Sunday, November 24, 2024

යෞවනයන් අතර දේශපාලන සාක්ෂරතාව ගොඩ නැංවීමට උරදෙන පුත්තලමේ තරුණ තරුණියෝ

Must read

පුත්තලමේ, පාලවිය හන්දියේ සිට කල්පිටිය දක්වා දිවෙන මාර්ගයේ ඉරිදා දිනක් වුවත් වාහන ගමනාගමනය අඩුය.

සංචාරක කලාපයක් වන කල්පිටියට දැන් සංචාරකයන්ගේ පැමිණීම විරලය. ඉඳහිට වාහනයක් ගමන් කළත්, පාර පාළුය. පාරේ කලපුව පැත්තට තිඛෙන ලොකු කුඩා සංචාරක හෝටල්වල ගේට්ටු හායි ගා ඇර දමා තිබුණද, ඒවාහිස් අම්බලන් මෙනි.  ඇතැම් කුඩා සංචාරක නිකේතන අත්හැර දමා ඇති බැවින් වල් බිහි වී බල්ලන් සහ බූරුවන්ගේ නවාතැන් පොළවල් බවට පත් වී තිබේ.

මා ගමන් කළ යතුරු පැදියේ ධාවකයා වන බන්ඩාර හැල්මේ යතුරු පැදිය ධාවනය කරයි. කොයියවාඩිය හන්දියෙන් යතුරු පැදිය ධාවනය කරන බණ්ඩාරද කතා බහකින් තොරවම ධාවනයේ යෙදෙන බැවින්, මට වඩාත් හොඳින් මග දෙපස දැක ගන්නට අවකාශ තිබේ.

”ඔන්න අපි කොයියවාඩිය හන්දියට ආවා.” යැයි පවසමින්ම බණ්ඩාර වම් පසට තිබූ අතුරු පාරට යතුරු පැදිය හැරවීය.

”බලන්නකො පාරේ හැටි… මේ පාර හදල ඕනැ නම් අවුරුදු එක හමාරක් ඇති…”

පෙර දා වට වැස්සෙන් පාරේ තිබූ වලවල් පිරී ගොස් තිබූ අයුරු දැක මෙතෙක් මුනිවතින් සිටි බණ්ඩාරගේ මුවගුළු ඇරුණේය. එක දිගට පිරි පාරේ වලවල් මඟ හරිමින් යතුරු පැදිය ධාවනය කරමින් තවත් ටික දුරක් වුවත් සෑහෙන වේලාවක් ගනිමින් යතුරු පැදිය ධාවනය කළ බණ්ඩාර තවත් අතුරු මාවතකට හරවමින් යතුරු පැදිය නැවතීය.

”හප්පා…” යැයි මගේ මුවින්  පිටවුණේ ඉබේටමය.

තාර නොදැමූ ඒ කුඩා අතු මාර්ගය මඩ වතුරින් පිරි වලවල්වලට අමතරව මඩ ගොහොරුවලින්ද අරක් ගෙන තිබුණේය.

‘හ්ම්’ යැයි මුවින් හඬක් පිට කළ බණ්ඩාර යතුරු පැදිය පන ගන්වා සීරුමාරුවට යතුරු පැදිය පදවන්නට විය. ඇතැම් තැනකදී යතුරු පැදියේ පිටුපස රෝදය මඩ නිසා ලිස්සා ගියත්, පළපුරුදුකාරයෙකු වන බණ්ඩාර ඉතා අපහසුවෙන් වුවත්, සෑහෙන කාලයක් ගෙවා අප යා යුතු තැනට මා කැඳවා ගෙන ගියේය.

මේ කල්පිටිය අර්ධද්වීපයේ ඒක්තාල ගමේ ‘අල්හිජ්රා’ කොටසය. පදිංචිකරුවෝ වැඩි දෙනෙක් මන්නාරමෙන් අවතැන්ව කල්පිටියට සංක්‍රමණය වූ පිරිස්ය.

එක් නිවෙසකට විසි පහක – තිහක පමණ පිරිසක් රැස්ව සිටියෝය. ඔවුනතරේ වැඩිහිටි කාන්තාවන් සෑහෙන පිරිසක් දකින්නට ලැබීම සුවිශේෂත්වයකි. ඒ අතරේ වැඩිහිටි පිරිමින් කීප දෙනෙකුත්, තරුණයන් පස් දෙනෙකුත් පමණක් සිටියමුත් එකදු හෝ තරුණ ස්ත්‍රියක නොසිටීමද මගේ විමතියට හේතු වූයේය.

ඔවුන් රැස්ව සිටියේ ඇයි? එය එතරම්ම වැදගත් කාරණාවක්ද? යන්න ගැන ඔබට කුකුසක් ඇති වීම පුදුමයක් නොවේ.

