී ලක්ෂ සංඛ්‍යාත සිසු පරපුරකට අධ්‍යාපනයේ කඩඉම් පසු කිරීමට නැණවත් පාලමක් තැනූ යථාර්ථවාදී ඇදුරිඳු ඔහුය මේ. මේ දිග හැරෙන්නේ සක්යා – සෙයිජින් උසස් අධ්‍යාපන ආයතන බිහි කරමින් ව්‍යවසායකත්වයෙන් ඉහළට ගිය සාධනීය වූ ඔහුගේ ජීවන කතාවේ ඉතිරි හරයයි.

5
● දරිද්‍රතාව, කටුකත්වය සියල්ල හමුවේ එදා ඔබට ජීවිතයෙන් පලා යන්න හිතුණේ නැද්ද?
ඇත්තටම නැහැ. මොකද අධ්‍යාපනය හැර අපට වෙන කිසිම පිළිසරණක් තිබුණේ නැහැ. ඉගෙනීම ගැන හොඳින් වටහාගෙන සිටියෙ. ඒ පරිසරය අපේ අම්මා නිසා හැදිලා තිබුණෙ. ගුරුවරුන්ට අපේ නිවසේ නවාතැන් දී තිබීම නිසා ඒ ආභාසය ලබා ගැනීමට වගේම, ඉගෙනීම කෙරෙහි ලොකු ආසාවක් ඇති වුණා.

● ළමා කාලයේදී මොන වගේ පරිසරයක්ද ගෙදර තිබුණෙ?
බෙහෙවින්ම කලාත්මක පරිසරයක් තිබුණෙ. අපේ අම්මා හොඳට කවි කිව්වා. තාත්තා ඒ කාලයේදී සංගීතයට බොහොම ළැදියි. සංගීත භාණ්ඩ එහෙමත් ගෙදර තිබුණා. අයියලාත් ඒවා වාදනය කළා. පසුකාලීනව මා තේරුම්ගත් විදියට, ඒ පරිසරය නිසා තමයි ජීවිතයේ කටුකත්වය, දරිද්‍රතාව ආදි සියල්ල හමුවේ ජීවිතයෙන් පලා නොයාමේ පන්නරය ලැබුණෙ. නොවැටී ගමනක් යන ශක්තිය ඇති වුණේ ඒ පරිසරය නිසයි.

● එදා ඔබට අරමුණක් තිබිණි නම්, ඒ මොන වගේ අරමුණක්ද?
සරසවි යාමේ අරමුණ නිතරම යටි හිතේ තිබුණා. නමුත් නිරන්තර ජයග්‍රහණ ලැබුවේ නැහැ. ඉගෙනීමට විතරක් කොටු නොවී ක්‍රීඩා, පාසල් නාට්‍ය ඇතුළු ඒ සෑම දෙයක්ම හැකි පරිදි කළා. පංතියේ නිතරම පළවැනියාම වුණේ නැහැ. වෙච්ච අවස්ථාත් තිබුණා. එදා ඉඳලම සියලු දේ මධ්‍යම ප්‍රතිපදාවට අනුව කිරීමට පුරුදුව සිටියා.

