Monday, December 23, 2024

අධිවේගී මාර්ග හදිසි ගනුදෙනු සැක කටයුතුයි: ‘ආණ්ඩුව පාර්ලිමේන්තුව වහගෙන ආයෙත් මෙගාඩීල්වල’ – පාඨලි චම්පික

Must read

කොවිඩ් නිසා ආදායම අහිමි වූ ජනතාවට රු. 5,000 බැගින් කෝටි 850 ක් ලබාදෙන ආණ්ඩුව, එවැනි හතර ගුණයක් අධිවේගී මාර්ගයේකොන්ත්‍රාත්තුවක් හදිසියේ ලබාදීමට කටයුතු කරමින් නැවතත් මෙගාඩීල් දැමීමට කටයුතු කරමින් සිටින බවත්, එම තත්ත්වයන් ප්‍රශ්න කිරීමට ලක්කෙරෙන හෙයින් පාර්ලිමේන්තුව කැඳවීමට ක්‍රියා නොකරන බවත්  හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව නැවත කැඳවුහොත් මෙවැනි ගණුදෙණුවල ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය, තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තා, ටෙන්ඩර් කමිටු සංයුතිය වැනි දෑ ගැන ප්‍රශ්න කිරීමෙන් තමන්ට රිසි සේ මෙගා ඩීල්වලට යා නොහැකි බව දන්නා ආණ්ඩුව, මුල්‍ය බලය පවතින පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය කර තිබෙන බවද  හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘සමඟි ජන බලවේගය’ විසින් ඊයේ (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Sunday Times අනාවරණය :

චම්පික රණවක හිටපු අමාත්‍යවරයා අනාවරණය කල ‘මෙගා ඩීල්’ කතාවට පාදක වූ කරුණු ඇතුලත් විශේෂ අනාවරණය sundaytimes.lk හි පලවී ඇත. ඒ Cabinet approves borrowing of Rs. 31.7bn to kick start first stage of Central Expressway යන ශීර්ෂයෙන් යුතුවය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නාමිණි විජේදාස විසින් වාර්තා කර ඇති එම විශේෂ අනාවරණයේ සිංහල පරිවර්තනය සැකෙවින් මෙසේය.

 

‘මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ආරම්භ කිරීමට රුපියල් බිලියන 31.7  මුදලක් ණයට ගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය’

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා විදේශීය හෝ දේශීය මූලාශ්‍රවලින් රුපියල් බිලියන 31.7 ණය මුදලක් ලබා ගැනීම සදහා මහාමාර්ග අමාත්‍යාංශයට හා මාර්ග සංවර්ධන අධිකාරියට  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන සහ සිව්වන කොටස් (CEP III and IV)  සදහාද කහතුදුව සිට පැල්මඩුල්ල දක්වා ඇති රුවන්පුර අධිවේගී මාර්ගය සදහාද මත්තල සිට පොතුවිල් දක්වා දිවෙන නැගෙනහිර අධිවේගී මාර්ගය සදහාද ඇඳිරි නීතිය පනවා ඇති මොහොතක තෝරාගත් පාර්ශව සමග සකච්ඡා කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලැබී ඇත.

මෙවැනි සාකච්ඡා පැවැත්වෙන බවට මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ තෝරාගත් සීමිත නිලධාරීන් පිරිසක් පමනක් දැනුවත් වී සිටියි.

 

ව්‍යාපෘතිවලින් බහුතරයක් චීන අරමුදල්වලින් :

කිලෝමීටර් සිය ගණනක් හරහා ඉදිකෙරෙන නව මාර්ග සඳහා දේශීය හා විදේශීය මුලාශ්‍ර වලින් විශාල ණය ප්‍රමාණයක් ගැනීමට අවශ්‍ය වේ. අදාළ කැබිනට් පත්‍රිකාවට අනුව එම ව්‍යාපෘති වලින් බහුතරයක් චීන අරමුදල් වලින් සපයනු ඇති බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියි.

