Monday, April 29, 2024

තවමත් බත් නොකන රාමුගේ අම්මා

Must read

සුබ්‍රාගේ අම්මාසුබ්‍රාගේ ඇල්බමයෙන් 1

නුඹේ සුසුම් හමනවා…. කොහේ සිට දෝ
නුඹ ඉන්නවාද? රාමු….
නුඹ ඉන්නවාද?
සහෝදර රාමු සොයා යාපනේට ගිය මාධ්‍යවේදී කණ්ඩායමේ කුමාරි ප්‍රනාන්දුට අවසානයේ සිය සහෘදයා වෙනුවෙන් ලියන්නට තිබුණේ මෙපමණය. ඇයට මෙන්ම සියල්ලන්ටම අසන්නට ඇති එකම ප්‍රශ්නය රාමු තවමත් ඉන්නවාදැයි කියාය. සුබ්‍රාගේ නිවසට ගිය මාධ්‍ය සගයන්
රාමු නම් සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්ය. දකුණේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් සිය සහෝදර මාධ්‍යවේදීයාගේ නිවස සොයා පසුගිය දාක යාපනේ නෙල්ලඩි ගියහ. රාමුගේ නිවසේ සිටියේ අවුරුදු අසුතුන් වියැති පියාත් අසුඑක් වියැති මවත් සමග රාමුගේ සහෝදරියක් ය.
—කොච්චර කතාකරත් වැඩක් නෑ˜. රාමුගේ අම්මා කීවේ එහෙමය.
ඒ ඇගේ වේදනාවය.
2007 සිට ඇය පුතා ගැන කතා කළාය. එහෙත් ඇසුණේ කාටද? ඇය විඩාපත්ය.
—රාමුගේ  අම්මා අපේ දරුවා නැතිවුණ දවසේ ඉදන් බත් ඇටයක් කාල නෑ. පාන් හරි වෙන මොනව හරි තමයි. ඒත් දවසටම කන්නේ එක වේලයි. එයා කියන්නේ කවදා හරි දවසක පුතා ගැන දැනගන්න ලැබුණාම තමයි බත් කන්නේ කියල ඒ රාමුගේ පියාය.
ඇයට බත් කන්නට දිනයක් උදාවේදැයි අපි නොදනී. බත් නොකෑවද රාමු දැක හෝ මියයන්නට ඉඩක් ඇයට තිබේදැයි අපි නොදනියි. ඒ බලා හිදිමට අවසානයක් තිබේදැයි අපි නොදනී.
2007 පෙබරවාරි දාහත් වැනිදාවේ සිට රාමු නැත. එදින නිවසට නුදුරු කලිකායි හන්දිය දක්වා පැමිණි සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් ඒ අඩි කිහිපය ගෙවා නැවත නිවසට ආවේ නැත. රාමුගේ සහෝදරිය ජෙයරත්නම් කමලාශිනි ඔහුට දුරකතනයෙන් ඇමතු අවස්ථා දෙකකදී ඔහු හොදින් බවත් හමුදා ප්‍රශ්න කිරීමකට රැගෙන ආ බවත් එය අවසන් වු විගස නැවත පැමිණෙන බවත් කීවද රාමු දුන් පොරොන්දු ඉෂ්ට කළේ නැත. කමලාශිනි සිය පියාද සමග නිවසට ආසන්නයේ ඇති හමුදා කදවුර වෙත ගොස් සිය සහෝරයා පිළිබද ප්‍රශ්න කළ ද රාමචන්ද්‍රන් දුටු බව හෝ රදවා තබා ගත් බව පවා ඔවුන් ප්‍රතික්ෂේක කළේය.
එහෙත් 2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසුව හමුදාව හා පොලිසිය සුබ්‍රාගේ උප්පැන්න සහතිකය, අධ්‍යාපන සහතික සහ වෙනත් වැදගත් ලියවිලි ඉල්ලා සිටිමින් ඒ සියල්ල පේදුරුතුඩුව පොලිසියට ගෙනැවිත් භාර දෙන්නට යැයි පවසා ඇත. රාමචන්ද්‍රන්ගේ පියා ඒ සියලු ලියවිලි පේදුරුතුඩුව පොලිසියට බාර දී ඇත. එසේම 2012 වසර දක්වා ක්‍රියාත්මක වෙමින් තිබු රාමචන්ද්‍රන්ගේ දුරකතන අංකය ඉන් පසු අදාළ දුරකතන සමාගම වෙන අයෙකුට ලබා දී තිබු අතර පසුව එය ද තහනම් කොට තිබේ. එහෙත් එක් බුද්ධී අංශ නිලධාරියෙකුගෙන් ලද තොරතුරු මත ඩග්ලස් දේවානන්ද ඇමතිවරයාව ද හමුවීමට රාමුගේ පියා හා සහෝදරිය ගියද ඉන් ඇති වු පළක් නැත.
…….පුතාව අරගත්තේ ඊපීඩීපී එකම තමයි. හැබැයි හමුදාවෙත් උදව් ලැඛෙන්න ඇති. මොකද ඒ කාලේ නිල නොවන සන්නද්ධව සිටි පිරිස හැටියට හිටියේ එල්ටීටීය එකයි ඊපීඩීපී එකයි විතරයි. ඒ හින්දා තමයි ප්‍රධාන චෝදනාව ඊපීඩීපී එක වෙත එල්ල කරන්නේ.
ඒ රාමුගේ පියාය.
එහෙත් චෝදනා, චෝදනාවක් පමණක් වී ඇත.
ඒ වෙනුවෙන් කරන පරීක්ෂණයක් නැත. ඝාතනයට ලක් වු උතුරේත් දකුණෙේත් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් හතළිස්හතර දෙනෙකුගේ කතා අතර සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්ගේ කතාව අදටත් අභිරහසකි.
ඇසින් දුටු සාක්ෂි තිබියේද සුබ්‍රාට කළ වින්නැහිය හෝ රාමු කොහේදැයි හෝ සොයන්නෙක් නැත.

