Saturday, May 18, 2024

තායි ගුහාවේ සිරවුණු දරුවන් මුදා ගැනීමේ මෙහෙයුම ඇරඹේ- ගුහා පද්ධතිය ජලකර සුසානයක් වේවිද?

Must read

ඉදිරි පැය 12 ක කාලය තීරණාත්මකයි.

මෙයට සුළු වේලාවකට පෙර, තායිලන්ත වේලාවෙන් උදෑසන 10ට භූගත ගුහාවේ සිරවුණු දරුවන් සහ 25 හැවිරිදි පාපන්දු පුහුණුකරුවා මුදාගැනීමේ දැවැන්ත මෙහෙයුම ආරම්භ විය. පළපුරුදු ගුහා කිමිදුම්කරුවන් 13 දෙනෙකු මේ කණ්ඩායම බේරාගැනීම සඳහා ගුහා ජල කඳ මැද මේ වන විට පිහිනා යමින් සහ පොර බදමින් සිටිති.

පට්ටායා වෙරළ තීරයට නුදුරු තාම්ලුවන්ග් නැන් නොන්ග් නමැති මෙම ගුහා පද්ධතිය පිහිටා තිබෙන්නේ මායේ සායි කඳුවැටිය පත්ලේ ය.

මේ වන විට දරුවන් සිටින ස්ථානය, පොළොව මතුපිට සිට මීටර 800 ත් 1000 ත් ගැඹුරින් වූ ස්ථානයක් ලෙසට හඳුනාගෙන ඇත. ඔවුහු ගුහා කටට කිලෝමීටර 4 ක් (සැතපුම් 2.5 ක්) දුරින් පිහිටා තිබෙන කුඩා කුටීරයක සිරවී සිටිති. ඒ වටා ගුහා පද්ධතිය මුළුමනින්ම ජලයෙන් යට වී ඇති අතර, ජලයෙන් වාතය විස්ථාපනය වන බැවින් ජලය පිරෙන්නට පිරෙන්නට ගුහාව තුළ ඔක්සිජන් පරිමාව ද අඩුවෙමින් යයි.

දරුවන් සිරවී සිටින ස්ථානය Photo: GoogleEarth & Regional Govener’s Office

ජූනි 23 වැනිදා සිය පාපන්දු පුහුණුකරු ද සමග තරගයකින් පසු ගුහා පද්ධතිය නැරඹීමට ගිය දරුවන්ට ආපසු පිටතට ඒමට නොහැකි වී තිබෙන්නේ ධාරාණිපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්වයෙන් ගුහා විවරය වැසී යාම නිසා ය. පසුව ඔවුන් දිවි බේරාගැනීම සඳහා ගුහා පද්ධතියේ ආරක්ෂිත ස්ථානයක් කරා ඇදී ගොස් තිබේ. මේ වන විටත් ගුහා විවරය සහ දරුවන් සිටින ස්ථානය අතර විශාල ජල කඳක් පිරී ඇත. ඒවා පොම්ප කර පිටතට ගැනීමේ උත්සාහයන් සියල්ල අසාර්ථක වී ඇත්තේ තවදුරටත් ඇදහැලෙන වර්ෂාව සහ ගුහා පද්ධතිය ආශ්‍රිතව පවතින ගංවතුර තත්වය හේතුවෙනි.

නොකඩවා ඔක්සිජන් සැපයුම ලබාදෙමින් දරුවන්ගේ යහපත් සෞඛ්‍ය තත්වය එලෙසම පවත්වාගෙන යන්නට මුදාගැනීමේ මෙහෙයුම් භාර කණ්ඩායම සමත් වී තිබෙන අතර, ඊයේ දිනයේ ඔවුන් කිමිදුම්කරුවන් අත දෙමාපියන්ට ලිපි ද එවා තිබිණි.

දරුවන් ජූලි 15 වැනිදා ට පෙර බේරාගතහොත් ඔවුන්ට ජූලි 15 වැනිදා රුසියාවේ පැවැත්වෙන ෆිෆා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇත. අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් යොවුන් පාපන්දු ක්‍රීඩකයන් වන ඔවුන් සියලු දෙනාට ඒ සඳහා ඇරයුම් කර ඇති අතර, තායිලන්ත පාපන්දු බලධාරීන් ද ඒ බව සනාථ කර තිබේ.

කෙසේ නමුත් මේ ගෙවී යන්නට නියමිතව තිබෙන්නේ ලෝකයම බලා සිටින අසීරුතම සහ දීර්ඝතම හෝරාවන් ය. සියල්ල නිසි පරිදි සිදුවුවහොත් එක් ගුහා කිමිදෙන්නෙකු විසින් එක් අයෙකු බැගින් මුදා ගන්නවා ඇත.

