Thursday, May 9, 2024

දකුණු ඉන්දීය සුපිරි නළු විජයකාන්ත් කොවිඩ් නිසා මිය යයි

Must read

දකුණු ඉන්දීය දෙමළ සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු මෙන්ම DMDK (Desiya Murpokku Dravida Kazgam) නම් වූ දකුණු ඉන්දීය දේශපාලන පක්ෂයේ නිර්මාතෘ මෙන්ම නායකයාද වන විජයකාන්ත් අද (28) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 71 වැනි වියේ පසුවූවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටි බවයි. ඒ බව අද උදෑසන තහවුරු වූ බව මාධ්‍ය වාර්තා කරනවා. රෝගය හේතුවෙන් ඔහු දැඩි හුස්ම ගැනීමේ අපහසුතාවන්ගෙන් පෙළුණු බව සඳහන්. ඔහු හුස්ම ගැනීමේ යන්ත්‍ර අනුසාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බවක් සඳහන් වෙනවා.

“කැප්ටන් විජයකාන්ත් නියුමෝනියාව සඳහා ඇතුළත් වීමෙන් පසු වාතාශ්‍රය ආධාරකයේ සිටියා. වෛද්‍ය කාර්ය මණ්ඩලයේ උපරිම උත්සාහය තිබුණත් ඔහු 2023 අද, දෙසැම්බර් 28 වන දින උදෑසන අභාවප්‍රාප්ත වුණා” යි ඔහු ප්‍රතිකාර ලද රෝහල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. තිරයේ දී හමුදා චරිත නිරූපණය කිරීම හේතුවෙන් බොහෝ දකුණු ඉන්දියානුවන් විජයකාන්ත් හඳුන්වන්නේ ‘කැප්ටන්’ යන අනවර්ථ නාමයෙන්.

නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි නමින් 1952 අගෝස්තු 25 එකල මදුරාසි ප්‍රාන්තය ලෙස හැඳින්වූ වත්මන් තමිල්නාඩු හී මදුරෙයි හී විජයකාන්ත් උපත ලැබ තිබෙනවා.

ඔහුගේ දේහය මේවන විටත් ඔහුගේ නිවසට ගෙනවිත් ඇති අතර ඉන් අනතුරුව දේහය අවසන් ගෞරවය සඳහා ඔහුගේ දේශපාලන පක්ෂය වන DMDK කාර්යාලය වෙත රැගෙන යාමට නියමිත බවයි කියන්නේ.

විජයකාන්ත් 2001 දී ශ්‍රී අන්ඩාල් අලගර් ඉංජිනේරු විද්‍යාලය ආරම්භ කරනු ලැබුවා. ඔහුගේ බිරිඳ ප්‍රේමලතා විජයකාන්ත් මෙම විද්‍යාලයේ සභාපතිනිය යි. 2001 ඔක්තෝබර් 1 දින විජයකාන්ත් ප්‍රකාශ කළේ නළු සිවාජි ගනේෂන්ගේ උපන්දිනය වූ ඔක්තෝබර් 1 වැනිදා තමිල්නාඩුවේ නළුවන්ගේ දිනය ලෙස සමරන බවයි. ඔහු දකුණු ඉන්දීය චිත්‍රපට ශිල්පීන්ගේ සංගමයේ වන Nadigar Sangam (නිල වශයෙන් දකුණු ඉන්දීය කලාකරුවන්ගේ සංගමය – SIAA) හිටපු සභාපතිවරයා වූ අතර ඔහුගේ සභාපතිත්වය යටතේ විදේශයන්හි කීර්තිමත් සංදර්ශන සංවිධානය කිරීමෙන් සංගමයේ එතෙක් තිබූ ණය පියවා ගත් බව කියනවා. විජයකාන්ත් විසින් 2010 අප්‍රේල් 14 වන දින Captain TV නමින් පැය 24 පුරා ක්‍රියාත්මක රූපවාහිනී නාලිකාවක් ආරම්භ කළා. ඉන් පසුව ඔහු 2012 අගෝස්තු 29 වන දින Captain News නමින් පැය 24 පුවත් නාලිකාවක් දියත් කර තිබුණා.

2005 දී DMDK පක්ෂය පිහිටුවීමෙන් විජයකාන්ත් දේශපාලනයට අවතීර්ණ වුණා. එම පක්ෂය පිහිටුවනු ලැබුවේ තමිල්නාඩුවේ ස්ථාපිත ද්‍රවිඩ පක්ෂ වන DMK සහ ADMK වැනි පක්ෂවලට අභියෝග කරමින් විකල්ප දේශපාලන බලවේගයක් ලෙසයි.

2011 තමිල්නාඩු මැතිවරණයේ දී, DMDK, AIADMK ප්‍රමුඛ සන්ධානය සමඟ සන්ධානගත වූ අතර, විජයකාන්ත් විපක්ෂ නායකවරයා වුණා.

පසුගිය නොවැම්බර් මාසයේ දී කැස්ස සහ උගුරේ අමාරුවකින් පෙළුණු ඔහු දින 14ක් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටියා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීම නිසා විජයකාන්ත් චෙන්නායි හි MIOT රෝහලට ඇතුළත් කළ බවයි කියන්නේ.

විජයකාන්ත් දෙදරු පියෙක්. දෙදෙනාම පුතුන් වන අතර වැඩිමහල් විජේ ප්‍රභාකර් අලගර්ස්වාමි හෙවත් විකි ඔහුගේ දේශපාලන පක්ෂයේ තරුණ සංවිධානය මෙහෙයවා යි. දෙවැන්නා ෂන්මුග පාණ්ඩියන් අලගර්ස්වාමි යි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article