Friday, September 20, 2024

වැලිකඩ හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Must read

2016 වසරේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් සිදු කළ බව කියන රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කළේ යැයි සැකකරෙනවැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

අදාළ රිය අනතුරු සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන්ක සැකකාර සුදත් අස්මඩල මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇති හෙයින් ඔහු සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අද සිය නියෝගය ප්‍රකාශයට පත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා සිල්වා මහත්මිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 33 සහ 34 යන වගන්ති යටතේ පොලිසිය ඉල්ලා සිටින ආකාරය වරෙන්තුවක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව වරෙන්තුවක් නිකුත් කරන ලෙස පොලිසිය විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය යුක්තිය ඉටු කරනු වස් අදාල සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළේය.

කෙසේ වෙතත් මෙම නියෝගය ප්‍රකාශ කිරීමත් සමගම සැකකාර වැලිකඩ පොලිසිය හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වුණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු කටයුත්ත පිළිබඳව මාධ්‍ය වල පළවූ තොරතුරු දැනගත් වහාම තම සේවාදායකයා අද දින අධිකරණය හමුවේ පෙනී සිටීමට තීන්දු කළ බව දැනුම් දුන්නේය.

අධිකරණය විසින් නිකුත්කළ නොතීසිය ද භාරදීමට පෙර ඔහු අධිකරණය හමුවේ පෙනී සිටින හෙයින් තම සේවාදායකයා ඇපමත මුදාහරින ලෙසයි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීමට විරෝධය පළ කර සිටි කොළඹ අපරාධ කොට්ඨාශය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම සැකකරු අධිකරණය හමුවට පැමිණ සිටින්නේ අධිකරණයට කෙරෙහි පවතින ගෞරවය නිසා නොව  මෙම අපරාධයට සම්බන්ධ කුමන්ත්‍රණකරුවන් ගෙන් ඔහුට ලැබී තිබෙන ශක්තිය නිසා බව සඳහන් කළේය.

2016 වසරේ පෙබරවාරි මස වැලිකඩ පොලිස් වසම තුළ රිය අනතුරක් සිදු වූ බවත් එම අනතුර සිදු කළ රිය පැදවූයේ එවක අමාත්‍ය පාඨලී චම්පික රණවක බවට සාක්ෂිකරුවන් දෙදෙනෙකු වැලිකඩ පොලීසියට ප්‍රකාශයක් ලබා දුන් බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ අනතුර සිදු කළ  පාඨලී චම්පික රණවක මහතාගේ නම ඉවත් කොට ඒ වෙනුවට ඔහුගේ රියදුරු ගේ නම ආදේශ කරන ලෙස සැකකාර එවක වැලිකඩ ස්ථානාධිපති සුදත් අස්මඩල විසින් එම  පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට බලපෑම් සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් කරුණු අනාවරණය වී ඇතැයි ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවේය.

මේ තුළින් ඔහු සිය නිල බලය අයුතු ලෙස පරිහරණය කරමින් මෙම වරද සිදු කර ඇතැයි පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙවැන්නක් සිදු කිරීමට ඔහුට ශක්තිය ලැබී තිබෙන්නේ මෙම අපරාධයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින්ගෙන් බවට ද කරුණු දක්වා සිටියේය.

සැකකාර සුදත් අස්මඩල මේ අවස්ථාව වන විටත් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් පිළිබඳ කරුණු හෙලිකිරිම වසන් කරමින් සත්‍ය සැඟවීමට උත්සාහ කරන බවට රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා චෝදනා කළේය.

මෙම වාතාවරනය මත අදාළ සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි හෙයින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා තුරු  ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ  කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය, ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ අවශ්‍යතාව මත පමණක් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බව පැවසුවේය.

සැකකරු අධිකරණය මගහැර යාමට ප්‍රවණතාවක් පවතින පුද්ගලයෙකු ලෙස හෝ විමර්ශනවලට බාධා සිදුකල හැකි බවට සෑහීමකට පත්විය හැකි කරුණු මෙතෙක් අනාවරණය වී නොමැති හෙයින් ඇප පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කරන බව මෙහි දී මහේස්ත්‍රාත්වරිය තීන්දු කළාය.

ඒ අනුව සැකකාර සුදත් අස්මඩල මහතා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඔහුට ලබන සදුදා කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට පියවර ගන්නා ලෙසද නියෝග කළාය.

(adaderana)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article