Monday, December 23, 2024

ආගමික මතවාද විවේචනය කරන්න අයිතියක් නැද්ද?

Must read

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීක සේපාල් අමරසිංහ ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීමේ චෝදනාවට යටතේ මේවන විට ඔහු ජනවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

මෙම තත්ත්වය බුදුදහමට තර්ජනයක් ද? රට ජාතිය ආගමට තර්ජනයක්ද? නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇති තර්ජනයක්ද? නැතහොත් ආගමික නිදහසට හා සහජීවනයට තර්ජනයක්ද ?  නිරාගාමිකත්වය යනු කුමක්ද? ඇතැම් පිරිස් සැබවින්ම නිරාගාමික ද? නැතහොත් යම් දේශපාලනික යටිඅරමුණක් සහිතව  ඔවුන් කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව බොහෝ දෙනා විවිධ මත පළකරන අතර එය සමාජයේ පුළුල්ව මේ වන විට සංවාදයට ලක්වන මාතෘකාවකි.

ධර්මධර, විනයධර බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙන්ම කතෝලික පූජකවරු ද පෙන්වා දෙන්නේ වත්මන් නැඹුරුව පිටුපස දේශපාලන අරමුණක් ඇති බවය.

පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ බීබීසි සිංහල සේවය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳ උන්වහන්සේගේ මතය පැහැදිලි කළහ.

“මේවා බොහෝ දුරට මම හිතන්නේ දේශපාලන කාරණා කියලා”


292445780 332006332473007 4907456977092239201 n

පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි

 

“නිරාගාමික කියන අදහස දරණ අය ගොඩක් ඉන්නවා. පරම්පරාවක්. නමුත් ඒගොල්ලෝ එහෙම හානි කරන විදිහේ හෝ එහෙම ආගම්වලට එරෙහි පිරිසක් නෙමෙයි. නිරාගමික කියන්නේ තමන් ආගමක් සම්බන්ධයෙන් විශේෂ ලැදියාවක් පෙන්වන්නේ නැති අය.” උන්වහන්සේ පෙන්වා දුන්හ.

 

“නමුත් දැන් මේ වෙලාවේ මේක ඊට වඩා වෙනස්. අපේ රටේ සාමාන්‍යයෙන් බොහෝ දේවල් සිද්ධ වෙන්නේ ඡන්ද එක්ක. මේ වෙලාවේ ප්‍රාදේශීය සභා ඡන්දය එන්න පුලුවන්. ඒතකොට ආයිත් බුද්ධාගමටයි, අරකටයි මේකටයි. හතුරෝ ඇවිදින්, ඔන්න ඒ පාර බුද්ධාගම බේර ගන්න මේ අර වීරයන්ට අවස්ථාව එනවා.” ධම්මාන්ද හිමියෝ පැවසූහ.

 

“මම දකින්නේ මේක තරුණ පරම්පරාව අතරේ නිරාගමික ප්‍රවණතාවට වඩා වෙනස් දෙයක් හැටියට. නිරාගමික කියන අදහස දරණ මිනිස්සු ආගම්වලට විරුද්ධ නැහැ.  ඒ විතරක් නෙමෙයි. ලෝකේ ඕන තැනක බලන්න ඒ අය හරි සදාචාර සම්පන්නයි.” උන්වහන්සේ පෙන්වා දුන්හ.

පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සඳහන් කර සිටියේ “මේවා බොහෝ දුරට මම හිතන්නේ දේශපාලන කාරණා කියලා. බරපතල විදිහට ආගමට හතුරුකම් පෙන්වමින්, බැනවඳින පිරිස කරන්නෙත් නිරාගමික ලෙස පෙනී සිටමින් දේශපාලන වැඩපිළිවෙලකට අවශ්‍ය පසුබිම හදන එක. ඒ නිසා මේ වෙලාවේ අත්අඩංගුවේ ඉන්න කෙනා ගැන වුණත් මම හිතන්නේ එයා නිරාගමික කියන පිරිසට අයිති කෙනෙක් හැටියට නෙමේ.”

