Tuesday, January 7, 2025

අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගෙන් ධීවර ඇමැතිට උතුරෙන් දෝස්මුරයක්

Must read

whatsapp sharing button
( 1.30 pm  ) යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද උතුරු නැගෙනහිර දෙමළ ජනයා ආපසු පැමිණෙතැයිවිශ්වාස කළ නොහැකි බවට නව රජයේ අමාත්‍යවරයකු සිදු කළ ප්‍රකාශය, සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ගෙන යන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයට නායකත්වය සපයන දෙමළ මාතාවක් තරයේ හෙළා දැක තිබේ.අතුරුදහන් වූවන් තවමත් ජීවතුන් අතරද සිටිනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් සති අන්ත “වීරකේසරී“ පුවත්පතේ මාධ්‍යවේදියෙකු විමසු පැනයට පිළිතුරු ලබා දෙමින්  ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසා තිබුනේ ඔවුන්ගේ අතුරුදහන් වීම් වලට දසක එක හමාරකට වැඩි කාලයක් ගතව ඇති හෙයින් ඔවුන් ආපසු පැමිනෙතැයි විශ්වාස කළ නොහැකි බවයි.

 

“මෙවර මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පවා අපි පොරොන්දු වී තිබෙනවා අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්නය විසඳා ඒ සම්බන්ධ නඩු විභාග කර ඔවුන් නීතිය හමුවට පමුණුවන බවට. අතුරුදහන් වූවන්ට සිදුවූයේ කුමක්දැයි කිසිවකු දන්නේ නැහැ. බලපෑමට ලක් වූ පුද්ගලයින්ගේ ශාරීරික තුවාල සඳහා බෙහෙත් දෙන්න පුළුවන්. නමුත් හිතේ තුවාල වලට බෙහෙත් දාන්න බැහැ. යුද්ධය අවසන් වී වසර 15ක් ගත වෙලා තියනවා. ඒ නිසා අතුරුදහන් වූවන් යළි එයි කියලා විශ්වාස කරන්න බැහැ.”

නොවැම්බර් 24 වැනි ඉරිදා  “වීරකේසරී“ පුවත්පතේ පළවු අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ එම  ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ (ARED) ලේකම් ලීලාදේවි ආනන්දනඩරාජා මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ, දින 2837 ක් පුරා අඛණ්ඩව තම සමීපතමයන් සොයමින් සිටින යුද වින්දිත දෙමාපියන්ට ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් මහත් කම්පනයක් ඇති කළ බවයි.

“වසර 15ක් තිස්සේ අතුරුදහන් වුවන් අතුරුදහන් තමයි, එයාලා නැහැ කියන ඒකයි එයා කියන කතාවේ තේරුම. අපේ ඥාතීන්ව සොයමින් ඉන්න අපිට මේ ප්‍රවෘත්තිය හද කම්පාවක් ඇති කරා. අපි අවුරුදු 15ක් මේ දරුවන් වෙනුවෙන් සටන් කරනවා කියලා කියනවාටත් වැඩිය දවස්  2837ක් දිගටම අරගලයේ ඉන්නවා. මේ අරගලයට සහභාගී වු දෙමාපියන් 300කට වැඩි පිරිසක් මිය ගිහිල්ලා තියනවා. එහෙම උනත් අපි මේ අරගලය දිගටම කරගෙන යනවා.”

තම සමීපතමයන් සොයමින් සිටින දෙමාපියන්ගේ මානසික තත්වය ගැන නොදන්නා අමාත්‍යවරයකු සිදු කළ ප්‍රකාශය ඔවුන්ට මානසික පීඩනයක් බව පෙන්වා දෙන ලීලාදේවි ආනන්දනඩරාජා අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දැක තිබුනේ පහත අයුරිනි.

 

“මේ අම්මලා තාත්තලා බිරින්දෑවරුන්ගේ මානසික තත්වය  ගැන නොදන්නා දෙමළ ඇමැතිවරයකු මෙසේ සඳහන් කිරීම හද කම්පා කරවන්නක්. අපි දැනටමත් කම්පනයට පත්වෙලා ඉන්නේ. අවුරුදු 15ක් තිස්සේ අපේ ඥාතීන්  ගැන හොයලා බලලා කොච්චර මානසික පීඩනයක්, කායික ශක්තියක් නැති වෙන්න ඇතිද?.  ඒ නිසා අපි මේ ඇමැතිවරයාගේ මේ ප්‍රකාශය තරයේ හෙළා දකිනවා.”

සරසවි සිසු විරෝධය

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රශ්න කරන යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයකු අමාත්‍යවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂය ආයුධ සන්නද්ධ සංවිධානයක් ලෙස කටයුතු කළ සමයේ ක්‍රියාකලාපය ද මතක් කර දෙමින් පවසා ඇත්තේ ඔහුගේ පක්ෂය විසින් සිදු කළ විනාශයන්ද එළි වෙතැයි සිතා අමාත්‍යවරයා එවැනි ප්‍රකාශයක් සිදු කරන්නට ඇති බවයි.

