රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුත් මනුෂ්‍ය ශරීරයට අහිතකර රූපලාවණ්‍ය ආලේපන තොගයක් ඊයේ (15) අත්අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීම සිදුකර ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ඒකාබද්ධව වන අතර පිටකොටුව වේල්ලවීදියේ මහල් නිවාස සංකීර්ණය අසල තිබූ වෙළෙඳ සලකින් මෙම රූපලාවන්‍ය ආලේපන තොගය අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. පාකිස්තාන ජාතිකයකු විසින් මෙම වෙළෙඳසල පවත්වාගෙන ගොස් ඇති බවද එහිදී අනාවරණය වී තිබේ.
මෙම රූපලාවණ්‍ය ආලේපන නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වා ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක පවසයි.