● සරසවි යාමේ අරමුණ සඵල වූ පසු මොන වගේ හැඟීමක්ද ඇති වුණේ?
උසස්පෙළට ලියලා ප්‍රතිඵල ආ පසු සරසවි ප්‍රවේශය ලබන තෙක් අවුරුදු එකහමාරක් විතර බලා සිටීමට සිදුවුණා. එවැනි කාල වලදී නිතරම නිකරුණේ කාලය ගෙව්වේ නැහැ. එදා කුරහන් කපපු අතීතය මට මතක් වෙනවා. උදළු කර තියාගෙන ගිහින් අයියලා එක්ක එකතු වෙලා කුඹුරු කොටපු හැටි මතකයි. නියරෙ ඇවිද ගිය හැටි පොල්ගස් නැග්ග හැටි, ඒවා සාමාන්‍ය දේ වුණා. සමහර දාට ගෙදර හාල් මිටක් නැතිව මඤ්ඤොක්කා කෑවේ. සමහර දාට කැඳ බිව්වෙ. කුරහන් මිටිය කරේ තියාගෙන නගරයට ගෙනිහින් විකිණුවා. ඒ සල්ලි සතයක් නෑර අම්මට ගෙනැත් දුන්නා. එදා ඒ කිසිවකට ලැජ්ජා වුණේ නැහැ. වැරදි වැඩ කියන දේ ජීවිතයේ තිබුණේ නැහැ. උසස්පෙළ ප්‍රතිඵල එනතෙක් අපේ අයියාගෙ යාළුවෙකුට අයත් හෝටලයකට -කැෂියර්” ලෙසත් සේවය කළා. ඒ හෝටලයේ නම අනුරසිරි. ඒ කාලයේදි පැය දෙක-තුනක් විතරයි නිදා ගත්තෙ. ඒ නිදා ගත්තෙත් පත්තර දෙකක් බිමට දාලා. අපට බිමට හැරෙන්න වැටෙන්න තැනක් තවත් ඉතිරිවෙලා තිබුණෙ නැහැ. ඒ අතීතය අදටත් මට හොඳට මතකයි. ඒ වගේම හෙටත් එය හොඳින්ම මතකයේ තියේවි.

● එවැනි පරිසරයක සිටි ඔබ සරසවි ආවාම රැග් එකටත් මුහුණ දෙන්න ඇති නේද?
අපොයි ඔව්, ඉතා ඉහළ විදියට රැග් එකට අහුවුණා. මාළු කටු කන්න කීවාම ඒවා කෑවා. දණ ගහගෙන හිටියා. හැබැයි පැමිණෙන දුක් පැණි රසයි කියලා හිතාගෙන අපි ඒවාට මුහුණ දුන්නෙ සතුටින්. සමහරදාට රැග් ඉවසන්න බැරිව අඬලත් තියෙනවා. මට රැග දෙන වෙලාවක එක්තරා දිනෙක කැන්ටිමේදි අපේ තාත්තා මිය ගිය මොහොත මාතෘකාවට ගෙන රැග දුන්නම මට වාවන්නෙ නැතුව ගියා. එදා නම් මම හොඳටෝම ඇඬුවා. පසුව කිසි දිනෙක එයාලා කවදාවත් ඒ මාතෘකාව කතා කළේ නැහැ. අපි එදා රැග දෙනකොට ප්‍රතිවිරෝධ මතු කරන්න ගියේ නැහැ. ඒවා දරා ගැනීමේ ශක්තියක් අපට තිබුණා. නමුත් අද මේ රැග නිසා ප්‍රශ්න ඇති වෙන්නෙ ඒවා දරා ගන්න බැරිව ප්‍රතිවිරෝධතා කරන නිසයි. ජීවිතයට ඒ අත්දැකීම් ලබා ගැනීම පසුකාලීන ජීවිතයට එය ලොකු ශක්තියක්. සරසවියෙ ශිෂ්‍යයෙකුව සිටියදී පසුකාලීනව මම ගායකයකු ලෙසත් පිරිසක් හඳුනා ගත්තා. වතාවක් “ගී මංසල” නමින් ප්‍රසංගයක්ද පැවැත්වූවා. එදා මට රෝහණ වීරසිංහ, කපුගේ, ලක්ෂ්මන් විජේසේකර මහත්වරුන්ගෙන් ඊට ලොකු සහයෝගයක් ලැබුණා.