මේ පිරිස කැඳවූවෝ විසිහතර වියැති තරුණියන් දෙදෙනෙකු වන එම්.එන්.එෆ්.ශහානා සහ එම්.ආර්. රිෆ්ලාත් සහ විසි එක් වියැති ඒ.එෆ්.අෆ්ෂාත්ය.

මේ තරුණියන් තිදෙනාගේ අරමුණු ඡන්දය භාවිත කරන බොහෝ දෙනා නොදන්නා – ඡන්ද අයිතිය හා බැඳුණ පුරවැසි අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳව මේ කුඩා කණ්ඩායම දැනුවත් කිරීමය.

ජනාධිපති කවුද?

සාකච්ඡාව ඇරඹිණි. තරුණියන් තමන් කවුදැයි හඳුන්වා දෙමින් සාමූහිකව සාකච්ඡාව කර ගෙන යති.

විෂය පථය ගැඹුරු වුවත්, සරල කාරණා ඇසුරින් ඔවුහු මේ සාකච්ඡාව පවත්වා ගෙන යන්නට තරම් මේ තිදෙනා දක්ෂයන් බව ප්‍රදර්ශනය කරයි.

එක් වරක ශහානා රැස්ව සිටි පිරිසට ප්‍රශ්නයක් යොමු කළාය.

”අපේ රටේ ජනාධිපති කවුද? ඇයගේ ප්‍රශ්නය විය. රටේ ජනාධිපතිවරයාගේ නම දැන ගෙන සිටියේ පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙකු පමණි. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ පඩිය කීයද? ඇය තවත් ප්‍රශ්නයක් සභාවට යොමු කළාය. එම ප්‍රශ්නයට පිළිතුර සභාවේ සිට කිසිවෙකුත් දැන සිටියේ නැත.

ඒ අතරේ එක් තරුණයෙකු සිය ජංගම දුරකථනය පිරික්සා බලයි.

” ආ.. ඉන්ටනෙට් ගිහින් බලන්නේ දැන් තමයි නේද?”  ශහානා තරුණයා දෙස බලා සිනහමුසුව විමසුවාය.

අතරමග කඩා වැටුණු වැසි පොද ඔවුන්ගේ කතා බහ ඉදිරියට පවත්වා ගෙන යෑමට හරස් වුවත්, ඒ බාධාව නිසා නවතින්නට පිරිස සූදානම් නැත.

”අපි ගේ ඇතුළට යමු…”

පිරිසේ සිටි කාන්තාවෝ ඉල්ලා සිටියෝය. ඒ අනුව කාන්තාවන් පිරිස සාලයේ පැදුරු එළා වාඩි වූහ. පිරිමි දොරින් නැගිට ඉස්තෝප්පුවේ පුටුවල වාඩි ගත්හ. තරුණියන් තිදෙන ඉස්තෝප්පුවෙන් සාලයට පිවිසෙන දොරටුවේ සිට සාකච්ඡාව ගෙන ගියෝය.

තරුණියන්ගේ කතා බහට කරුණු ඉදිරිපත් කිරීමට වශී වූ අනෙක් කාන්තාවන් සැමටම වඩා වැඩිහිටි කාන්තාවක් මුව අයාගෙන බලා සිටී. හැඳ සිටි සාරි පොටින් හිස වසා ගත් මේ වයෝවෘද්ධ කාන්තාව බලා සිටින ආකාරය දුටු මට හැඟුණේ, මෙවැනි තොරතුරු ඇයගේ ජීවිත කාලය පුරාම නොදැන සිටි පුදුම සහගත ඒවා බවය.

සපත්තු වවුචරය

කතාබහ සාර්ථක වූ බවත්, ඔවුන් සිය ගැටලූ හඳුනාගත් බවත්, ඒවා විසඳා ගැනීමට පියවර ගත යුතු බවත් තහවුරු කරන සජීවී සාක්ෂියක් එක් වරම මතු විය. ඒ කාන්තාවක විසින් තරුණියන්ට යොමු කළ ප්‍රශ්නයකි.

”දැන් ඉස්කෝලේ ළමයින්ට සපත්තු ගන්න වවුචර් දෙනවා. ප්‍රින්සිපල් කියන්නේ එයාගෙ මල්ලිගෙ කඩෙන් ගන්න කියලයි. ඒ කඩේ තියෙන්නේ පුත්තලමෙ. පුත්තලමට ගිහින් එන්න එක් කෙනෙකුට රුපියල් හයසීයකට වැඩිය යනවා. දෙන්නෙක් ගියාම රුපියල් එක්දාස් දෙසීයක් විතර. අපට කල්පිටියෙ කඩේකින් සපත්තු ගන්න පුළුවන්ද?”

