වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි නඩුව පසුගිය 11 දා අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී මහේස්ත්රාත්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද විත්තියේ නීතිඥයින් එහිදී පැමිණිලි කිරීමට අපේක්ෂා කරයි.
එහිදී නඩුවේ පැමිණිලි පාර්ශවයේ හෝ විත්ති පාර්ශවයේ හෝ අගතියට පත් පාර්ශ්වකරුවකු නොවූ ‘පොහොට්ටු’ පක්ෂයේ ආධාරකරුවකු වන කුරුණෑගල රෝහලේ අධ්යක්ෂ සරත් වීරබණ්ඩාර නමැති දන්ත වෛද්‍යවරයාට පෙර නඩු වාරයේ දී අධිකරණය ඇමතීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් ද චෝදනා කිරීමට විත්තියේ නීතිඥවරුන් සුදානම් වේ.
වෛද්‍ය සාෆිට එරෙහි මෙහෙයුමක් දියත්කර ඇති දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර සහ අතුරලියේ රතන මන්ත්‍රී භික්ෂුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව අධිකරණයට වාර්තා කළද ඒ පිලිබඳ කිසිදු පියවරක් නොගැනීම ද විත්තියේ නීතිඥයින්ගේ කනස්සල්ලට හේතුවී තිබේ.
මහේස්ත්‍රාත් කැමැති වෛද්‍ය කණ්ඩායමක් !
එසේම, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කළ පරීක්ෂණ කණ්ඩායම අවලංගු කර මහේස්ත්‍රාත් කැමැති වෛද්‍ය කණ්ඩායමක් නම් කිරීම සම්බන්ධයෙන් ද විත්තියේ නීතිඥයින් අධිකරණ සේවා කොමිසම හමුවේ කරුණු දැක්වීමට යයි.
සෞඛ්‍ය අමාත්‍යාංශ පරීක්ෂණ කණ්ඩායමද විශේෂඥ වෛද්‍යවරුගෙන් සමන්විත වූවක් වන අතර ඔවුන් පිලිබඳ නඩුවේ දී කිසිදු පාර්ශවයක විවේචනයක් එල්ල වී නොතිබුන බවත්, අලුත් පරීක්ෂණ කණ්ඩායමක් පත් කරන්නැයි කියා කිසිදු පාර්ශවයකින් විනිසුරුගෙන් ඉල්ලීමක් කර නොතිබුන බවත් ‘ලංකා ඊ නිව්ස්’ වෙබ් අඩවිය වාර්තා කරයි.
අනෙක මහේස්ත්‍රාත්වරයා ඒ නියෝගය දුන්නේ පෙර සූදානම් කර තිබූ මුද්‍රිත ලියැවිල්ලක් මගින් බවත්, ඉන් ගම්‍ය වන්නේ මහේස්ත්‍රාත් නඩුව විමසීමට පෙරදීම තීන්දුවකට සූදානම්ව හිඳ ඇති බවත්, එවැන්නක් කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලයක් නැති බවත් එය බරපතල විෂමාචාර ක්‍රියාවක් බවත් එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
සාෆිගේ බිරිඳ සමග ඇතිකර ගත් කෝන්තරයක් ද ?
වෛද්‍ය සෆිගේ බිරිඳ වන වෛද්‍ය නසීර් ෆාතිමා ඉමාරා
මහේස්ත්‍රාත්ගේ බිරිඳ වන හිරෝෂිනී ජයසිංහ හේවාවසම් මෙන්ම, වෛද්‍ය සෆිගේ බිරිඳ වන වෛද්‍ය නසීර් ෆාතිමා ඉමාරා ද කුරුණෑගල රෝහලේ වෛද්‍යවරියන් වේ. එසේම සිංහල බෞද්ධ කාන්තාවන් 4000ක් වඳභාවයට පත්කර ඇතැයි වෛද්‍ය සාෆිට එරෙහිව චෝදනා කරමින් පුවතක් නිර්මාණය කර රට ගිනි තැබීමට කටයුතු කළ කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්ගේ බිරිඳ ද එම රෝහලේම වෛද්‍යවරියක් වීම විශේෂිත කරුණකි.
නියෝජ්‍ය පොලිස්පතිගේ බිරිද මෙන්ම මහේස්ත්රාත්වරයාගේ බිරිඳ ද වෛද්‍ය සාෆීගේ බිරිඳ සමග අමනාපයකින් පසුවී ඇතැයි මේවනවිට වාර්තා වේ.