● ගායකයෙක් වීමේ අරමුණක්ද තිබුණෙ?
ඇත්තටම එවැනි අරමුණක් යටි හිතේ තිබුණා. එඞ්වඞ් ජයකොඩි, ෂෙල්ටන් ප්‍රේමරත්න සර්ලා යටතේ සංගීතය හැදෑරීමටත් පෙලැඹී සිටියා. නමුත් ආර්ථික අපහසුතා නිසා ඒ අංශය ගැන එතරම් දුරට හිතුවේ නැහැ. ඒත් එක් වතාවකදී පමණක් යාළුවෙකුගෙන් සල්ලි ඉල්ලාගෙන රුපියල් 2500කට විතර සිතාරයක් මිලදී ගත්තා. සරසවියෙදි වැයුවේ ඒ සිතාරයයි. සංගීතයේදී අපේ අයියා, ජයතිලක බණ්ඩාරගෙ ආභාසය මටත් තිබූ බව කියන්න පුළුවනි.

● සරසවියෙදි හොඳ මිත්‍ර සංධානයක් තිබෙන්නත් ඇති නේද?
සත්තකින්ම ඔව්. අද එදා මා එක්ක එකට සිටි මිතුරන් රටේ ඉහළ නිලතල හොබවනවා. කීර්තිනාම දරනවා. ඒත් අපි එදා සිටි මිතුරන්මයි. එච්චරටම ලොකු මිත්‍රත්වයේ බැඳීමක් අදටද පවතිනවා. මොන ක්ෂේත්‍රයක, මොන තරාතිරමක සිටියත් අද අපි කතා කරන්නෙ. හමුවන්නෙ එදා සිටි ඒ මිතුරන් ලෙසමයි.

● කැමතිද එදා ඒ මිත්‍ර සංධානයේ සිටි අද රටේ ප්‍රකටව සිටින කීප දෙනෙක් ගැන සඳහන් කරන්න?
ලාෆ්ස් සමූහය අයිති වෑගපිටිය හොස්ටල් එකේදි මගේ එහා කාමරේ හිටියේ. අපි එකම බැච් එකේ. ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන සහ මම එකම කාමරේ හිටියෙ. අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, මහාචාර්ය ජී. අබේරත්න සහ විවිධ ක්ෂේත්‍රවලට ගිය තව බොහෝ අය සිටිනවා.

● සරසවි අධ්‍යාපනය කරගෙන යද්දි එදා ඔබ ඔබගේ වියදම් පිරිමහ ගත්තේ කොහොමද?
ගෙදරින් එවූ මුදල මදි වුණා. මට පංති කරන්න ළමයින් දෙතුන් දෙනෙක් හොයලා දෙන්න කියලා මගේ යාළුවකුට කිව්වා. ඒ අවස්ථාව එයා මට උදා කර දුන්නා. අන්න එතැනදී තමයි මම මගේ ඉගෙන්වීමට ඇති හැකියාව හඳුනාගත්තෙ. ඉන් පසුව මොන බාධක ආවත් මම මගේ අරමුණ කරා යන බවට සපථ කර ගත්තා.

● මොකක්ද ඒ අරමුණ?
ටියුෂන් ක්ෂේත්‍රයේ ඒ වන විට අඩුපාඩු රැසක් සමග පැවැතුණේ. එය බෙහෙවින්ම තරගකාරී අංශයක් වුණා. ඒත් මම කරන දේ වඩා ඵලදායක සහ යහපත් විය යුතුය කියලා ආත්ම විශ්වාසය ගොඩ නගා ගත්තා. කොහොම වුණත් කළමනාකරණ අධ්‍යයන පීඨයේ සිට උපාධිය ලබාගෙන, සරසවියෙන් පිටවුණේ රාජ්‍ය පරිපාලන අංශයේ උපාධිධාරයකු ලෙසයි. ආර්ථික අපහසුතා හමුවේ ළමයින්ට ඉගැන්වීම සුළුවෙන් කරගෙන යන අතරේ මට ගුරුපත්වීමක් ලැබුණා. අනුරාධපුරයේ පුවරසන්කුලමේ ප්‍රාථමික පාසලක දෙවැනි ශ්‍රේණියේ ළමුනට ඉගැන්වීමට. විෂමතාවයෙහි හැටි එහෙමයි.