 

උන්වහන්සේ පෙන්වා දුන්නේ “නිරාගමික කෙනා තව ආගමකට පහර දෙන්නේ නැහැ. ලංකාවේ මේ වෙලාවේ යන දේ බොහෝ වෙලාවට මම හිතන්නේ ඒක දේශපාලනිකයි. ඊට පස්සේ ඔන්න අර බුද්ධාගම බේර ගනීමේ  වීරයන් සියලූම දෙනාට අවස්ථාව එනවා, මෙච්චර වෙලා ලැජ්ජාවෙන් මුහුණ වහන් හිටපු අයට දැන් ඔන්න එළියට එන්න පුලුවන් බුද්ධාගම බේරා ගන්න. මම දකින්නේ එහෙමයි.”

Divain boru 1024x912

 

මෙවැනි ක්‍රියා තුළින් ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය විය හැකිදැයි අප කළ විමසීමට පිළිතුරු දුන්  පුජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ කියා සිටියේ “ෂාෆි මව්වරුන් 4000ක් වඳ කිරීම කියන එක ඡන්දයෙන් පස්සේ ඉවර වුණානේ. ඒ නිසා මේකත් මම දකින්නේ එහෙමයි කියලා.”

“මේවා ඉබේ ඇතිවන දේවල් නෙමෙයි”

 

BJ

ගරු බෙනඩ්ක්ට් ජෝශප් පියතුමා

 

ඥානාර්ථ ප්‍රදීපයේ හිටපු කතෘ ගරු බෙනඩ්ක්ට් ජෝශප් පියතුමන් ද ප්‍රකාශ කළේ මෙය යම් කණ්ඩායමක ප්‍රයත්නයක් බවය. “මෙය යම් කණ්ඩායමක නැතහොත් යම් පිරිසකගේ ප්‍රයත්නයක්, මේ තියෙන ප්‍රශ්නවලට තව තවත් ගින්දර දාන්න”

පියතුමන් පෙන්වා දුන්නේ “මේවා නිකන් රටේ පවතින සමබරතාවයට, ඒත් එක්කම වාදභේද වලින් තොරව සමාජයේ පැවැත්මට පහර ගැහීමක්.”

ශ්‍රී දළදා මාලිගාවට අපහස කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බෙනඩික්ට් ජෝශප් පියතුමන් බීබීසි සිංහල සේවය සමග ප්‍රකාශ කර සිටියේ “ඒක  ඉතාමත්ම තුච්ච විදිහට පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. එක පුද්ගලයෙක් කිසිම හිරිකිතයක් නොමැතිව යොදා ගන්නා භාෂාව සහ කරන කියන දේවල් තුළින් මතුකරන්නට බලාපොරොත්තුවන පටලැවිලි සහිත චින්තනය අපි කවුරුත් පිළිකුලෙන් බලනවා පමණක් නොවෙයි, එවැනි දේ සම්පූර්ණයෙන් හෙලා දකින්නට ඔනේ.”

පියතුමා පෙන්වා දුන්නේ “මේවා මේ සැලසුම් සහගතව ඇතමුන්ගේ ප්‍රයත්නයන් හැටියට තමා සැළකිය යුතු වන්නේ.”

“අපි දැක්ක දෙයක් දෙයක් තමා අරගලය පුරා මේ දක්වා අප රටේ පැවතුණු ආගමික, ජාතික, භාෂාමය, කණ්ඩායම් හැටියට තිබිච්ච බෙදීම් සම්පූර්ණයෙන් නැති වෙලා, අපි සියලු දෙනාම එකම මිනිස් පිරිසකගේ පවුලක් හැටියට කටයුතු කරන ස්වරූපයක් දක්නට ලැබුණා. එය ලංකා ඉතිහාසයේ මෙතෙක්  නොතිබුණු ක්‍රමවේදයක්  හැටියට මා දකිනවා”. බෙනඩික්ට් ජෝශප් පියතුමන් අවධාරණය කළේය.