එම අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර සහ රුවන්පුර (රත්නපුර) අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු කිරීමට කැමති සමාගම් සදහා උනන්දුවක් දක්වන ප්‍රකාශන (expressions of interest) කැඳවනු ඇති බවට ප්‍රකාශ කර ඇති නමුත් බලයලත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටියේ මෙය හුදෙක් නොමග යවන සුළු ඉදිරිපත් කිරීමක් බවත් ඉදිකිරීම් කටයුතු කිරීමට නියමිත පාර්ශව දැනටමත් හඳුනාගෙන ඇති බවය.

 

යල් පැන ගිය ශක්‍යතා අධ්‍යයන මත :

Text 4ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 1930 ගණන්වල සිදුවූ මහා අවපාතයෙන් පසුව ඇතිවිය හැකි දරුණුතම අවපාතයක් ගැන පුරෝකථනය කර ඇති මොහොතක ඒ හරහා සිදුවන ඕනෑම ව්‍යාපෘතියක් යල් පැන ගිය ශක්‍යතා අධ්‍යයන මත පදනම් වීමට ඉඩ ඇති බව සදහන් වේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවන අදියරේ කඩවත සිට මිරිගම දක්වා කොටස සදහා යෝජිත රුපියල් බිලියන 31.7 ක මුදල එම ඉදිකිරිම් කටයුතු සදහා අදාළ ව්‍යාපෘතියේ බලමුලු ගැන්වීමේ අත්තිකාරම් මුදල වන අතර එය නොමැතිව එම අදියරේ වැඩ කටයුතු නැවතී ඇත.

2015 සහ 2016 දී මෙම අදියර සඳහා චීනයේ මෙටලර්ජිකල් සමගම (Metallurgical Corporation of China) වෙත කොන්ත්‍රාත්තු දෙකක් ප්‍රදානය කරන ලදී. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 990 කට වැඩි ණය මුදලක් ලබා ගැනීමට පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ දී චීනයේ එක්සිම් බැංකුව (EXIM BANK) සමඟ ගිවිසුමක් අත්සන් කරන ලදී. එහෙත් බලමුලු ගැන්වීමේ අරමුදල් රැස් කිරීමට රජය අපොහොසත් වූ නිසා එම  ව්‍යාපෘතිය නතර විය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර  – මිරිගම සිට කුරුණගල දක්වා කොටස සමාගම් 15 කින් සමන්විත දේශීය ඉදිකිරීම් සමුහයන් 4ක් විසින් ඉදිකරනු ලැබේ. එයට අරමුදල් සපයනු ලබන්නේ අයවැයෙන් සහ දේශීය බැංකු කිහිපයක් මගිනි. දැනට එහි 80% ක් පමණ කොටසක් රුපියල් බිලියන 96.6 ක වියදමින් සම්පූර්ණ කර ඇත.

 

තවත් රුපියල් බිලියන 40 ක් අවශ්‍ය වී තිබේ.

කෙසේ වෙතත්, මෙම වසරේ අගෝස්තු මාසය වන විට ව්‍යාපෘතිය නිම කිරීම සඳහා තවත් රුපියල් බිලියන 40 ක් අවශ්‍ය වී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර බැඳුම්කර හෝ ණයකර මගින් එම අරමුදල් රැස් කිරීමට බලාපොරොත්තු වේ. එසේම ඕනෑම මුල්‍ය හිඟයක් පියවා ගැනීම සඳහා දේශීය බැංකු වෙත යාමට අමාත්‍ය  මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇත.

”එසේම ඕනෑම මුල්‍ය හිඟයක් පියවා ගැනීම සඳහා දේශීය බැංකු වෙත යාමට අමාත්‍ය  මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇත.”

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර – පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස 2018 දී ජපානයේ තායිසෙයි සංස්ථාවට (Taisei Corporation) පිරිනමන ලද්දේ ජපානයේ මිට්සුබිෂි යූඑෆ්ජේ මූල්‍ය සමූහය (Mitsubishi UFJ Financial Group) ඒ සඳහා යෙන් බිලියන 100 ක ණයක් ලබා දෙනු ඇතැයි යන අවබෝධය මතය.