මේ වන විට සියලුම මාධ්‍ය කණ්ඩායම් ගුහා විවරය අසලින් ඉවත් කර ඇති අතර, ගුහාව අවට හමුදා සැපයුම් ට්‍රක් රථ කිහිපයක් ද නතර කර තිබේ. වෛද්‍ය පහසුකම්, දැවැන්ත ඔක්සිජන් ටැංකියක් මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව් නමක්ද රැඳී සිටින ආකාරය දැකගත හැකිය.

අතිශය අවදානම්

තායි දරුවන් බේරාගැනීම සඳහා යෝජනා වී තිබූ ක්‍රම අතරින් ප්‍රායෝගික සහ අවදානම් අඩුම ක්‍රමය වශයෙන් සැලකෙන කිමිදුම්කරුවන් ගුහාව තුළට යවා දරුවන් රැගෙන ඒමේ මෙහෙයුම දැන් ආරම්භ වී ඇතත්, එය අධික අවදානම් සහගත ක්‍රියාවකි. නමුත් වෙනත් විකල්පයක් නොමැති බව බලධාරීහු අවධාරණය කරති. ගතවූ දින කිහිපය පුරාම මායේ සායි කඳුවැටිය සිදුරු කරමින් හෝ දරුවන් සිටින ස්ථානය වෙත ළඟා විය හැකි අතිරේක පිවිසුමක් නිර්මාණය කර ගත හැකි වේදැයි ඔවුන් සොයා බැලූ නමුත් එය සාර්ථක වූයේ නැත. මේ අතර හිටපු නේවි සීල් භටයෙක් සහ පළපුරුදු කිමිදුම්කරුවෙකු ද සිකුරාදා දිනයේ දරුවන් වෙත ඔක්සිජන් රැගෙන යමින් සිටියදී මිය ගියේ ගුහාව අභ්‍යන්තර පරිසරයේ ඇති බියකරු කම ගැන ඉඟි කරමිනි. පළපුරුදු භටයෙකුට කිමිදුම්කරුවෙකුට පවා දරුවන් ඇතුළු කණ්ඩායම සිර වී සිටින ස්ථානය කරා යාමට පැය 5 1/2 ක කාලයක් ගත වේ. මේ අනුව දරුවන් රැගෙන ඔවුන්ට ගොඩට ඒමට අවම වශයෙන් පැය 11 ක කාලයක් ගත වේ. එසේ රැගෙන ආ යුතු වන්නේ, කිමිදුම්කරුවාට පසෙකින් තබාගෙන නොව, අතිශය පටු උමං ජාලයක් බඳු මාර්ගයක් ඔස්සේ ය. දරුවන් එක ගොඩට නොව එකිනෙකාට සෑහෙන පරතරයකින් යුතුව ගෙන ආ යුතු වන්නේ, කිසියම් නපුරක් සිදුවුවහොත්, සියලුම දෙනාට එය එක සේ බලපාන හෙයිනි. සී එන් එන් පුවත්සේවයට අනුව පුහුණුකරු සහ දරුවන් දෙදෙනෙකුගේ සෞඛ්‍ය තත්වය ද මේ වන විට තරමක් දුරට පිරිහී තිබේ.

මේ අතර, එක් කිමිදුම්කරුවෙකු හෝ අනතුරට පත් වුවහොත්, එහි අදහස, ගුහාව තුළ එක් අයෙකු ඉතිරි වනු ඇති බවයි! මේ 13 දනොගේ කණ්ඩායම වෙනුවෙන් යොදවා තිබෙන්නේ කිමිදුම්කරුවන් 13 දෙනෙක් වන හෙයිනි, ඒ.

විශේෂඥයන් ඉහත කරුණු නිසා මෙම මෙහෙයුම හඳුන්වන්නේ ‘කාලයට එරෙහි සටනක් කියා ය. “Now or Never” යැයි ඔවුහු කියති. එහි අදහස, අපේක්ෂිත දැඩි වර්ෂාපතනය හමුවේ ගුහාව සම්පූර්ණයෙන්ම ගංවතුරෙන් පිරීයන්නට පෙර කුමන අවදානමක් සහිතව වුවද දරුවන් ගොඩට ගෙන ආ යුතු බවයි. දරුවන්ව එක්කෝ ‘දැන්‘ බේරාගත යුතු බවත්, නොඑසේ නම් ‘කිසිදා ඔවුන්ව බේරාගත නොහැකි බව‘ත් ය.

පුරා දින 15 ක් පොළොව යට ගත කළ මේ කණ්ඩායම නිරුපද්‍රිතව හිරු එළිය දකීවිද? එසේත් නැතිනම් තායිලන්තයේ තාම්ලුවැන්ග් ගුහා පද්ධතිය මේ දරුවන්ගේත් පාපන්දු පුහුණුකරුවාගේත් ජලකර සුසානය වේවිද? ලොව ම ඇසිපිය නොහෙළා බලා සිටින්නේ ඒ දෙස ය.

– අමාලි ජයවීර | outboundtoday.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article