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද දෙමළ ජනයා ආපසු පැමිණෙතැයි විශ්වාස කළ නොහැකි බවට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ‘වීරකේසරී’ පුවත්පතට සිදු කළ ප්‍රකාශය ප්‍රශ්න කරන යාපනය විශ්වවිද්‍යාලයේ කළා පීඨ  ශිෂ්‍ය සංගමයේ සභාපති මනෝහරන් සෝමපාලන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ, අමාත්‍යවරයා මුලින්ම කළ යුත්තේ ඔවුන්ට අත්වු ඉරණම හෙළි කිරීම බවයි.

“අතුරුදහන් වූවන් අතුරුදහන්ම තමයි, කියනවානම් මේ අතුරුදහන් වූවන්ට සිදුවූයේ කුමක්දැයි ඔබ මුලින්ම කියන්න ඕන. මම මෙය හඳුන්වන්නේ කලා පීඨ ශිෂ්‍ය සංගමයෙන් ඔබ්බට වගකිවයුතු පුරවැසියෙකු ලෙසයි. අතුරුදන් වූවන්ට යම්කිසි දෙයක් වෙලා තියනවා නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු දාන්න පුළුවන්. එහෙම නඩුවක් දැම්මොත් ඒකට සම්බන්ද අයව විත්ති කුඩුවට නග්ගන්න පුළුවන්.”

“එයා ඉන්න පක්ෂයත් 2009 ට පෙර වර්ග සංහාරයක් සිදු කළ පක්ෂයක් තමයි. ඉතින් තමන්ගේ වර්ග සංහාර විෂයත් එළියට එයි කියලා හිතලා එතුමා ඒක කියලා ඇති. ” මනෝහරන් සෝමපාලන් වැඩි දුරටත් කියා ති‌බේ.

දාහතරක් ජීවතුන් අතර

හත් අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන යන අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය, දස දහස් සංඛ්‍යාත පැමිණිලි ගණනක්  විභාග කිරීමෙන් පසු දාහතර දෙනකු ජීවතුන් අතර සිටින බව පසුගියදා  සොයාගෙන තිබුනි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) සාමාජික තම්බයියා යෝගරාජා 2024 නොවැම්බර් මාසයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුනේ නමුත්  ඔවුන් සම්බන්ධයෙන් මේ මොහොතේ තොරතුරු හෙළි කිරීමේ හැකියාවක් නොමැති බවයි.

“පුද්ගලයන් 17 දෙනකුගේ ඉරණම අපේ කාර්යාලය විසින් තහවුරු කරගෙන තිබෙනවා. මේ අතරින් තුනක් මියගිහින්. ඉතිරි 14 දෙනා සම්බන්ධ තොරතුරු අප විසින් එක්රැස් කරගෙන තිබෙනවා. මේ 14 දෙනා ජීවතුන් අතර ඉන්නා බව සොයාගෙන තිබෙනවා. එහෙත්, මේ වෙලාවේ එම තොරතුරු හෙළි කරන්න පුළුවන් තත්වයක් නැහැ. අදාළ පුද්ගලයන්ගේ කැමැත්ත ලබාගෙන, අවශ්‍ය පියවර ගත්තට පස්සේ අපි අදාළ තොරතුරු නිකුත් කරන්නම්.”

OMP නියෝජිත තම්බයියා යෝගරාජා කිලිනොච්චියේදී තවදුරටත්  දැනුම් දී තිබුනේ සිය කාර්යාලයට මේ වන විට අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය විසි එක් දහස ඉක්මවා ඇති බවයි.

“අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට මේ වනවිට අයදුම්පත් 21,630ක් ලැබිලා තියෙනවා. මේ අතරින් අයදුම්පත් හා ලිපිගොනු14,988ක් ගැන පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා. ඒ පොලිසිය හා සන්නද්ධ අංශවලින් ලැබුණු පැමිණිලි සහ අනු පිටපත්වලට අමතරවයි. සිද්ධි 6,788ක මූලික පරීක්ෂණ සිදුකර හමාරයි. එක පැමිණිලිකරුවකුට රුපියල් ලක්ෂ දෙක බැගින් පුද්ගලයන් 3,800 කට වැඩි පිරිසකට අතුරු සහන ලබාදී තිබෙනවා. ”

අතුරුදහන් වුවන් සදහා දක්නට නොමැති බවට වන  සහතික 3000 ට අධික ප්‍රමාණයක් නිකුත් කිරීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඔහු එහිදී හෙලි කර තිබුනි.

අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට  හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති සමයේ 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අසමත් වීම සම්බන්ධයෙන් බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් එම සංගමයේ ක්‍රියා කලාපය දිගින් දිගටම දැඩි ලෙස විවේචනය කරමින් සිටී.

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article