Saturday, November 2, 2024

ජාතික නිදහස සහ තොරතුරු දැනගැනීමේ නිදහස|සුදර්ශන ගුණවර්ධන

Must read

 

Feb 3rd, 2017 | By | Category: Today Lead News, දේශපාලන, නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මාධ්‍ය නිදහස, මානව හිමිකම්, මැතිවරණ, සමබිම ඉරිදා අතිරේකය, සුදර්ශන ගුණවර්ධන

69 වන ජාතික නිදහස් දිනය පෙබරවාරි 04 වන දිනට යෙදී ඇත. ඒ දිනය උදාවන්නේ තවත් වැදගත් නිදහසක් භුක්ති විඳීමේ වරම ද ලාංකීය පුරවැසියන් වෙත ලබා දෙමිනි. ඒ ‘තොරතුරු දැනගැනීමේ නිදහස’ යි. ජාතික නිදහස මෙන්ම තොරතුරු දැනගැනීමට පුරවැසියන්හට ඇති අයිතිවාසිකමද සමරනු වස් ‘සමබිම’ එක්වන්නේ අභිමානයෙනි.

ජාතික නිදහස හෙවත් ස්වාධීනතාවය ආඩම්බරයෙන් සමරන්නට
හැකිවන්නේ පුරවැසියන්ට සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳීමේ වාතාවරණයක් පවත්නේ නම් පමණය. එහෙත්, එම අයිතිවාසිකම් එකින් එක වළපල්ලට යැවෙන හැටි අපි පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ බලා සිටියෙමු. ඒ අතරින් උතුම් ම නිදහසක් වූද, පස්වැදෑරුම් ජනතා පරමාධිපත්‍ය බලයේ එක් අංගයක් වූද ඡන්ද බලය කිසිදු වැඩකට නැති සැරසිල්ලක් වන ආකාරයද අපි බලා සිටියෙමු. ඡන්ද බලය සැරසිල්ලක් කරගත් රටවල් හඳුන්වන අලුත් නමක් ඇත. එය නම් ‘ස්වාධිපත්‍යයිකයාගේ ප්‍රජාතන්ත්‍රවාදයයි’. ස්වාධිපත්‍යයිකයා හෙවත් ස්වෛරී බලය සහිත පුද්ගලයා යනු සියලු නීති පැනවීමට මෙන්ම ඒවා සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ අත්හිටුවීමට බලය ඇති තැනැත්තාය. ස්වාධිපත්‍යයිකයාගේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන විට ඡන්ද පැවැත්වෙන නමුත්, එම ඡන්දවල ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ස්වාධිපත්‍යයිකයාගේ නියත ජයග්‍රහණයෙන් සහ විපක්ෂයේ චිත්ත ධෛර්යය බිඳීමෙන් අවසන් වෙයි. 2008 නැගෙනහිර පළාත් සභා ඡන්දයේ සිට 2015 ජනාධිපතිවරණය දක්වා- උතුරු පළාත් සභාව සහ කොළඹ මහ නගර සභාව පිළිබඳ ව්‍යතිරේකයන් දෙක හැරුණු විට ශ්‍රී ලංකාව අත් දුටුවේද, ව්ලදිමීර් පුටින් (සහෝදරයා) යටතේ රුසියාව තවමත් අත්දක්මින් සිටින්නේද එකී ස්වාධිපත්‍යයිකයාගේ ප්‍රජාතන්ත්‍රවාදයයි.Maithripala_Sirisena_AFP_650

එම ප්‍රජාතන්ත්‍රවාදයෙන් මිදී සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනේ මුල් පියවර තබන්නට 2015 ජනවාරි 08 වන දින ලාංකික පුරවැසියන්ට හැකි විය. බලයේ සිටිමින්, තමන් අභිමත දිනයක ඡන්දය පැවැත්වීමට නියම කර ගනිමින්, දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ සහ රාජ්‍යයේ මර්දන උපකරණ තමන්ට රිසිසේ හසුරුවන විධායක ජනාධිපතිවරයෙකු කිසිදා පරාජයට පත් නොවූ ඉතිහාසයක් යටතේ, තනි ඉලක්කයක් වටා එක් රොක් වුණු ජන බලවේගයක නියෝජිතයකු ලෙස ඉදිරිපත්වූ විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය ඓතිහාසික මෙන්ම අපූර්ව හෙවත් පෙර නොවූ විරූ එකක් වන්නේ එබැවිනි.