 

පියතුමා පෙන්වා දුන්නේ “මේ සියල්ලක්ම සැළකිල්ලට අරන් තමා ඔය දේවල් කඩා කප්පල් කරන්න කටයුතු කරන පිරිස් මේවගේ දේවල්වලට යොමු වන්නේ. මේවා ඉබේ ඇතිවන දේවල් නෙමේ. විටක අපිට හිතන්න පුලුවන් මේක විවිධාකාරයේ සිතුම් පැතුම් වලට නතුවී කටයුතු කරන දේශපාලනඥයින්ගේම ක්‍රමවේදයක් ලෙස. මොකද ඒ අය බලාපොරොත්තු වෙන්නේ රට ක්‍රමානුකූලව පවතිනවා දකින ඒක නෙමෙයි. ඒ අයට අවශ්‍ය කරන්නේ තම තමන්ගේ න්‍යාය පත්‍රයන්  ක්‍රියාත්මක කරගන්නට හොඳින් හෝ නරකින්. වැඩෙන් හෝ අවැඩෙන්.”

 

“අපි අනවශ්‍ය විදිහට මහා ලොකු බිල්ලෙක් මවාගෙන කටයුතු කරනවා වෙනුවට මේවගේ දෙවල් තිබුණත් කමක් නැහැ කියන ස්ථාවරයේ ඉඳගෙන අපේ ස්ථාවරය වඩවඩාත් ශක්තිමත්ව ගොඩනඟා ගෙන ඒ අනුව ජීවත් වීම තමා සිදුවෙන්නට ඕනේ.”

‌බෙනඩික්ට් ජෝශප් පියතුමන් පෙන්වා දෙන්නේ ‘මෙවැනි කණ්ඩායම් පහළ වුයේ අද ඊයේ නොවන’ බවයි.

“විවිධ ආගම් අදහන අය එම පිළිවෙලට අනුව ජීවත් වෙනකොට ඒ අයට අතැම් පිරිස් ඉතිහාසය පුරාම විවිධාකාරයේ අර්ථකන දෙමින්  එය අඩු තක්සේරු කිරීමට කටයුතු කරලා තියෙනවා.”

“අපි මොන විදිහට අර්ථ කථනය කළත් මිනිසා තුළ සහජයෙන් පවතින එක්තරා පිළිවෙතක් තියෙනවා. ඒතමා හෘද සාක්ෂියට අනුව එක්තරා ආකාරයට මිනිස්කම අභිබවන දේවත්වය වෙත යොමු වීම. ඒක ඒදත්, අදත් පවතිනවා.” බෙනඩික්ට් ජෝශප් පියතුමන් පෙන්වා දුන්නේය.

 

“නිරාගාමික අයට තමාගේ සිතුවිලි තමාගේ අපේක්ෂාවන්, තමා බලාපොරොත්තු වන දෙවල් ගැන කතා කරන්න තහංචි පනවන්න කාටවක් හැකියාවක් නැහැ. මිනිස්සු හැටියට තමාගේ නිදහසට අනුව තමා අපේක්ෂා කරන දේවල් කර කියා ගැනී‌මේ නිදහස තියෙනවා. ඒවගේම තමා යම් යම් විශ්වාසයක් මත පදනම්ව ජීවිත ගොඩනඟාගෙන ඉන්න අයගේ ආගම දහම කොයි විටකින්වත් විවේචනය කරන්නට හෝ අඩු තක්සේරු කිරීමට හෝ ආගම්වල තියෙන ගුණ ධර්මයන් අඩු තක්සේරු කරන්න බාල්ලු කරන්නට කොයිම ආකාරයකින්වත් කාටවත් ඉඩකඩක් නැහැ.” පියතුමන් අවධාරණය කළේය.

aragalayaksj

 

“අරගලය ආරම්භ කරද්දි අරගලය ගෙන යද්දි පැවති ක්‍රමවේදය කාටත් ආදර්ශමත් විදිහට සිදුවුණා. අපි දැක්කා කොයි විදිහට විනයානුකූලවද මේ අය කටයුතු කළේ, ආගමානුකූලව කොයි විදිහේ සිතුම් පැතුම් අපට තිබුණත් කිතුනුවන් හැටියට, බොදුනුවන් හැටියට, ඉස්ලාමීය ජනතාව හැටියට‌ අපි කොයිම වෙලාවකදිවත් අපේ පැත්තටම නැඹුරුවෙලා අපේ මතිමතාන්දර ගොඩ නඟා ගන්නවා වෙනුවට අපි ඒ සෑම දෙයක්ම පොදු ක්‍රියාදාමයන් වෙනුවෙන් පරිත්‍යාගශීලීව කටයුතු කළා.”