චෝදනා ඉවත් කිරීමෙන් පසුත් රිමාන්ඩ් කිරීම :
වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි නඩුව පසුගිය 11 දා අධිකරණයට ඉදිරිපත් කරද්දී ඔහුගේ රඳවා ගැනීමේ නියෝග ඉවත් කර තිබිණ. කෙසේවුවද ඔහුට එරෙහි කිසිදු චෝදනාවක් සනාථවී නැතයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියද සාෆි තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කුරුණෑගල පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධාන අනුව ආරක්ෂක ඇමැතිවරයා වූ ජනාධිපතිවරයාගෙන් ලබාගත් දින 90 රැදවුම් නියෝග මත රහස් පොලිසිය මාස එක හමාරක පමණ කාලයක් විමර්ශන සිදු කළේය.
එහෙත් කුරුණෑගල පොලිසිය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නගා තිබූ චෝදනා සනාථ කෙරෙන කිසිම සාක්කියක් අනාවරණය නොවන බවත්, එම චෝදනා මත වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවත් රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය. පසුගිය ජුනි 27 නඩු දිනයේ දී රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ මෙසේ සඳහන් වෙයි. (උපුටා ගැනීම බී වාර්තාවෙනි)
”ඉහත කරුණු සැලකිල්ලට නැගීමේදී සැකකාර වෛද්‍ය සාෆි මේ වන විට 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනතේ වගන්ති 9(1)යටතේ 2019.05.27 වන දින සිට දින 90 රැඳවුම් නියෝගයක් ලබාගෙන විමර්ශන සිදුකරමින් පවතී. සැකකරු තවදුරටත් මෙම පනත යටතේ රඳවා තබාගනිමින් විමර්ශන කිරීම යුක්ති සහගත නොවන බැවින් ඉදිරියේදී මේ සම්බන්ධව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා දැනුවත් කර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව ගරු අධිකරණය වෙත ගෞරවයෙන් වාර්තා කරමි.”
ඉන් පසු රහස් පොලිසිය ජූලි 11 නඩු දිනයේ දී අධිකරණයට වාර්තා කළේ වෛද්‍ය සාෆිගේ රැඳවුම් නියෝග අත්හිටවූ බවයි. එය මෙසේ වාර්තා කර තිබේ. (උපුටා ගැනීම බී වාර්තාවෙනි.)
”මෙම විමර්ශනයට අදාලව රැඳවුම් නියෝග මත රඳවා සිටින සේගු සිහාබ්දීන් මොහොමඩ් සාෆි 1978 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත යටතේ අපරාධ චෝදනා අනාවරණය නොවූ බැවින් ඒ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තුමා වෙත වාර්තාවක් යොමු කරමින් සේගු සිහාබ්දීන් මොහොමඩ් සාෆි යන සැකකරුවMOD/LEG/PTA/234/19 යටතේ 2019.05.27 වන දින සිට ලබාගෙන තිබූ රැඳවුම් නියෝගය තවදුරටත් එම පනත යටතේ ඇති අපරාධයන්ට අදාලව අනාවරණය වී නොමැති බැවින් ලබාදී තිබූ රැඳවුම් නියෝග අවලංගු කර දෙන ලෙස 2019.07.05 වන දින ඉල්ලීමක් කර ඇත.”
”ඒ අනුව ආරක්ෂක අමාත්‍ය වන ගරු ජනාධිපතිතුමා විසින් අදාල රැඳවුම් නියෝගය අවලංගු කර ඇති බව ගරු අධිකරණ වෙත වාර්ථා කරමි. ඒ අනුව ඉහත නම සඳහන් වෛද්‍ය සේගු සිහාබ්දීන් මොහොමඩ් සාෆි යන අය ත්‍රස්තවාදී පනත යටතේ නගා ඇති චෝදනාවලින් නිදහස් කරන බව වාර්තා කරමි.”