මිට්සුබිෂි යූඑෆ්ජේ මූල්‍ය සමූහය, නිපොන් ආයෝජන සහ අපනයන රක්ෂණ සමාගම (Nippon Investment and Export Insurance) සහ ශ්‍රී ලංකා රජය අතර සාකච්ඡා 2015 දී ආරම්භ වූ නමුත් කොළඹ නීතිපති දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවට (ERD) ඇතැම් වගන්තිවලට එකඟ විය නොහැකි බැවින් එම සාකච්ඡා අසාර්ථක විය.

නිදසුනක් වශයෙන්, නීතිපති දෙපාර්තමේන්තුව විසින් යෝජිත ගිවිසුමේ සටහන් වූ සමහර දූෂණ විරෝධී වගන්ති ශ්‍රී ලංකා නීතිවලට අනුකූල නොවන බව පවසා ඇත.

”කිලෝමීටර් 32.5කින් සමන්විත මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඇති සංකීර්ණ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය නිසා මෑත කාලයේ දී සිදු කරන ලද වඩාත්ම මිල අධික මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතියක් ලෙස හුවා දැක්විය හැක. ”

කිලෝමීටර් 32.5කින් සමන්විත මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඇති සංකීර්ණ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය නිසා මෑත කාලයේ දී සිදු කරන ලද වඩාත්ම මිල අධික මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතියක් ලෙස හුවා දැක්විය හැක.

ගම්මාන 97ක විහිදුනු අක්කර 1,162.5 කට වැඩි භුමි ප්‍රමාණයක ගෘහස්ත ඒකක 2,069ක (පුද්ගලයන් 8,465) වාසය කරන ජනතාවට මෙම අධිවේගී මාර්ගය මගින් ඍජු බලපෑමක් සිදුවනු ඇති අතර, ඉන් ගෘහස්ත ඒකක 857 ක් සඳහා ස්ථිර වශයෙන් වෙනත් තැනක පදිංචි වීමට සිදුවේ.

 

තවත් පාර්ශව හතරක් මෙම ව්‍යාපෘතිය සදහා උනන්දුවක් දක්වා ඇත:

දැන් තවත් පාර්ශව හතරක් මෙම ව්‍යාපෘතිය සදහා උනන්දුවක් දක්වා ඇත.

පළමුවැන්න එක්සත් රාජධානියේ ලියාපදිංචි උපදේශන සමාගමක් වන රවුටන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් (Roughton International Ltd) සමාගමයි.

මෙම සමාගමේ හිමිකාරීත්වය එම්.ජී. කන්සල්ටන්ට්ස් පුද්ගලික සමාගමේ (MG Consultants Pvt Ltd) කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් ගුණරත්න විසින් දරනු ලැබේ. (එම්.ජී. කන්සල්ටන්ට්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන සුදත් ජයසුන්දර, යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරයකුට අයත් Blue Diamonds Jewellery Worldwide Plc. සමාගමේ සභාපතිවරයා ද වේ)

Ranjith Sudath

 

චීන රසායනික ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව (CCESCC),

චීන ජාතික ගුවන් තාක්ෂණය (AVID-ENG) සහ

බීජිං නාගරික ඉදිකිරීම් සමූහ සමාගම (BUCG) අනෙකුත් පාර්ශව වේ.

 

තිරය පිටුපස ගනුදෙනු සිදු වෙමින් පවතින බව:  හිතාමතා කල සැලසුමක්!

තිරය පිටුපස ගනුදෙනු සිදු වෙමින් පවතින බව පෙන්නුම් කරමින් නිල ආරංචි මාර්ග සඳහන් කර සිටියේ රවුටන් සමාගම මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන අදියරේ සිට 4 වන අදියර වෙත මාරු වීමට “එකඟ” වූ බවයි. අදාළ කැබිනට් පත්‍රිකාවේ පවා සදහන් වුයේ, “නමුත් පසුව ඔවුන් 3 වන අදියර වෙනුවට 4 වන අදියර සඳහා මෙම පහසුකම ලබා දුන් බවයි.”