● ඉන් පසුව පුද්ගලිකව ටියුෂන් දීම නතර වුණාද?
ඒ වන විට උපකාරක පන්ති පටන්ගෙන තිබුණෙ. සෙනසුරාදා-ඉරිදා පන්ති කරලා ඉරිදා රාත්‍රියේම අනුරාධපුරයට ගියා. මධ්‍යම රාත්‍රියත් පහුවෙලා තිබුණු නිසා අනුරාධපුරයෙන් බැහැලා, බයිසිකලයකින් ගෙදර බලා පිටත් වුණා. ඒ විදියට වසර කීපයක් ගුරු වෘත්තියේ යෙදුණත්, සමහර අවස්ථාවලදී ලද දුෂ්කරතා නිසා, සේවය අත්හැර ගියා සේ ලිපියක් මට ලැබුණා. ගුරු වෘත්තිය ලැබීම හෝ නැති වීම මට දුකක් වුණේ නැහැ. ඉන්පසුව දිගටම උපකාරක පන්ති ක්ෂේත්‍රයේ නියැළුණා.

● එලෙසින් උපකාරක පන්ති පවත්වාගෙන ආ ඔබගෙ ජීවිතය සමාජයේ විශේෂ ලකුණක් වෙන්න පටන් ගත්තෙ කොතැනින්ද?
මා හිතන්නෙ 1999 දී -සාක්යා” ආරම්භ කිරීමත් සමගයි. එතෙක් වෙනත් තැන් වලදි පන්ති කරමින් සිටි මට කොහුවලදී “සක්යා” ආරම්භ කරන්න පුළුවන් වුණා. මගේ ප්‍රතිපත්ති වලට සහ දැක්මට අනුව මම හිතපු වෙනස්කම් අනුව එතැන සිට පන්ති පවත්වාගෙන යන්න පුළුවන් වුණා. ඒත් ඒකට විවිධ අර්බුද ආවා. වටපිටාවෙන් ආ බලපෑම් වල ඵලයක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මට නඩුත් දැම්මා. නමුත් කාටවත් අභියෝග කළ නොහැකි එකම දේ ඉගැන්වීමයි. දරුවො සහ මව්පියන් මා එක්ක හිටියෙ. මා එය තරයේම විශ්වාස කළා. ගුරුවරයකු පමණක්ම නොවී ව්‍යවසායකත්වය කියන ගමනට අවතීරණ වුණේ -සාක්යා” ආරම්භයත් සමගයි.

● සක්යා එතරම් ජනප්‍රිය වුණේ ඔබ කළ මොන වගේ වෙනස්කම් නිසාද?
වෙනත් ස්ථානවලදි මම පන්ති වලට ගියාම අඩුපාඩු බොහෝමයක් දුටුවා. උපකාරක පන්ති ක්ෂේත්‍රය වල් වැදි තිබුණෙ කිව්වොත් හරි. ටකරන් මඩු වගේ තැන්වල ළමයි ඉගෙන ගත්තෙ. පන්ති වලට එන දේශක ගුරුවරුන්ටත් පහසුකම් සැලකිලි තිබුණෙ නැහැ. ටියුෂන් ක්ෂේත්‍රය ගැන මාධ්‍ය හරහා විවිධ විවේචන එල්ල වූ යුගයක ඒවා පැවතුණේ අඩු පහසුකම් යටතේ. සියයට සීයයක්ම මුදල් මුල් කරගෙනයි. එවැනි යුගයක ඒ සියල්ලට සුබවාදී පිළිතුරක් දෙන්න මට හැකි වුණා. මගේ විෂය පථයේදී දරුවන්ට ප්‍රථම වතාවට නිබන්ධන හරහා උගන්වන ක්‍රමය පහසු කළා. ඉගෙන ගන්න ක්‍රමය පහසු කළා. ඒ ක්‍රමයට අනුව මුදලට වඩා මම මූලිකව හිතුවෙ ළමයින්ට ලබා දිය යුතු පහසුකම් ගැනයි. තාක්ෂණය සහ ඒ පහසුකම් ගැන හිතලා තමයි -සාක්යා” පටන් ගත්තේ.