සුබ්‍රාගේ පියා……මගේ පුතා මටත් වඩා අගලක් උසයි. හරි ශක්තිවන්ත මනුස්සයා. හරි ධෛර්යවන්තයි. ඔය මිදුලේ ගස් ටික මල් වැටවල් ඔක්කෝම හැදුවේ මගේ පුතා…..
දකුණේ මාධ්‍යවේදීන් රාමුගේ ගෙදරන් පිටත් වෙන වෙලාවේ රාමුගේ පියා සිය පුතු ගැන ආදරණීය මතකයන් සිහිපත් කරයි.
සෑබෑය.
රාමු ශක්තිවන්ත මිනිසෙකි. උතුරේ සිට පත්තරවල කුරුටු ගාමින් නිවැරදි දේ වෙනුවෙන් රාමු පෙනී සිටියේය. ඒත් ඒ ශක්තිවන්ත මිනිසා නැති රාමුගේ පවුලේ අද ඇත්තේ හිස්තැනකි.
එහි ගිය දකුණේ මාධ්‍ය සහෘදයන්ට ඇස්වල කදුළු පුරවාගෙන එන්නට සිදුවුණේ ඒ හිස්තැනේ දිග පළල රාමුගේ මවගෙන් පියාගෙන් දුටු නිසාය.
එහෙත් අපිට නැවතත් ඇසිය හැක්කේ රාමු ඔබ කොහිද කියාමය.

සිවරාම්ගේ 11වන ඝාතන සමරුවට සහභාගි වු දකුණේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් අතරුදහන්වු මාධ්‍යවේදී සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්ගේ නිවසට ගොස් ඒ අතුරුදහන් වීම පිටුපස ඇති තොරතුරු සොයා බලා වාර්තා කළෝය. මෙය සංවිධානය කළේ මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරි කමිටුවයි. එයට විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් රැසක් සහභාගි වුහ. එම සංචාරයෙන් අනතුරුව citizenpostlk.comවෙබ් අඩවියට ෆ්‍රෙඩී ගමගේ විසින් තැබු සටහනක් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
සැකසුම – ජයනි අබේසේකර
(රාවය සමබිම පිටුවෙන් උපුටා ගැනුණි.)

රාමු

විශාල හාදයෙක්,   

මටත් වඩා අඟල් දෙකක් උස
මගේ රාමු …

‘‘මේ මල් ආරුක්කුව හැදුවේ
ඒ  දෑතින්මයි ..
අප්පාගේ කඳුළු..කඩා නොවැටීම කතා කෙරුවා ….

පුතෙකු නැති වුණ අප්පෙකුගේ හඳවත
සඳ එළියක් නොවේ …
මඟ බලන ගිරි කුලක්…
ඒ රාමුගේ අප්පා…….
කයිතඩි හන්දිය ලඟ
මුරපොලේ දී ….
රාමු නැතිවුණා….
එදා ඉදන්
පිච්ච වැලේ මල් පිපුණේ නෑ ….
එදා ඉදන් ඉර බැස්සෙත් නෑ රාමු
ඉර නැංගෙත්  නෑ රාමු …

මගේ කුසට බත් ගිලුනෙත් නෑ රාමු….

අපේ පණ අරන් නුඹ කොහේ  සැඟවිලාද..

වැදූ කුස පළි ගසනවා
තාමත් මඟ බලාගෙන……

නුඹේ සුසුම්  හමනවා..කොහේ සිට දෝ

නුඹ ඉන්නවා ද?  රාමූ…
නුඹ ඉන්නවා ද?

කුමාරි ප්‍රනාන්දු

විඩියාේ-www.wayambatoday.com / www.meepura.com

Comments

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article