Friday, May 17, 2024

ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳව ස්වාධීන මණ්ඩල පණත සහ සිරස ?

Must read

මීගමුවේ පැවැති කතිකාව

ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳව ස්වාධීන මණ්ඩල පනතට විරුද්ධ වන්නෝ හොරුන්, තක්කඩියන්, මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටිති. නිබර්ධිත ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් සදහා වේදිකාවක් වෙමින්, පුරවැසියන්ට පුලුල් පරාසයක තොරතුරු සැපයීමට කැපවෙන, උසස් ආචාරධර්මීය ප්‍රමිති වලින් හා වෘත්තීය නිපුණතාවයකින් යුත් ,නිදහස්, ස්වාධීන සහ බහුවිධ මාධ්‍ය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමට සදහා අත්‍යවශ්‍ය වන බැවින් ඒ සඳහා ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳව ස්වාධීන මණ්ඩලයක් පිහිටුවිමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව මහජන කතිකාවක් මේ දිනවල පැවැත්වෙන අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ඇත.
මේ අතර ඊනියා ස්වාධීන පෞද්ගලික මාධ්‍ය ආයතන මෙම ක්‍රියාවලියට එරෙහිව කඩු කිනිසි අමෝරාගෙන මෙම පනතට පමණක් නොව ඒ වෙනුවෙන් කටයුතු කරන වෘත්තීයවේදීන්ට නින්දිත ලෙස පහර දෙන්නට පටන්ගෙන ඇත. මෙරට පෞද්ගලික මාධ්‍ය හසුරුවන්නේ එවායේ මුදලාලිලාගේ ව්‍යාපාරික අවශ්‍යතාවන්ට අනුවය. එහෙත් කිසිම විලි ලැජ්ජාවක් නැතිව ඔවූහු තමන් ස්වාධීනව කටයුතු කරන බව පවසති.
මීගමුව කතිකාව


රටේ සිදුවන ඕනෑම දෙයක් පිළිබඳව තමන්ට අවශ්‍ය ආකාරයට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන මෙම ඊනියා මාධ්‍ය තමන්ට අවාසිදායක අවස්ථාවලදී ඉතා නින්දිත ලෙස පුද්ගලයන්ට පහරදීමටද මැලිවන්නේ නැත. අප වැනි රටක, විශේෂයෙන් රූපවාහිනී සහ ගුවන් විදුලි සේවාවන්ට ජනතාවගේ තීරණ ගැනීම් ක්‍රියාවලියට කල හැකි බලපෑම අපමණය. අප ලැබෙන තොරතුරු කිසිදු විමර්ශනයකින් තොරව පිලිගන්නා ජනතාවකි. මෙවැනි මානසික වහල්භාවයක් මාධ්‍ය විසින් කාලයක් තිස්සේ අප තුල නිර්මාණය කර ඇත.
මේ නිසා මාධ්‍යය අපට ලබාදෙන තොරතුරු පරම සත්‍යය ලෙස පිළිගන්නවා පමණක් නොව ඒ අනුව තීරණද ගන්නෙමු. බොහෝ රූපවාහිනී හෝ ගුවන් විදුලි සේවාවන් ජනතාව ස්වෙච්ඡාවෙන් නරඹන්නේ හෝ සවන්දෙන්නේ නැත. විවිධ කූට උපක්‍රම මගින් ඒවා වටා ජනතාව ඒකරාශී කරගෙන ඇත. සමහරු සල්ලි බෙදති. තවත් සමහරු ජනතාවගේ මුහුණු පෙන්වමින් ආධාර එකතු කරති, බෙදති.

මීගමුව කතිකාව


බොහෝ අය මිනිසුන්ගේ දුර්වල හැගීම් උද්දීපනය කරන කසිකබල් ඉන්දීය ටෙලි නාට්‍ය හඩකවා පෙන්වා මිනිසුන් මෝහනය කරගෙන සිටිති . මිනිසුන් ‘ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යන්නට හෝ ඔවුන්ට සත්‍යයේ මග සලකුණු හෙළිකරන්නට මේ මාධ්‍ය ආයතනවලට අවශ්‍යතාවයක් නැත. වසර ගනනාවක් තිස්සේ ජනතාව මීහරකුන් බවට පත් කරමින් තක්කඩියන්, මිනීමරුවන්, කුඩු මුදලාලිලා, හොරුන් , මංකොල්ලකරුවන් ,යුද උන්මාදකාරයන් , ආගම්වාදීන් සහ ජාතිවාදීන් මේ රටේ නායකයන් ලෙස තබා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කලේ මෙම මාධ්‍යය ආයතනයන්ය. ලෝකයේ සංවර්ධනවූ සහ ශීලාචාර පාලනයන් පවත්වාගෙන යන රටවල පවතින මාධ්‍ය සංස්කෘතියක් මේ රට තුල ඇති වන්නේ නම් මේ අවස්ථාවාදී ඊනියා ස්වාධීන පෞද්ගලික මාධ්‍ය ආයතනවලට තමන්ගේ ආත්මාර්ථකාමී අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැත.
එවැනි ප්‍රශස්ත මාධ්‍ය සංස්කෘතියක් සකස් කිරීම සදහා මේ වනවිට ඉදිරිපත් කර ඇති ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳව ස්වාධීන මණ්ඩල පනත මේ රට තුල ක්‍රියාත්මක කල යුතුම වන්නේය. එය තම සැබෑ කාර්යභාරය ඉටු කිරීමට මාධ්‍ය ආයතන සහ මාධ්‍යකරුවන්ට නිසි අත්වැලක් වන අතර මාධ්‍යය තියාමනයටද පුලුල් පිටුවහලක් වනු ඇත. කිසිම ප්‍රමිතියක් නැතිව ඉබාගාතේ අතපතගාමින් මුදලාලිලාගේ ව්‍යාපාරික අවශ්‍යතාවන් ඉටුකරන මාධ්‍ය තුළින් සිදුවන මහා විනාශය මේ මගින් අවම කරගත හැකි වන අතර ඒ තුළින් රටේ ශීලාචාර වෘත්තීයම මාධ්‍ය සංස්කෘතියක් බිහිකර ගත හැකිවනු ඇති බව නිසැකය. ස්වාධීනව සහ අපක්ෂපාතීව කටයුතු කරන කිසිම මාධ්‍ය ආයතනයක් මෙම යෝජිත ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳව ස්වාධීන මණ්ඩලයට බිය විය යුතු නැත.
කිසිවකු මෙයට විරුද්ධ වන්නේ නම් ඔවුන්ගේ නිරුවත ඒ තුළින් ජනතාව දැක ගනු ඇත.


අරුණ ශාන්ත නෝනිස්.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article