පියතුමන් පැවසුවේ “ගුරු කන්‍යා සොහොයුරියන්, පියවරුන්  කතෝලික සැදැහැවතුන් මොන තරම් අව්‍යාජව ඔනෑකමින් යුතුව මේ අරගලයේ යතාර්ථය අවබෝධ කරගෙන අපේක්ෂා කරන ප්‍රතිඵල ගන්න කොයි විදිහටද උත්සහ කළේ කියලා අපි දන්නවා”

“ඉතින් මේවා දකින කොට විරුද්ධවාදීන්ට දිරවන්නේ නැති දේවල් හැටියට තමා පේන්නේ. මේවා ඉඹේ සිදුවන දේවල් නෙමෙයි. බාහිරව නොතිබුණත් අළුයට තියෙන ගිනි පුපුරක් වගේ මේවගේ දේවල් තියෙනවා. මේවා සුදුසු වෙලාවේදී මතු කරන්න ඇතමුන් ක්‍රියාශීලී වෙනවා ඒක තමා යථාර්ථය” ජෝශප් පියතුමන් අවධාරණය කළේය.

gg

ආගමික මතවාද විවේචනය කරන්න අයිතියක් නැද්ද?

sandun t

මානව හිමිකම් ක්‍රියාකාරි සඳුන් තුඩුගල

ආගම් පිළිබඳව හෝ  මතවාදයන් පිළිබඳ කිසියම් පුද්ගලයෙකුට සිය අදහස් දැක්වීමට අයිතියක් තිබේද? යන්න පිළිබඳව සමාජ ක්‍රියාකාරීකයෙකු හා මානව හිමිකම් කේෂ්ත්‍රයේ කටයුතු කරන ක්‍රියාකාරිකයෙකු වන සඳුන් තුඩුගලගෙන් බීබීසි සිංහල සේවය කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල එවැනි අයිතියක් හා නිදහසක් ඇති බවය.

 

“එක පැත්තකින් ලංකාව වගේ රටක සහ විවිධ ආගම්, ඇඳහිලි සහ විවිධ ජාතීන් ඉන්න රටක අපි මොකක් හරි යම් අදහසක් ප්‍රකාශ කරනකොට ඒක අනෙකාට කොතරම් සංවේදීද  කියන එක සම්බන්ධයෙන් සහ  අනෙකාගේ  විශ්වාසයන්ට කොතරම් බලපානවද කියන එක සම්බන්ධයෙන් සැළකිලිමත් වීමේ වගකීමක් තිබෙනවා. අපේ අයිතිය සහ ඒකෙන්  යමෙකුට බලපෑමක් වෙනවද කියන එක සම්බන්ධයෙන් මනුෂ්‍යය සමාජය තුළ  අපි සැළකිලිමත් වෙන්න ඕනේ” ඔහු පැවසීය.

 

“පෞද්ගලිකව සේපාල කරපු වැඩේට මම එකඟ නැහැ. නමුත් ඒක පාවිච්චි කරමින් රාජ්‍ය බලය යොදවමින් මේක මර්දනය කිරීමට තැත් කිරීම ඒ ප්‍රශ්නය තවත් වෙන තැනකට ගෙනියන වැරදි ක්‍රියාවක් කියන එකයි මගේ අදහස.” ඔහු අවධාරණය කළේය.

“දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නම් මිනිහෙකුට අදහස් ප්‍රකාශ කරන්න නිදහස තියෙනවා. ඒක හරි හෝ වැරදි වෙන්න පුලුවන්. එතකොට ඉඩකඩ තියෙන්න ඕනේ අනෙක් ප්‍රජාවට හෝ ඒ සම්බන්ධයෙන් තමන්ගේ විවේචන ඉදිරිපත් කරමින් සාකච්ඡාව ඉදිරියට ගෙනි යන්න.”

“නමුත් ඒකෙදී රාජ්‍යය මැදිහත් වෙලා ඔහුව සිරකිරීම වැරදි පූර්වාදර්ශයක් වෙනවා කියන එකයි මගේ අදහස.”

 

“මොකද රාජ්‍ය තමයි තීරණය කරන්නේ මොකද්ද අපහාසය, නැද්ද කියලා. ඉතින් ඒක ඉතාම වැරදි පූර්වාදර්ශයක්. අපි මේකෙදි  සම්පූර්ණයෙන් 100% මේකට විරුද්ධයි. රාජ්‍යය මෙයාව සිරකිරීම සම්බන්ධයෙන්. අදහසට එකඟද නැද්ද කියන එක වෙනම කාරණයක්.”

 

ඔහු  පෙන්වා දුන්නේ මීට පෙර ඇතැම් බෞද්ධ ස්වාමීන් වහන්සේලාද අනෙක් ආගම් සම්බන්ධයෙන් විරුද්ධ අදහස් දක්වා ඇති බවය.

“අපි දන්නවා එක් රටක් එක් නීතියක් කොමිසමේ සභාපති හිමියන් විවිධ ප්‍රකාශ කරලා තියෙනවානේ. නමුත් උන්වහන්සේ සම්බන්ධයෙන් ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.”

ඔහු අවධාරණය කළේ “ එක් ආගමික මතවාදයක් හරි ජාතිවාදයක් ව්‍යාප්ත කිරීම සඳහා රජය පවතින නීතිය තමන්ට අවශ්‍ය ආකාරයට යොදා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්.”යනුවෙනි.

 

“සමාජය හැටියට අපි විරුද්ධ වෙන්න ඕනේ මේ නීතිය භාවිත කරලා සේපාල්ව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්. නමුත් ඒවගේ සමාජයක් ඇතුළේ අපි තුළ දියුණු සාකච්ඡාවක් තියෙන්නේ ඕනේ අනෙකාගේ විශ්වාසයන්ට ගරු කිරීම සහ අනෙකාගේ විශ්වාසයන් සම්බන්ධයෙන් සංවේදී වීම සම්බන්ධයෙන්. නමුත් එක සංවාදයක් තුළින් සහ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී කථිකාවක් ඇතුළෙන් වෙන්න ඕන එකක් මිසක් නීතිය ගෙනල්ලා යටපත් කරලා කරන්න පුලුවන් කාරණයක් නෙමේ.” ඔහු කියා සිටියේය.

 

සේපාල් අමරසිංහට අත්අඩංගුවේදී පහරදුන් බවටද චෝදනා එල්ල වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳුන් තුඩුගල පැවසුවේ “එවැනි පහරදීමක් වෙලා තියෙනවා නම් එක කොහොමටත් වැරදියි. සිරකරුවෙකුට මූලික අයිතිවාසිකම් ටිකක් තියෙනවා නේ. ඒ සම්බන්ධයෙන් අපිට කොහොමටත් එකඟ වෙන්න බැහැ. සිරකරුවෙක් කියන්නේ රාජ්‍ය භාරයේ ඉන්න කෙනෙක්. රාජ්‍ය භාරයේ ඉන්න කෙනෙක්ට පහරදීමක් වෙනවා නම් ඒකට රජය වගකියන්න ඕනේ. අනිවාර්යෙන් එකට විරුද්ධ ක්‍රියාමාර්ග ගන්න ඕනේ, පරීක්ෂණයක් කරන්න ඕනේ පැහැදිලිවම.”යනුවෙනි.

(මෙම ලිපිය BBC  සිංහල සේවයේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් – සංස්කාරක – theleader.lk )


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article