● ඒ විදියට නව ආයතනයක් පටන් ගත්ත ඔබට ආර්ථික ශක්තියක් තිබුණාද?
එය එක් රැයකින්, එක් දිනකින් ආ සුඛෝපභෝගී ගමනක් වුණේ නැහැ. විශාල කැපකිරීම් කළ යුතු වුණා. දරුවනට පහසුකම් සලසන්න මම ආ ගමන සුඛෝපභෝගී වුණේ නැහැ. ටිකෙන් ටික ඉතිරිකළ මුදල් වගේම බැංකු ණයකුත් අරගෙන තමයි නව ගමනට මුල පිරුවේ. උපකාරක පන්ති ක්ෂේත්‍රයේ නව උත්පාදනයක්, වෙනසක් කළ කෙනෙක් ලෙස තමයි මගෙන් පසු මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වු ගුරුවරු මා ගැන හිතන්නෙ. දශක තුනකට ආසන්න කාලයක් දක්වා ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යා ව්‍යාපාර අධ්‍යයනය යන විෂයය අංශ වෙතින් ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසකගෙ ජීවිත වලට ජයග්‍රහණය ගෙන දෙන්න හැකි වූ බව මගේ අදහසයි.

● ව්‍යාපාර අධ්‍යයනයට වගේම ආර්ථික විද්‍යාව විෂයයන්ට ඔබ ලංකාවෙම ජනප්‍රිය වුණේ මේ ඉහත කී දේ නිසා විතරමද?
අංක එක වුණේ සිසුන් හඳුනාගෙන සිසුනට ගරු කරලා ඉගැන්වීමයි. මුදල්ම ගනු දෙනුවක් කරගෙන නෙවෙයි දැනුම ලබා දුන්නෙ. ප්‍රමුඛයන් අතර ප්‍රමුඛයන් බිහි කරමු යන පාඨය වැකියකට පමණක් සීමා කළේ නැහැ. එය වඩාත් ප්‍රායෝගික කළා.

● හැමෝටම ඉගෙනීම කියන දේ ධාරණය කරගන්න බැහැ, ඔබ එය පිළිගන්නවද?
එය මම කොහෙත්ම පිළිගන්නෙ නැහැ. ඉගෙනිම බැහැ කියනවට වඩා හැමෝටම වෛද්‍ය-ඉංජිනේරු වෙන්න බැරි බව කියන්න පුළුවනි. ඒකට හේතුව තමා විසින් තමා හඳුනා නොගැනීමයි.

● ජීවිතය ජයගන්න නම් O/L සහ A/L පාස් වෙන්නම ඕනැද? මොකද ඉගෙනීම තරම් තවත් දෙයක් නැති බව ඔබ මුලදි ප්‍රකාශ කළා?
O/L සහ A/L එක් ශක්තියක් විතරයි. තමුන්ගේ හැකියාව සහ තමාව හඳුනා ගෙන තව කෙනෙක් නොකළ, නොගිය තැනක් ස්පර්ශ කිරීමට හැකි නම්? එතැන වඩා ඵලදායක වේවි. තමාට තමුන්ව හඳුනාගත නොහැකි නම්? මව්පියන් හෝ ගුරුවරුන්ටත් ඒ හඳුනාගැනීම කළ යුතුයි.