Ranil M
ඡන්ද ජයග්‍රහණය පමණක් නොව ලේ වැකීමකින් තොරව සහ සාමකාමීව බලය හුවමාරු කරගැනීමට ඉඩ ලැබීමද මෙකී ජයග්‍රහණයේ ඉදිරි පියවරක් විය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ‘බෑග් පැක්’ කරගෙන මැද මුලන ප්‍රාන්තය බලා පසු බැසීමත්, නව ජනාධිපතිවරයා නිදහස් චතුරශ්‍රයෙහි දිවුරුම් දීමත්, ඒ සමගම විපක්ෂ නායකවරයා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමත් පැය කිහිපයක් තුළ සිදු විය.නීති විරෝධීව ඉවත් කෙරුණු හිටපු අග විනිසුරුවරිය යළි තනතුරේ පිහිටුවීමත්, ඒ තනතුරට අනීතිකව පත් කරන ලද රජ වාසල අතවැස්සා ඉවත් කිරීමත් ඉන් පසු ලබා ගත් ජයග්‍රහණ විය.

මේ සියලු ජයග්‍රහණයන් ස්ථාවර කොට ආයතන ගත කරනු පිණිස සහ විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල අහෝසි කිරීම පිණිස ගෙන එන ලද 19 වන සංශෝධනය අති විශාල බහුතර ඡන්ද සංඛ්‍යාවකින් සම්මත කරගැනීමද, ඉන් අනතුරුව ස්වාධීන බලතල ඇති ඡන්ද කොමසාරිස්වරයෙකු යටතේ නිදහස් සහ සාධාරණ ඡන්දයක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට පොරොන්දු වූ බලවේගයක් බලයට පත් කරගැනීමට ලැබීමද, ප්‍රධාන පක්ෂ දෙකෙහි මූලිකත්වයෙන් ජාතික සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවස්ථාව ලැබීමද මහඟු ජයග්‍රහණ වෙයි.

ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වීමට නියමිත්ව තිබූ යෝජනාවට සම අනුග්‍රාහකත්වය ලබා දෙමින්, එහි න්‍යාය පත්‍රය හැසිරවීමට සම්බන්ධ වීමද, ඒ අනුව සංහිඳියා පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් පිහිටුවීම සඳහා මහජන අදහස් විමසමින් ඒ සම්බන්ධව ආයතන ඇති කිරීමට පියවර ගැනීමද තවත් ප්‍රබල ජයග්‍රහණයකි.  ජනවාරි 8 පොරොන්දුව අනුව යමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම උදෙසා වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම පිණිස මහජන අදහස් විමසමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමද මේ අතර කැපී පෙනෙයි.

මේ සියල්ල අතර, තවත් එක් වැදගත් ජයග්‍රහණයක් වන්නේ තොරතුරු දැනගැනීමේ නිදහසට ඇති අයිතිවාසිකම මූලික අයිතිවාසිකමක් බවට පත් කොට, එය නීතියෙන් ක්‍රියාත්මක කරවා ගැනීම පිණිස පනතක් ගෙන ඒමයි. එම පනත ක්‍රියාත්මකවීම මේ නිදහස් සමරුවත් සමගම ඇරඹෙන අතර, එමගින් රජය සහ එහි නියෝජිතයන් පුරවැසියාට වගකීමට බැඳෙන ආයතනයක් බවට පත්කිරීමේ මූලික පියවර තබනු ඇත.

මෙවර නිදහස් දිනයෙහි ජාතික නිදහසද, තොරතුරු දැනගැනීමේ නිදහසද සමරන්නට එක්වෙමු. මේ සියලු නිදහස යථාර්ථයක් බවට පත්කරගැනීමේ යතුර ඇත්තේ සක්‍රිය පුරවැසියන් සහ පුරවැසියන් සතුවය. ■

 

නිතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් 2017.02.05 දින රාවය සමබිම ඉරිදා සංග්‍රහය වෙත රචිත ලිපියකි 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article