”ඉහත සැකකරුට විරුද්ධව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සැකකරු විසින් සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු පැමිණිලි 615ක් ලැබී ඇති අතර එම පැමිණිලිවලින් 468ක් ලැබී ඇත්තේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් සැකකරු විසින් සිංහල අම්මාවරුන් වඳ භාවයට පත් කර ඇති බවට පල වීමෙන් පසු ඔවුන්ටත් එවැනි හානියක් සිදු කර තිබේද යන්න පරීක්ෂා කිරීම උදෙසාය. ඉතිරි පැමිණිලි 147 පැමිණිලි කර ඇත්තේ එම මව්වරුන් දරුවන් අපේක්ෂාවෙන් කටයුතු කළත් දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවූ බවයි. ඒ අනුව මෙම විමර්ශනය ඇසින් දුටු සාක්සි හා විද්‍යාත්මක සාක්ෂි මත ක්‍රියා කළ යුතු බැවින් ඉදිරියේදී වාර්තා වන ඇසින් දුටු හා සිදු කරන විද්‍යාත්මක පරීක්ෂණවලින් අනාවරණය කරගන්නා වූ සාක්ෂි ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට විරුද්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත. දැනට මෙම පරීක්ෂණය ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ වගන්ති 311 යටතේ විමර්ශනය කරන බව ගරු අධිකරණය වෙත දන්වා සිටිමි.”
එනම් සාෆිට එරෙහිව තිබූ චෝදනා ඉවත් කළ අතර සාෆි ජූලි 11 වැනිදා රහස් පොලිසියෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ සැකකරුවකු වශයෙන් නොවේ. ඔහුට එරෙහිව පැමිණිලි කළ ද මෙතෙක් කළ විමර්ශනවලින් කිසිවක් අනාවරණය වී නැත. රහස් පොලිසිය දැනුම් දුන්නේ අනාවරණය වුවහොත් ඉදිරි කටයුතු සිදු කරන බවයි.
මිනී මැරුමකට යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට නම් යම් පුද්ගලයකු මිය ගොස් ඇති බව මුලින් සනාථ විය යුතු අතර එම පුද්ගලයා මිය ගොස් ඇත්තේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයාගේ ක්‍රියාවක් හේතුවෙන් බවට සාක්කි තිබිය යුතුය. දණ්ඩ නීති සංග්‍රහ පනතේ 311 යටතේ බරපතල තුවාල සිදුකිරීමට වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගැනීමට නම් කාන්තාවන්ගේ පැලෝපීය නාලවලට හානියක් සිදු කර ඇතැයි මුලින් අනාවරණය කරගෙන සිටි යුතු අතර ඉන් පසු එම හානිය කළේ සාෆි විසින් බව අනාවරණය කර ගත යුතුය. එසේ නැතිව එම චෝදනාවට වෛද්‍ය වරයා අත්අඩංගුවට ගත නොහැකිය.
රතන භික්ෂුව නිලධාරීන්ට තර්ජනය කිරීම සහ වීරසේකර රාජකාරියට බාධා කිරීම..!
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය නඩු වාරයේදී එනම් ජූලි 11 වැනි දා තවත් වැදගත් කාරණා දෙක්ක ගැන අධිකරණයට කරුණු වාර්තා කළේය.
එනම් අතුරලියේ රතන හිමි විමර්ශන නිලධාරීන්ට තර්ජනය කිරීම ගැන සහ කුරුණෑගල රෝහල් අධ්යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා විමර්ශකයන්ට බාධා කිරීම ගැනයි.
