Tuesday, November 26, 2024

හරීන් නිහඬව, සජිත්ගේ වේදිකාවෙන් බැස ගියේ ඇයි?

Must read

සජිත් ප්‍රේමදාස මහතාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සහ නායකත්වයට ගෙන ඒමේ සටන මෙවර දියත් කරන ලද්දේ හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙනි. පක්ෂයේ ප්‍රතිසංවිධාන ඉල්ලා ගෙනගිය සටන තුළ මෙන්ම 2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළිය අස්සේ පවා, ඊට එරෙහිව සටනේදී පවා සජිත්ගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් හරීන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විය.

සජිත් වෙනුවෙන් මැරෙන්නත් සූදානමින් සිටි හරීන් කෝ ? 

සජිත්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඉල්ලමින් පළමු රැළිය පැවැත්වූයේ ද හරීන් ය. ඒ තමන්ගේ දේශපාලන බලකොටුව වූ බදුල්ලේදීය. හරීන් තම දේශපාලන ප්‍රතිරූපයට පවා හානි කරගනිමින් සජිත් වෙනුවෙන් පෙනී සිටියේය. සජිත් වෙනුවෙන් වේදිකාවල උද්වේගතරම කතා කළේ හරීන්ය. සජිත්ට අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව පවා ඔහු නිවේදනය කළේය.

අවසාන වශයෙන් පසුගිය 10 වනදා පැවති සජිත් – රනිල් හමුව අතිශයින්ම සාර්ථක බවටත් ඊළඟ දින කිහිපය තුළ සජිත්ව අපේක්ෂකයා වශයෙන් නම් කෙරෙන බවටත් අතේ රෝල් බොරුවක් පවා ඔහු එදින මහ රෑ සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරණය කළේය. දින කිහිපයක් තුළ සජිත්ට අපේක්ෂකත්වය ලැබීම කෙසේවෙතත් එදා සිට හරීන් සජිත්ගේ දේශපාලන ව්‍යාපෘතිය තුළ පෙනෙන්නට නම් නැත !

නිතර දෙවේලේ මාධ්‍ය සමඟ ගනුදෙනු කරමින් සජිත් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කළ හරීන් අද නිහඬය. ඔහුගේ සමාජ මාධ්‍ය ජාල පිටුවල පවා සජිත්ගේ සටන ගැන කිසිදු කතාවක් නැත. ඇත්තෙන්ම පසුගිය 10 වනදා සිට ගෙවුණු සතිය යනු සජිත් පාර්ශ්වයට ඉතාම තීරණාත්මක එකක් වූ බව අමුතුවෙන් කියයුතු කරුණක් නොවේ. රනිල් – සජිත් හමුවෙන් අනතුරුව පැවති මංගල, කබීර්, රාජිත හමුව, සුළු පක්ෂ නියෝජිතයින් සමඟ හමුව, දෙමළ ජාතික සන්ධානය සමඟ හමුව, ඊයේ (17) පැවති මාධ්‍ය හමුව යනාදී වශයෙන් සජිත් පිලට අතිශයින් කාර්යබහුල සතියක් ගෙවුණුමුත් සජිත් පිලේ ප්‍රධාන සටන්කරුවා වූ හරීන් ඒ එක් තැනකවත් පෙනෙන්නට සිටියේ නැත. වඩාත් නිවැරදිව කිවහොත් ඒ එකකටවත් හරීන්ව සහභාගී කරවාගෙන තිබුණේ නැත.

එදා හරීන්ලා කළ කාර්යභාරය වෙනුවෙන් අද ආදේශ වී සිටින්නේ මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ මංගල සමරවීර ත්‍රිත්වයයි.

මලික්

මලික් සමරවික්‍රම මහතාව පක්ෂයට ගෙනාවේත් දේශපාලනයේ මෙලෝ මළ දානයක් නොදන්නා ඔහුව පක්ෂ සභාපති කරවූයේත් රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මලික් කෙරෙහි පක්ෂය තුළ එදා පටන්ම දැඩි විරෝධයක් පැවතුණි. දේශපාලනයට වඩා තමන්ගේ කූඨ ව්‍යාපාරික කටයුතු ගැන සිතන, ඒ ව්‍යාපාරික වුවමනාවන් වෙනුවෙන් දේශපාලනය මෙහෙයවන පුද්ගලයකු ලෙස මලික් පක්ෂය විසින් හඳුනාගෙන තිබුණු අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව සහ එජාපය විනාශ කරන්නෙකු ලෙසය එදා ඔහුව හැඳින්වුණේ.

මලික්ට පක්ෂ සභාපති ධුරය අහිමි කෙරුණේ ද පක්ෂ ප්‍රතිසංවිධාන ඉල්ලා හරීන්ලා පක්ෂය තුළ ගෙනගිය සටන නිසාය. එවන් මලික් සමරවික්‍රම සජිත් පාර්ශ්වයේ කැරලි නායකයා වෙද්දී කලිසමක් හැඳගෙන ඔහු සමඟ එකට සිටගැනීමේ අපහසුතාවක් හරීන්ට ඇතිවීම ස්වභාවිකය. මන්දයත් මොනවා වුණත් හරීන් දේශපාලනයේදී අවංකයකු නිසාය.

