Friday, January 10, 2025

අවසානයේ ඇය ශෝකයෙන්ම මිය ගියාය.

Must read


ලෝකයේ් ශෝකී ම අලියා (the saddest elephant in the world) ලෙස ලොව හඳුනා ගත් ෆ්ලේවියා ඇතින්න තමන්ගේ 47 වසක ජීවිත කාලයෙන් 43 ක් ම ගෙවූ දකුණු ස්පඤ්ඤයේ කෝඩොබා සත්ව උද්‍යාන කුටිය තුළ දී පසුගිය මාර්තු පළමු වැනිදා මිය ගියා.

ඇය ලෝකයේ ශෝකී ම ඇතින්න බවට සත්ත්වවේදීන් විසින් නම් කෙරුණේ මේ දශක හතරකට අධික මුලු කාලය තට්ට තනිවම සිය ප්‍රදර්ශන කුටිය තුළ ගෙවා දැමීමේ ඛේදය විඳිමින් සිටි නිසයි. ලොව පුරා සත්ත්වවේදීන් ෆ්ලේවියා එම හුදෙකලාවෙන් මුදවා වෙනත් අලින් සමඟ ජීවත් විය හැකි තැනකට ගෙන යාමට අරගල කළ මුත් සත්වෝද්‍යාන බලධාරීන් ඊට ඉඩ දුන්නේ නෑ. මිනිසුන් භාරයේ සිටින අලියෙකු⁣ට ඇති එකම සහනය තමන්ගේ වර්ගයේ අනෙකුන් සමඟ මුහුවීමට ඇති අවස්ථාව පමණයි.

තනිකම නිසා ම තමන් පෙළුෑ අධික විෂාදයෙන් පීඩා විඳිමින් සිටි මේ සද්දන්තයා පසුගිය සිකුරාදා සිය කුටිය තුළ නැවත නැගිටින්න බැරි ලෙස ඇද වැටුණා. ඒ නිසා ම ඇයට වේදනාවෙන් තොර ‘මානුෂික’ මරණයක් (euthanized) අත් කර දීමට සත්වෝද්‍යානය පියවර ගෙන තිබුණා.

සත්වෝද්‍යාන සංකල්පයට ඇතැම් පිරිස් එරෙහි වුනත් සත්ත්ව සංරක්ෂණය වැනි කටයුතු සඳහා ඒවායින් වන මෙහෙය නො තකා හැරිය නොහැකියි. ඒත් 2016 වසරේ දී මුළු ලෝකයේ ම අවධානයට ලක් වූ හරාම්බේ (the silver black gorilla)ගේ සිද්ධියත් මේ සිද්ධියත් වාර්තා නොවන තවත් බොහෝ සිදුවීමුත් අපට බොහෝ පාඩම් උගන්වනවා. ඒ අනෙකා කෙරෙහි ඇති මිනිසාගේ නො සැලකිලිමත් බව ගොස් ඇති දුරයි.

ෆ්ලේවියා හුදෙකලාවේ ගැඹුරු ම පත්ල තුළ දශක හතරක් දුක් විඳිමින් දිනෙන් දින මරණය කරා ළඟා වෙද්දී එයින් ඇය මුදවා ගැනීමට උත්සාහ කළවුන්ට ඉඩ නො දුන් බලධාරීන් දැන් කියන්නේ ඇය නගරයේ ‘අයිකනය’ වූ බවත් මේ අහිමි වීම ශෝකයට කරුණක් බවත් ය.

මිනිසාගේ ආත්මාර්ථය සහ නොසැලකිල්ල නිසා සතුන් මෙන් ම අප අසල ම සිටින මිනිස්සුන් ද හුදෙකලාව දරා ගත නො හැකිව කඩා වැටී (collapse) සිය දුක අවසාන කර ගන්නවා.

මරණයේ ආලෝකයට වැද තනිකමේ තිත්ත අන්ධකාරයෙන් මිදුණු ෆ්ලේවියා, හැකි නම් පමණක් මිනිස් වර්ගයාට සමාව දෙන්න. ඔබට සුබ ගමන්!

සටහන – කල්පනා ඇම්බ්‍රොස්❤

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article