අතුරලියේ රතන හිමිගේ තර්ජනය ගැන රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ මෙසේය. (උපුටා ගැනීම බී වාර්තාවෙන්)
”2019.06.27 වන දින මෙම නඩුව ගරු අධිකරණයේ දී පැය 12.15 කැඳවූ පසු පැය 13.30ට පමණ නවතා නැවත මෙම නඩුව පැය 14.15ට කැඳවන බව ගරු ඔබතුමා විසින් නියෝග කිරීමෙන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වා සිටි සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා අධිකරණ ශාලාවෙන් ඉදිරියට පැමිණ ගමන් කිරීමේදී ඒ ඉදිරියෙන්ම අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ඔහු අසලින් ගිය බවත්, ඉන් පසු රතන ස්වාමීන් වහන්සේ ඉදිරියට ගොස් නැවතී සිටි බවත් ඉන් පසු සහකාර පොලිස් අධිකාරී තිසේරා මහතා දෙස එක එල්ලේ බලාගෙන සිටි බවත් සහකාර පොලිස් අධිකාරීවරයා ඉදිරියට යන විට උන්වහන්සේ සහකාර පොලිස් අධිකාරීවරයාගේ අතට තට්ටු කළ බවත් එහිදී සහකාර පොලිස් අධිකාරී මහතා ‘ඇයි ස්වාමීන් වහන්සේ’ කියා විමසූ බවත්, එවිට ස්වාමීන්වහන්සේ ‘මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද’ කියා විමසූ බවත් ඉන් පසු සහකාර පොලිස් අධිකාරීවරයා ‘ඇයි හමුදුරුවනේ’ කියා විමසූ විට රතන ස්වාමීන්වහන්සේ ඔහු දිහා රවාගෙන බලාගෙන දකුණු අතේ දඹර ඇඟිල්ල දික්කර ‘මුළු ලෝකයම මේ නඩුව දිහා බලාගෙන ඉන්නේ’ කියා ඇස්දෙක ලොකු කර තර්ජනාත්මක ලෙස ප්‍රකාශ කළ බවයි. ඒ අවට කිහිප දෙනකු බලාගෙන සිටි බවත්, සහකාර පොලිස් අධිකාරීවරයා මුකුත් නොකියා කතා නොකර ඉදිරියට ගිය බවත්, ඔහු සමග පිටව ගිය අනිකුත් සෙසු නිළධාරීන්ට මේ බව කඩිනමින් දැනුම් දුන් බවත්, ඉන් අනතුරුව පලමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂතුමා හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා දුරකථන මගින් දැනුවත් කළ බවත්, නිලධාරියා පැමිණි පසු නිලධාරීන්ගේ ගමන් සටහන් පොතේ මේ සම්බන්ධව සටහනක් ඇතුළත් කර ඇත. මේ අනුව ඉහත බියගැන්වීම හා මානසික වේදනාවක් ඇති කිරීම 2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ 04 (අ) වගන්ති යටතේ වරදක් සිදුවී ඇති බවට පෙනී යන බැවින් මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමා වෙත කරුණු දක්වා එතුමාගේ උපදෙස් අනුව පියවර ගැනීමට කටයුතු කරමි.”
”තවද එදින එම නඩුව පැය 16.10ට අවසන් වීමෙන් පසු අධිකරණ භූමියෙන් පිටත මාධ්‍යවේදීන් වෙත අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා සැකකාර වෛද්‍ය සාෆි යන අයට පක්ෂග්රාහීව කටයුතු කළ බවත්, තවද මෙම පැමිණිල්ල ජාත්‍යන්තරයට රැගෙන යන බවත්, ඔහුගේ නම කිහිපවරක්ම සඳහන් කරමින් එසේ ප්‍රකාශ කළ බව 2019.06.27 වන දින සවස 06.55ට හිරු සහ දෙරන නාලිකාවල ප්රවෘත්ති විකාශයෙන් එම පුවත විකාශය වූ අතර එහිදී මෙම නඩුව ජාත්‍යන්තරයට රැගෙන යාමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී. ඒ අනුව ගරු ස්වාමීන්වහන්සේ මාධ්‍ය ආයතන 02කට ප්‍රකාශ කරන ලද සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන ලබා ගෙන එයින් විමර්ශන නිලධාරීන්ට යම් බලපෑමක් තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර ඇතිද යන්න විමර්ශනය කිරීමට අවශ්‍යව ඇත.”
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ද විමර්ශන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය. එමෙන්ම පරීක්ෂණවලට අදාළ ලේඛන ඔහු විසින් ලබා දීම ප්‍රමාද කරන බව ද රහස් පොලිසිය වාර්තා කර තිබේ.
රෝහල් අධ්‍යක්ෂගේ කතාව නඩු පොතෙන් ඉවත් කරලා !
ු
සාෆි ගේ නඩුව ජුනි 27 වැනි දා විභාගයට ගත් අවස්ථාවේ දී කුරුණෑගල රෝහලේ අධ්යක්ෂවරයා විවෘත අධිකරණයේ දී කළ කරුණු දැක්වීම නඩු ගොනුවේ කාර්ය සටහන්වලින් ඉවත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුලි 11 දා නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර වාර්තාවේ සඳහන් කර තිබේ.
