Wednesday, May 15, 2024

ඉදිරි දේශපාලන සමාජ සාගතයට නාමල් ගෙන් කෝම්පිට්ටු

Must read

ඉදිරියේ දී පිහිටුවීමට නියමිත බව කියන සර්ව පාක්ෂික ආණ්ඩුවක අමාත්‍ය ධුරයක් නාමල් රාජපක්ෂ මහතාට ලබා දීම සම්බන්ධයෙන් ගාළු මුවදොර අරගලයේ ඉදිරි පෙලේ කටයුතු කළ Black Cap Movement සංවිධානය සිය විරෝධය පළ කරයි.එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

“එළඹෙන සර්ව පාක්ෂික රජයක නාමල් රාජපක්ෂට අමාත්‍ය තනතුරක් ලබාදෙනවාට අපි දැඩිව විරුද්ධ වෙමු
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඉදිරියේදි නිර්මාණය වීමට නියමිත සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකමක් තමාට ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවට දේශපාලන සමාජය තුළ මේ වනවිට රාවයක් පැතිරයමින් තිබේ. මේ පිළිබඳව අප සංවිධානයේ දැඩි අවධානය යොමුව ඇත.

රාජපක්ෂ පවුල් වාදයේ අත්තනෝමතික භාවයට එරෙහිව රටේ පැන නැඟුණු ජන අරගලයේ ප්‍රධාන ඉලක්කය වූයේ රාජපක්ෂ වාදයෙන් තොර නව පාලනතන්ත්‍රයක් නිර්මාණය කරගැනීමයි.

අරගලයෙන් ජනතාව බලාපොරොත්තු වූයේ පැරණි පොහොට්ටු ආණ්ඩුවම නැවත සළුපිළි අන්දවා කරලියට ගැනීමට නොවේ. රාජපක්ෂවාදයේ පසුගාමීත්වයෙන් තොර රටකි. නමුත් නාමල් රාජපක්ෂ පසුගියදා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරීයෙකු පත් කිරීම සඳහා ද පරිසර අමාත්‍යවරයා වෙත ලිපි දෙකක් මාර්ගයෙන් බලපෑම් කර තිබෙනු අපට නිරීක්ෂණය විය.
එමෙන්ම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස පත්කිරීමට ද සූදානමක් ඇති බවකි. ජනතා මතය පිළිබඳව කිසිඳු සංවේදීත්වයක් නොමැතිව මෙලෙස ජනතාවට කොකා පෙන්වමින් කටයුතු කිරීමට රාජපක්ෂ කාටේලය කටයුතු කරයි නම් ඔවුන්ගේ දේශපාලන ඉරණම පිළිබඳව ඊළඟ මැතිවරණයේදී ජනතාව තීන්දු කරනු ඇත.

එහෙත්, ඊට ප්‍රථම ශ්‍රීලංකාවේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගොඩනඟන සර්ව පාක්ෂික ආණ්ඩුව ද නාමල්ලා ගේ දේශපාලන සූදුවක් බවට පත්කිරීමට ඉඩ නොදෙන ලෙස සියලු දේශපාලන කණ්ඩායම් වෙතින් අපි ඉතා බැරෑරුම්ව ඉල්ලා සිටිමු.

නාමල් රාජපක්ෂලාගේ දේශපාලන ගේම් වලින් අවසානයේ පීඩාවට පත්වන්නේ රටේ අහිංසක ජනතාව වන අතර ඒ සඳහා ඉඩ නොතැබමින් අවිහිංසාවාදී අරගලයක නිරත වූ සියලුම සාමකාමී අරගලකරුවන් බලාපොරොත්තු වූ දේශය ගොඩනැගීම සියලු දේශපාලන ක්‍රියාකාරීන්ගේ උරමත පැටවී ඇති වගකීමක් බව අපි විස්වාස කරමු.