මේ අතර, CCESCC හෝ BUCG විසින් මූල්‍යකරණය සහතික කිරීමක් හෝ කොන්දේසි ඇතුලත් පත්‍රිකාවක් ඉදිරිපත් කර නොමැත. එමනිසා මෙම ව්‍යාපෘතිය කිරීමට ඉතිරිවන සමාගම් වන්නේ CATIC හෝ AVIC-ENG පමණක් වන අතර ආරංචිමාර්ග පෙන්වා දුන්නේ මෙය හිතාමතා කල සැලසුමක් බවය.

තායිසෙයි සංස්ථාව (Taisei Corporation) සමඟ ඇති කර ගත් ගිවිසුම් සහ MUFJ / NEXI සමඟ ඇති කරගත් මූල්‍ය ගනුදෙනු අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

 

යෝජනා කැඳවා නොමැත!

එසේම මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන අදියරෙහි සමස්ත කොන්ත්‍රාත් මිල සඳහා සියයට සියයක් මූල්‍යාධාර පහසුකම් සහිතව සිදු කිරීමට කැමති සියලුම අනාගත කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඒ සදහා යෝජනා ආකෘති  කැඳවීමට මහාමාර්ග අමාත්‍යාංශයට කැබිනට් මණ්ඩලය විසින් බලය පවරා ඇත.

එහෙත් තවමත් එවැනි යෝජනා කැඳවා නොමැති අතර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටියේ  CATIC සහ  AVIC-ENG සමාගම් සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බවයි. නමුත් නිශ්චිත පාර්ශවයකට පමණක් සුදුසුකම් ලැබෙන පරිදි අදාළ ලංසු සකස් වනු ඇතැයි දේශීය කොන්ත්‍රාත්කරුවන් බිය පළ කර සිටියහ.

කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන 4 වන අදියර සදහා 2016 දී චීනයේ ගැෂුබා සමූහ ජාත්‍යන්තර ඉංජිනේරු සමාගමට (Gazhouba Group International Engineering Co Ltd) රුපියල් බිලියන 161 ක (වැට් බදු හැර) පිරිවැයක්  ප්‍රදානය කරන ලදී. එහෙත් ඊට අවශ්‍ය අරමුදල් සොයාගැනීමට මුලාශ්‍රයක් නොමැති විය.

 

Roughton International විසින් මූලික යෝජනාවක්!

එක්සත් රාජධානියේ අපනයන මූල්‍යයෙන් අරමුදල් ලබා දෙන බවට පොරොන්දු වෙමින් රවුටන් ඉන්ටර්නැෂනල් (Roughton International) විසින් මූලික යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. “සමස්ත ඉදිකිරීම් කටයුතු දේශීය ඉදිකිරීම් සමාගම් වෙත පැවරීමට ඔවුන් යෝජනා කරනවා” යැයි කැබිනට් පත්‍රිකාවේද සදහන් වේ.

මීට අමතරව, CCESCC සහ CATIC (AVIC-ENG) සමාගම් විසින් යෝජනා ඉදිරිපත් කළ නමුත් මූල්‍යකරණය සහතික කිරීමක් හෝ කොන්දේසි ඇතුලත් පත්‍රිකා ඉදිරිපත් කර නැත.

එබැවින් කැබිනට මණ්ඩලය විසින් මහාමාර්ග අමාත්‍යාංශයට උපදෙස් දී ඇත්තේ රවුටන් සමාගමේ මුල්‍ය නියමයන් මුදල් අමාත්‍යංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ ඇගයීමට යටත්ව එම සමාගමෙන් සවිස්තරාත්මක තාක්ෂණික යෝජනාවක් ඉල්ලා එය කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවක් සහ යෝජනා පිලිබඳ සකච්ඡා කිරීමට පත් කරන ලද කමිටුවක් හරහා ඇගයීමට ලක් කර යුතු බවයි.