● එදා අනුරාධපුරයේ දුෂ්කර දිවි පෙවෙතක් ගෙවා, අද කොළඹට ඇවිත් මේ ඔබ සඵල කරගත් ජීවිතය මේක හීනයක්ද? යථාර්ථයක්ද? මොකක්ද මේ? කොහොමද හිතන්නේ?
සැබැවින්ම අනුරාධපුරයෙ කිසිම ආර්ථික හැකියාවක් නොතිබුණු මිනිසකු, අද මේ විදියට නුගේගොඩට ඇවිත් මෙවැනි පරිසරයක් හදාගෙන මේ විදියට කතා කිරීම, හීනයක් නෙවෙයි. ලංකාවේ මේ විදියට පංති කරනවා. එම විෂයන්හි හොඳම ගුරුවරයකු වනවා යන හීන මට තිබුණෙ නැහැ. නමුත් කරගෙන ආ දේ නිවැරදිව යහපත්ව කළ නිසා ලැබෙන ප්‍රතිඵල ලෙසයි දකින්නෙ.

● රජයේ සරසවියකට ගිය ඔබ පසු කලෙක සරසවියකට සම වු පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ආරම්භ කරනවා. ඒ ගැන මොන විදියටද හිතන්නේ?
ඇත්තටම අපි දරුවන්ට උගන්වන්නේ “A” තුනක් අරගෙන රජයේ සරසවි ප්‍රවේශය ලැබීමටයි. එතැන දී අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ එක්තරා රික්තයක් මා දකිනවා. තුන් ලක්ෂයක් පමණ උසස්පෙළට ලියන අතර ඉන් එක් ලක්ෂ විසිපන්දහසක් විතර සරසවියට සුදුසුකම් ලබනවා. ඉන් 25,000ක් විතර රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගන්නවා. සල්ලි තියෙන අය පිටරට වලට යනවා. මම ඉගෙන්නු දරුවන් බොහෝ දෙනා මධ්‍යම පාංතික පවුල් වල අය වුණා. එයාලට ඒ විදියට පිටරට හෝ පුද්ගලික සරසවි වලට යාමට තරම් ආර්ථික ශක්තියක් තිබුණෙ නැහැ. ඒ නිසා එවැනි පිරිසට සහ සල්ලි නැති නිසා උපාධියක් ගන්න බැරි පිරිසකට මගෙන් ඉටු විය යුතු වගකීමක් ඇති බව තේරුණා. ඊට දිය හැකි පිළිතුර වුණේ, සෙජීස් අධ්‍යාපන ආයතනයයි. නමුත් මේ ආයෝජනය වෙන දෙයකට යොදා ගත්තා නම්? එක අවුරුද්දකින් ප්‍රතිලාභ ලබාගන්නට ඉඩ තිබුණා. හැබැයි මම එහෙම කළේ නැහැ. තවමත් මේ සරසවියට ආයෝජනය කළ දේ වෙතින් ප්‍රතිලාභ ලබලා නැහැ. ඊට වඩා රටට දැයට මෙහෙයක් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉටුවේවිය යන බලාපොරොත්තුව මුදලට වඩා ලොකු අරුතක් මට ගෙන දෙන්නෙ. තවත් පුද්ගලික විශ්ව විද්‍යාලයක් කිරීම නොවෙයි මගේ අරමුණ වුණේ.
7878

● සේජීස් සරසවියෙ මොනවද වෙන්නෙ?
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා අප සම්බන්ධව සිටිනවා. විදේශීය සරසවි සමග සම්බන්ධව කටයුතු කරන අතරේ ව්‍යාපාර පරිපාලන උපාධි දක්වා අධ්‍යයන කටයුතු ව්‍යාප්ත වී තිබෙනවා. තාක්ෂණ අංශයේ උපාධි සහ අනෙකුත් උපාධි සඳහා ඉතාම සාධාරණ මුදලකට ප්‍රවේශය ලබා ගත හැකියි. සරසවි සමග කතා කරගත් පරිදි අඩු ආදායම්ලාභී සිසු දරුවන්ට නොමිලේ උසස් අධ්‍යාපනය ලබාදීමටත් ක්‍රම පිළිවෙතක් සකසා තිබෙනවා. ලංකාවේ අධ්‍යාපනයෙන් ඉහළට යන්න හදන ඕනෑම දරුවකුට උපාධියක් හෝ ඊට සමාන සුදුසුකමක් සපයාදීමට මෙතැනින් සිදුවන සේවයයි.