ස්තුතියි.
බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න
මාධ්‍ය ප්‍රකාශක(උපුටා දැක්වීම අවසන්)

ගාලු මුවදොර විරෝධතාවට සිය දායකත්වය දුන් අනේක විධ ප්‍රජා සහ සමාජ කණ්ඩායම් අතුරින් Black Cap Movement වඩාත් සිවිල් ජනතාවාදී මුහුණුවරක් ගත් සංවිධානයක් ලෙස සමාජ විශ්ලේකයන්ගේ අවධානයට යොමු වී තිබේ.මෙම සංවිධානය ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් අකාර්යක්ෂම පාලනයට ප්‍රතිචාර වශයෙන් Black Cap Movement විසින් 2022 මාර්තු 1 වන දින කොහුවල මංසන්ධියේ දී ඉටිපන්දම් දැල්වීමේ වැඩසටහන ආරම්භ කරන ලදී.පසුව සමාජ-ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වෙමින් පවතින බව එම සංවිධානයට නිරීක්ෂණය වූ බැවින්,#GoHomeGota2022 සමාජ මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරය පදනම් කර ගනිමින් ප්‍රචණ්ඩත්වයෙන් තොර ජනතා විරෝධයක් මෙහෙයවීම ආරම්භ කළ එම සංවිධානය එවැනි සාමකාමී ක්ෂුද්‍ර විරෝධතා මාලාවක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ව්‍යාප්ත කරන ලදී.

පවතින අර්බුදවලින් ජනතාව දිගින් දිගටම පීඩාවට පත් වෙද්දී රට පුරා ක්‍රියාත්මක වූ ක්ෂුද්‍ර විරෝධතා හරහා #GoHomeGota2022 සටන් පාඨය යථාර්ථයක් බවට පත් විය.මෙම අවිහිංසාවාදී විරෝධතා ආකෘතිය පසුව මැයි 9 න් පසු ආරම්භ වූ ‘මුළුතැන්ගෙයි විලාපය’ නම් විරෝධතා මාලාව වශයෙන් ඉදිරිපත් කරනු ලදුව මධ්‍යම පන්තික කොටස්වල කාන්තාවන් ආකර්ෂණය කර ගැනීමට ද ඔව්හු සමත් වූහ.අප්‍රේල් 9 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැති විරෝධතාවයෙන් ලොවට ඔප්පු කළේ අවිහිංසාවාදී විරෝධතාවයකින් තම ඉල්ලීම් ඉටුකර ගන්නේ කෙසේද? යන්නයි.‘ගෝඨා ගෙදර යන්න’ ව්‍යාපාරය හරහා විධායක ජනාධිපතිවරයකු එළවා දැමීමට නව පරම්පරාව සංකේතාත්මකව සමත් වී ඇති නිසා ‘ගෝඨා ගෙදර යන්න’ සටන් පාඨය යථාර්ථයක් වී ඇති බව එම සංවිධානයේ අදහස ය.ඔවුන්ගේ මීළඟ පියවර වනුයේ ‘ගෝඨා ගෙදර යන්න’ ව්‍යාපාරයට සමගාමීව කෙටුම්පත් කරන ලද ඉටු නොවූ ඉල්ලීම් ඉටු කිරීම වන අතර එම නිසා මෙම විරෝධතාවයට මෙම ප්‍රතිසංස්කරණ ගෙන ඒම සඳහා නව අදියරකට මුල පිරීම ය.පසුගිය අප්‍රේල් 12 වැනිදා සිට මැයි 12 වැනිදා දක්වා ඔවුන් ගාලුමුවදොර විරෝධතා භූමියේදී විවිධ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර සකස් කළ ‘ගාලුමුවදොරෙන් ඔබ්බට’ ප්‍රකාශනයට මෙම ඉල්ලීම් ඇතුළත් කර ඇත.