 

රුවන්පුර අධිවේගී මාර්ගය :

රුවන්පුර අධිවේගී මාර්ගය දැනට කොටස් තුනකට බෙදා ඇත. ඉංගිරිය හරහා කිලෝමීටර් 52.5ක දුරකින් සමන්විත කහතුදුව සිට රත්නපුර දක්වා කොටස පටන් ගැනීමට මහාමාර්ග අමාත්‍යාංශය යෝජනා කර ඇති අතර ඉතරි කොටස් අරමුදල් ලබා ගැනීමේ හැකියාව මත පදනම් වේ.

2016 දී කැබිනට් මණ්ඩලය විසින් රුවන්පුර අධිවේගී මාර්ගය කොටස්  හතරකට බෙදූ අතර සෑම කොටසක් සඳහාම එක් චීන පාර්ශවයක් තෝරා ගන්න ලදී.

එනම් චීන ජාතික තාක්ෂණික ආනයන හා අපනයන සංස්ථාව ( China National Technical Import and Export Corporation/ CNTIC),

කැටික්-එන්ජී (CATIC-ENG), හුනාන් ඉදිකිරීම් ඉංජිනේරු සමූහ සංස්ථාව ( Hunan Construction Engineering Group Corporation ) සහ

චීන වරාය ඉංජිනේරු සමාගම (China Harbour Engineering Company) වේ.

එහෙත් යෝජනා සඳහා ආරාධනා කරනු ලැබුවේ CNTIC සමගමට පමණක් වන අතර  අනිත් කොටස් සදහා කිසිඳු සමාගමකට ආරාධනා කර නොතිබුණි.

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමුවන කොටසේ පිරිවැය සඳහා සියයට සියයක් මූල්‍යාධාර ලබා දෙන ලෙස සීඑන්ටීසී (CNTIC) සමගම වෙතින් ඉල්ලා සිටීමට කැබිනට් මණ්ඩලය දැන් මහාමාර්ග අමාත්‍යාංශයට අනුමැතිය ලබා දී තිබේ.

එසේම දෙවන කොටස සඳහා අරමුදල් ලබා ගැනීම සඳහා මුදල් අමත්‍යංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවට බලය පවරා ඇති අතර දෙවන කොටසේ මුළු පිරිවැය සඳහා සියයට සියයක් මූල්‍යකරණ පහසුකම් සඳහා සියලු අනාගත කොන්ත්‍රාත්කරුවන්ගෙන් තරඟකාරී යෝජනා ඉල්ලා සිටීමට මහාමාර්ග අමාත්‍යාංශයට අනුමැතිය ලබා දී ඇත.

නැගෙනහිර අධිවේගී මාර්ගය (මත්තල සිට පොතුවිල් දක්වා) සම්බන්ධයෙන් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව හා බාහිර සම්පත් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර ශක්‍යතා අධ්‍යයනය, මූලික හා සවිස්තරාත්මක සැලසුම් සහ ඉදිකිරීම් සඳහා අවශ්‍ය අරමුදල් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය විසින් බලය පවරා ඇත.

මෙම ගනුදෙනු සම්බන්ධයෙන් පමහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර් ඩබ්ලිව් ආර් ප්‍රේමසිරි සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක විය.

 

පාර්ලිමේන්තුව නොකැඳවන රහස මෙන්න !

Highways

මෙසේ කඩිමුඩියේ සිදුකෙරන ව්‍යාපෘති සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසන්නේ, පාර්ලිමේන්තුව නැවත කැඳවුහොත් මෙවැනි ගණුදෙණුවල ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය, තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තා, ටෙන්ඩර් කමිටු සංයුතිය වැනි දෑ ගැන ප්‍රශ්න කිරීමෙන් තමන්ට රිසි සේ මෙගා ඩීල්වලට යා නොහැකි බව දන්නා ආණ්ඩුව, මූළ්‍ය බලය පවතින පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය කර තිබෙන බවයි.

ආණ්ඩුව විසින් හොර රහසේ ගහන මෙගාඩීල් වළක්වන්න හොඳම දේ පාර්ලිමේන්තුව නැවත කැඳවීම බව ඔහු අවධාරණය කර සිටියි.

 

 

 

 

(theleader.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article