● මේකද ඔබගේ ජීවිතයේ ගමනාන්තය? මෙතැනින් එහාට තවත් මොන වගේ අරමුණු – සංකල්පද තිබෙන්නේ?
මගේ දැනුම හැකියාව අනුව ජීවත් වන තාක් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් මේ රටේ දරුවන්ට කුමන හෝ සේවයක් කළ හැකි නම්? මම එය කිසිදු පැකිළීමකින් තොරව කරන්න සූදානම්.

● ඒ හැකියාව දේශපාලනයට හුවමාරු කරගෙන ඉටු කරන්න යැයි කියා ඔබට ඇරියුම් ලැබුණොත්?
මීට පෙර, එනම් වසර දහයකට පෙර සිට මේ ආරාධනා ලැබෙනවා. නමුත් මම පුද්ගලිකව සිතන්නේ කිසිම විටෙක දේශපාලනයට සම්බන්ධ වෙන්නෙ නැහැ කියලයි.

● එදා සරසවි සමයේ ඔබ තුළ සිටි ගායකයා අද කෝ?
තවමත් මගේ ආත්මයේ එය තිබෙනවා. ළමුන් එක්ක පන්තිවල ඉඩ ලැබුණාම සිංදු කියනවා. ගෙදර අය එක්කත් එහෙම කරනවා. ඉඩ ලැබුණාම අයියලා එක්කත් සිංදු කියනවා. ඒක නොමැරෙන රසයක්.

● අද ඔබට ඔබව දැනෙන්නෙ මොන විදියටද?
මට හිතෙන විදියට සරලව ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. සමහර විට එහෙම වෙන්නත් බැරි අවස්ථා තිබෙනවා. ඒ අතරේ හැකි විදියට සෑම කෙනකුටම උදව් කරමින්, නිතරම අලුත් දෙයක් කරන්න හිතන කෙනෙක්. ඒ සෑම දෙයක්ම අතරේ එදා පොඩි කාලයේ -දිසා” වූ ඒ -දිසාම” තමයි අදත් මේ ඉන්නෙ.

● කොයි හැටි වෙතත්, ලංකාවේ පැවතුණ, පවතින මේ පුද්ගලික පංති හෙවත් ටියුෂන් ගැන අදටත් තිබෙන්නෙ විවේචනයි. ඒ ගැන ඔබගෙ විවේචන මොන වගේද?
එදා ඉඳලම මාධ්‍ය සහ අනෙකුත් ක්ෂේත්‍ර වෙතින් අඛණ්ඩව මගෙන් අහන ප්‍රශ්නයක් ඕක. ඇයි මේ ක්ෂේත්‍රයට ළමුන් විශාල ප්‍රමාණයක් පැමිණෙන්නෙ? යමක් සාර්ථකව වන විට එහෙම වෙනවා. ඒ අනුව ගනුදෙනු කරන පිරිසක් බිහි වෙනවා. යමෙකුට ප්‍රයෝජනවත් වන ක්ෂේත්‍රයක් වුණාම තමයි එහෙම වෙන්නෙ. හැබැයි අනිසි විදියට ගත්තොත් විවේචනත් එල්ල වෙනවා. ඒ විවේචන කරන අයගේම දරුවනුත් මේ ක්ෂේත්‍රයටම ඇවිත් ඉගෙන ගන්නවා. ඒ විදියට එවලත් අපටම බණිනවා. ඊට හේතුව කිසිම තැනක මෙම අංශයේ ප්‍රමිතිකරණය ගැන සඳහනක් වෙලා හෝ ප්‍රමිතිකරණයක් කර නොතිබීමයි.