සජිත්ව හැකි ඉක්මනින් අපේක්ෂකයා ලෙස නම් කරවා ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා මලික්ට ලබාදුන් දුරකථන ඇමතුම් ගැන විස්තරත් එළියට පැමිණි පසු තත්වය තවත් සංකීර්ණය.

කබීර්

කබීර් හෂීම් ජාතික සමඟියේ සංකේතයක් ලෙස පක්ෂය තුළ පෙනී සිටින්නට උත්සාහ ගත්ත ද ඔහුත් හතර අතේ ඩීල් දමන්නෙකු බව හෙළිවූයේ මෑතකදීය. ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරුන් සියලු දෙනාම ඉල්ලා අස්වී සිටියදී කබීර් අගමැතිටත් නොදන්වා රහසින්ම ගොස් ජනපති හමුවී යළි තනතුරේ දිවුරුම් දීම පක්ෂය තුළ දැඩි කැළඹීමක් ඇති කර තිබුණේ ඔහු පක්ෂ සභාපති තනතුරත් දරණ නිසාය. ඊට අමතරව ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා ද හමුවී රහස් සාකච්ඡාවක් පවත්වා තිබුණු අතර ඉතාම මෑතකදී තම අමාත්‍යාංශ විෂය පථයෙන් ඛනිජ තෙල් විෂය ඉවත් නොකරන ලෙස ජනාධිපතිවරයා හමුවී ආයාචනයක් ද සිදුකර තිබිණි. ඒ, ඛනිජ තෙල් විෂය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පැවරීමට පක්ෂය තීරණය කර තිබියදීය. පක්ෂය තුළ ප්‍රශ්නය බේරාගන්නවා වෙනුවට ඔහු කර තිබුණේ ජනාධිපති නිලනිවස වෙත දිව යාමය.

තමන්වත් පැත්තකට තල්ලු කරගෙන මෙවන් ඩීල්කාරයෙකු සජිත් ළඟින්ම හිටගන්නා විට හරීන්ට විලි ලැජ්ජාවක් ඇතිව එතැන සිටින්නට නොහැකි බව ඇත්තය.

මංගල 

මංගල සමරවීර යනු මීට මාස දෙකකට පෙරත් උග්‍ර රනිල් වාදියකු ලෙස පෙනී සිටියෙකි. මංගල මේ වනවිට තමන්ගේ 30 වසරක ලිබරල් දේශපාලන ඉතිහාසයටම පයින් ගසා ඊට සහමුලින්ම වෙනස් ප්‍රතිපත්ති ඇති සජිත් වෙනුවෙන් පෙනී සිටී. මේ හදිසි වෙනස පුදුම සහගතය.

එමෙන්ම ඔහුටත් ජනාධිපතිවරයා සමඟ අතිශය සමීප සබඳතාවක් තිබේ. වෙනෙකක් තබා මුදල් විෂය ගැන කිසිවක් නොදන්නා මංගල මුදල් අමාත්‍ය තනතුරට පත්වුණේ ද ජනපතිගේ හොඳහිත නිසාය. අනෙක් අතින් මංගල යනු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ දීර්ඝ කාලීන දේශපාලන විශ්වාසවන්තයාය. චන්ද්‍රිකා මේ වනවිට යළිත් ශ්‍රීලනිපය තුළ තීරණාත්මක චරිතයකට පණ පොවමින් සිටී.

මංගල සමරවීර මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවට බිහිවූ ඉහළම දේශපාලන ගේම්කාරයකු බව රටම දනී.

එහෙයින් අතිශය සැකසහිත ලෙස ක්ෂණිකව සජිත්වාදියකු බවට රූපාන්තරණය වූ මංගල සමරවීර මහතා සමඟ ද එකට සිට ගැනීමට එජාප දේශපාලනය බොක්කෙන්ම කරන හරීන්ට අමාරුය.

වෙනෙකක් තබා ඊයේ පැවති සජිත්ගේ මාධ්‍ය හමුවට සහභාගී වී සිටියේ කබීර්ගේ ඇමතිකම වෙනස් නොකරන්නැයි ආයාචනා කිරීමට ජනාධිපතිවරයා හමුවූ මලික්, කබීර්, මංගල, රංජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රාණි බණ්ඩාර යන පස් දෙනාය. එනම් පක්ෂයේ ප්‍රශ්න පක්ෂය විනාශ කිරීමට බලා සිටින පරම සතුරා වන ජනපතිගේ දෙපා මුල තබා විසඳුම් සොයන පස් දෙනාය.

අවංකව දේශපාලනය කරන හරීන්ට මෙතැන ඉන්නට අමාරු බව අමුතුවෙන් කිවයුතු නැත. මඟක් පැමිණි ගමන දිගේ හරීන් ඉදිරියට යාවිද නැද්ද අප නොදන්නා නමුත් දැනට ඔහු නිහඬය. ඒ නිහැඬියාවට හේතු ඉහත ආකාරය. තේරුම් ගැනීම එජාප සාමාජිකයින්ට බාරය.

[LNW]

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article