එනිසා ඔවුන්ගේ විරෝධතාවයේ අරමුණ වන්නේ මෙම ප්‍රතිසංස්කරණ ඇති කිරීම වන අතර එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සිවිල් සමාජය සහ දේශපාලන ව්‍යාපාර සමඟ අත්වැල් බැඳ ගැනීමට ‍ඔවුන් නිරතුරුවම සූදානම් ය.ජූලි 28 වනදා ගාලු මුවදොර උද්ඝෝෂණ භූමියේ මූලික අරමුණ ඉටු වී ඇති බැවින් තවදුරටත් එහි රැඳී සිටීමට කිසිදු හේතුවක් නොමැති බව විශ්වාස කළ ඔවුහු ඉන් ඉවත් වූහ.ඒ කිසිදු ඒ කිසිදු බල ලෝභී අවශ්‍යතාවක් නොතිබූ සිවිල් ජනතා ක්‍රියාකාරී සංවිධානයක් ලෙසිනි.

BlackCapMovement සංවිධානයේ විරෝධයට ලක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක් පවුලක් කේන්ද්‍රගතව රාජ්‍ය බලය රඳවා ගැනීම නම් “දේශපාලන අවිනීත බවේ”කේන්ද්‍රීය සාධයයයි.ඊට හේතුව”පියාගෙන් පසු පුතුට රජකම නම් ආචීර්ණ කල්පික වැඩවසම්වාදී දේශපාලන න්‍යාය තුළින් ඔහු මේ රටේ රාජ්‍ය නායකයා කිරීමට රාජපක්ෂ පවුල දරන මුග්ධ වෑයමයි.බෙහෙවින් ආන්දෝලනාත්මක පසුබිමක් යටතේ නීතිඥ වරයකු ලෙස දිවුරුම් දී ඇති ඔහුට 2010 මහින්ද රාජපක්ෂ සමයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා දීමට දැරූ වෑයමක් විශ්ව විද්‍යාල සනාතන සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.නවීන දේශපාලනමය හෝ සමාජමය දැනුමක් අවබෝධයක් නොමැති නාමල් රාජපක්ෂ ඔහුගේ වයසේ තරුණ පෙළට විහිළුවක් සේ පෙනෙන පරම්පරා සාටකයක් කර ලාගෙන දේශපාලන බිමේ”හක්කලං කරනුයේ”තමන් මේ රටේ ඊළඟට රජ රජකම කම හිමි කුමරා බව ජනතාවට අඟවමිනි.

එහෙත්, නවීන සමාජ දේශපාලන චින්තනය හමුවේ එම පළඳනාව තුළ විකට ඇඳුම් තරඟයකට අඳින ඇඳුමකට වැඩි වැදගත් කමක් නොමැති බව ඔහුට වැටහී නැත.එමෙන්ම ජන මාධ්‍ය හමුවේ පවා තම පවුල”රාජපක්ෂ වරුන්”යනුවෙන් අනන්‍ය කොට හඳුන්වා ගන්නා ඔහු එමඟින් ද තම පරපුර රාජ්‍ය පාලනයට නෛසර්ගික උරුමයක් ඇති බව කියා පෑමේ මුග්ධ උත්සාහයක යෙදෙනු පෙනේ.ඒ මදිවාට ඔහු පසුගිය දිනයේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පලාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ඵලදායී මහජන සේවාවක් සඳහා වන යෝජනා නමින් කෙටි ලිපියක් යවමින් ප්‍රකාශ කොට ඇත්තේ එය “හැකිතාක් කඩිනමින්”ක්‍රියාවට නැංවිය යුත්තක් බව ය.මහින්ද රාජපක්ෂ නම් පියාට තම වැඩිමල් පුතුගේ දේශපාලනික දරු සුරතල් බලා සතුටු වීමේ අයිතියක් තිබේ.නමුදු ජාතියක් වශයෙන් රට හමුවේ පවතින දේශපාලන සමාජ සාගතය සඳහා නාමල් රාජපක්ෂ දේශපාලන නොදරුවා හදන කෝම් පිට්ටු වලින් සුළු හෝ විසඳුමක් නොලැබෙන බව මෙරට බුද්ධිමත් ජනතාව සේම Black Cap Movement සංවිධානය ද වටහාගෙන ඇති බවක් පෙනෙයි.

දමයන්ති ගමගේ

- Advertisement -spot_img

More articles

1 COMMENT

Comments are closed.

- Advertisement -spot_img

Latest article