● මොන විදියෙ ප්‍රමිතිකරණයක්ද? කුමක්ද විය යුත්තේ?
සුදුසුකම් සහිත ගුරුවරු ඉගෙන්විය යුතුයි. ඒ වාගේම දරුවාගෙන් මුදල් ලබා ගැනීම සඳහා අනිසි විදියට වචන භාවිත කොට අවිධිමත්ව උගන්වන ගුරුවරු නොවෙයි සිටිය යුත්තෙ. ඉස්සර අපේ ගුරුවරු දිහා බලන්න. අදටත් ඔවුන් ගැන මතකය තිබෙන්නෙ ඔවුන් කළ කී දේ නිසයි. අද පණහකගෙන් ඉගෙන ගත්තත් මතකය රැදෙන්නෙ කීයෙන් කී දෙනා කෙරෙහිද?

● මතකය රැඳෙන්න නම් ඔබ කියන විදියට හොඳ ගුරුවරයකු වීමට නම්?
දරුවාට අවබෝධ විය යුතුයි. ඔහු ගුරුවරයෙක් යන වග . මොහු මගෙන් මුදල් හෝ වෙනත් ලාභ ප්‍රයෝජන සඳහා නොවන වග සහ මොහු ආදර්ශමත් යැයි කුමන කාලයකදී හෝ දරුවාට හැඟුණොත් අන්න ඒ තමයි නියම ගුරුවරයා.

● ඔබ කුඩා කළ ජිවිතය වින්දනය කළ බැව් සනාථ වුණා. නමුත් අද මේ පවතින අධ්‍යාපන ක්‍රමය නිසා ළමුනට විඳින්නට තරම් ජීවිතයක් නැහැ නේද? පොතටම ජීවිතය කැප කිරීමට සිදුව ඇති නිසා ඔවුන් ජීවිතය විඳවනවා නේද? මේ පවතින අධ්‍යාපන ක්‍රමය හරිද? වැරදිද? මොකක්ද මේ?
මේ ක්‍රමයේ ව්‍යුහය වැරදියි. ඊට ප්‍රධානම හේතුව තරඟකාරී අධ්‍යාපන ක්‍රමයයි. සිලබස් එක කෙසේ වෙතත්, ළමයාට විද්වතුන් විසින් පිළියෙල කර විභාගයට සලස්වන ප්‍රශ්න පත්‍රයට ළමයාව මොන ආකාරයෙන් හෝ හුරු කරවීම තමයි මාපියන්ගෙන් සිදුවන්නෙ. ඒ තරගකාරී අධ්‍යාපනය සහ ක්‍රමයේ ඇති වැරැද්ද නිසා ඇති වූ ප්‍රශ්නයක් එය.

● බණ්ඩාර දිසානායක, වන ඔබ ජීවිතය ජය ගත්තේ නම්? ඒ මොන වගේ දෙයක් නිසා කියලද හිතන්නේ?
කරන දේ අවංකව කිරීම සහ කෙනකුට අයහපතක් නොවන ලෙස කටයුතු කිරීම නිසයි.

● ඔබ එසේ ස්වභාවධර්මයට අවංක වූ අනාගතය දැකිය හැකි ගුරුවරයකු වී නම් රටේ අනාගතය ගැන මොනවද කියන්න පුළුවන්?
ශ්‍රී ලංකාවේ හෙට දවස තීන්දු වන්නේ පුද්ගලයන් මතයි. රටේ ජනතාවගෙ ඡන්දයෙන් පත්වන අය තමයි පාර්ලිමේන්තුවට යන්නෙ. එලෙසින් රට පාලනය කරවීමට නිවැරදිම පුද්ගලයන් එතැනට යැවීම වගේම නියම නායකත්වය තෝරා ගැනීමට ජනතාව වග බලා ගත යුතුයි. එවිට දූෂණය නැති කරන්න පුළුවනි. දුෂණය නැති වූ දාට විතරයි මේ රට ගොඩනැගෙන්නේ. එසේ නොවන තාක් මේ රට ප්‍රශ්න ගොඩක් විතරක් වේවි
උපුටා ගැනිම -https://www.facebook.com/thearyansworldwide/?fref=nf

 

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article