නඩුවේ පාර්ශවකරුවකු නොවන කුරුණෑගල රෝහලේ අධ්යක්ෂවරයාගෙන් මහේස්ත්‍රාත්වරයා ජුනි 27 පැවැති පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී කරුණු විමසීමක් කර තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එදින නඩුවේ කාර්ය සටහන්වල පිටපත් ලබා ගෙන පරීක්ෂා කරද්දී රෝහල් අධ්යක්ෂ සරත් වීරබණ්ඩාරගෙන් මහේස්ත්‍රාත් කරුණු විමසූ බවක් හෝ ඔහු දැක්වූ අදහස් ඇතුළත් වී තීබී නැත. ඒ සම්බන්ධයෙන් ලඝු ලේඛිකාවගෙන් විමසද්දී අදාළ කොටස වාර්තාවට ඇතුළත් නොකරන්නැයි මහේස්ත්‍රාත්වරයා උපදෙස් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 11 දා වාර්තා කළේය.
කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් සැත්කම් කිරීමෙන් පසු දරුවන් නැතැයි කියමින් පැමිණිලි කළ මව්වරුන් 147 දෙනකුගේ පැලෝපීය නාලවලට හානියක් වී ඇත්දැයි කරන එස්එච්ජී පරීක්ෂණයට ඔවුන් යොමු කිරීමට රහස් පොලිසිය එම නඩු වාරයේදී ඉල්ලීමක් කළේය.
එම අවස්ථාවේ මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ප්‍රකාශ කළේ එම පරීක්ෂණය මගින් මව්වරුන්ගේ ජීවිත අවධානමක් සිදුවන බවත්, පිළිකා ඇතිවීමේ ඉඩක් ඇති බවත්ය. ඒ සම්බන්ධයෙන් කුරුණෑගල රෝහල් අධ්යක්ෂවරයාට දැනුමක් ඇතැයි ඔවුහු කීහ.
මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා එම අවස්ථාවේ දී විවෘත අධිකරණයේ කරුණු ඉදිරිපත් කිරීමට රෝහල් අධ්යක්ෂවරයාට අවස්ථාව දුන් අතර ඔහු ප්‍රකාශ කළේ එස්එච්ජී පරීක්ෂණයෙන් මව්වරුන්ගේ ජීවතවලට අවධානමක් ඇති බවයි. ඔහු ඒ ගැන දීර්ඝ විස්තරයක් කළේය.
ඉන් පසු මව්වරුන්ගේ නීතීඥවරුන් මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලා සිටියේ පරීක්ෂණ කරන විශේෂඥ කමිටුවට කුරුණෑගල රෝහල් අධ්යක්ෂවරයාද ඇතුළත් කරන ලෙසයි. ඒ අනුව ඔහු එම කමිටුවට ඇතුළත් කරන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට උපදෙස් දුන්නේය.
එම අවස්ථාවේ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ එම කමිටුවට ඇතුළත් කළ යුත්තේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් බවයි. කුරුණෑගල රෝහලේ අධ්යක්ෂවරයා දන්ත වෛද්‍යවරයකු පමණක් බවත් ඔහු ප්‍රසව හා නාරිවේද විශේෂඥවරයෙක් නොවන බවත් සහකාර පොලිස් අධිකාරීවරයා දැනුම් දුන්නේය.
මෙම සිද්ධි දාමයේ රෝහල් අධ්යක්ෂ ඇතුළත් කොටස නඩුවේ කාර්ය සටහන්වලට ඇතුළත් කර නැතැයි රහස් පොලිසිය 11 දා වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම නඩුවේ පැමිණිල්ල රහස් පොලිසිය වන අතර සැකකරුවෙක් ලෙස නම් කළ නැති නමුත් රැඳවුම් නියෝග මත වෛද්‍ය සාෆි සිටියේය. අගතියට පත් පාර්ශ්වය වූයේ පැමිණිලි කළ මව්වරුන්ය. කුරුණෑගල රෝහලේ අධ්යක්ෂවරයා පාර්ශ්වකරුවෙක් නොවන බවත්, ඔහු සාක්කිකරුවෙක් නම් සාක්කි විමසන මොහොතේ සාක්කි කූඩුවට නැඟ සාක්කි දිය යුතුව තිබූ බවත් නීතීඥවරු කියති. එසේ නැතිව අධිකරණය ඇමතීමට ඔහුට හැකියාවක් නැති බව ද නීතීඥවරු කියති.
ලඝු ලේඛිකාව විසින් සටහන් කරගනු ලැබූ රෝහල් අධ්‍යක්ෂගේ ප්‍රකාශයේ සහතික පිටපතක් ලබා දෙන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
(උපුටා ගැනීම් – ලංකා ඊ නිව්ස්)