ඒ කාන්තාව විසින් තරුණියන් යොමු කළ ප්‍රශ්නයයි.

” ඇයි බැරි… පුළුවන්…” ශහානාගේ පිළිතුරයි. ඇය නිවැසියන්ට කතා කර වවුචරයක් ගෙන්වා ගත්තාය. අනතුරුව ඇය ප්‍රශ්නය බණ්ඩාරට යොමු කළාය.

බණ්ඩාර පුත්තලමේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි. ඔහු  පාසලේ විදුහල්පතිවරයාට සිය ජංගම දුරකථනයෙන් කතා කර ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙමින්, එකී විදුහල්පතිවරයා විසින් සිදු කළ වරදද පෙන්වා දී එසේ නොකරන ලෙසට උපදෙස්ද දුන්නේය.

ඒ අතරම පාසල් දරුවන්ගේ සපත්තු වවුචරවලින් මිල දී ගත හැකි පාවහන් අලෙවි සැල්වල ඒ බව මහජනයාට දන්වන දැන්වීමක් ප්‍රදර්ශනය කරන බවත්, කල්පිටියේ හෝ වෙනත් තැනක කඩයකින් සපත්තු ගන්නට හැකි බවත්, ඔහු පිරිස දැනුවත් කළේය.

මේ ගැන රැස්වීමට සහභාගි වූ කොයියාවාඩිය අල් හිජ්රා පල්ලියේ සභාපති එස්. නදීර් සමඟ ද කතා කළෙමි.

Nadeerඅල් හිජ්රා පල්ලියේ සභාපති එස්. නදීර්

” මේ තරුණ ළමයි තුන් දෙනා මෙතනට එන බව දැන ගත්තට පස්සේ මටත් එන්න හිතුණා… මේ අයගෙන් අපි නොදන්න දේවල් අදත් ඉගෙන ගත්තා. දැන් බලන්නකෝ. අපේ ගමට එන පාරේ හැටි. ඒක හදා ගන්න අපි කී දෙනෙක් ලඟට ගියාද? අනෙක් අනික පාරට කාපට් දාලා එච්චර කල් නැහැ. ඔය අය එනකොට ඒ පාර දකින්න ඇති නේ.”

” අපේ අය වැඩි දෙනෙක්, ඡන්දය ගැන – ඡන්ද අයිතිය ගැන දන්නේ නැහැ.  මං වුණත් ඒ තරම් දුරට දන්නේ නැහැ.”

” මේ අයගේ දැනුවත් කිරීම ඉතා හොඳයි. මම කැමතියි මේ ළමයි එක්ක දිගටම වැඩ කරන්න. අපේ තරුණයින්ටත් මේ අය එක්ක එකතු වෙලා වැඩ කරන්න කියල මම උපදෙස් දෙනවා.”

ශහානා, අනේෂා, රිෆ්ලා අතගසා ඇත්තේ, යුගයේ අවශ්‍යතාවයක් ඉටු කිරීමේ අත්‍යාවශ්‍ය වැඩසටහනකටයි. එහෙත් එය සාර්ථක කර ගැනීම එක්වරම කර ගත හැකි ඉන්ද්‍රජාලික ක්‍රමයක් නම් ඇත්තේ නැත. ඔවුන්ගේ කැපවීමේ තරමටම ජනතාවගේ සහයෝගයද නිබඳව ලැබිය යුතුය. එනිසාම වැඩසටහනේ සාර්ථකත්වයේ ඵල නෙලා ගැනීමට වසර හතර අටක් ගත විය හැකිය.

තරුණ උපදේශන ලීගය

මේ වැඩසටහන සම්බන්ධයෙන් තරුණියන් තිදෙනා පවසන්නේ මොනවාදැයි විමසා බලමු.

shahanaවිසි හතර හැවිරිදි එන්.එම්.එෆ්.ශහානා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධි පාඨමාලාවක් හදාරමින් සිටින්නියකි.

”… ඌව ශක්ති සංවිධානය ඔවුන්ගේ වයි.සී.එල්. වැඩසටහනට කට්ටිය ගන්නවා කියල ප්‍රසිද්ධ කරල තිබුණා. මම සෝෂල් වැඩවලට කැමතියි. ඒ නිසා මමත් ඒකට බැඳෙන්න ඉල්ලූම් කළා. පුත්තලමෙන් මමත් එක්ක තව දොළොස් දෙනෙක් තෝරා ගත්තා….”

වයි.සී.එල්. කියන්නේ යූත් කවුන්සලින් ලීග් කියන එකයි. මේ වැඩසටහනින් බලාපොරොත්තු වෙන්නේ, අපේ රටේ යහපත් පාලනයක් ඇති කිරීම සඳහා සමාජය වෙනස් කිරීම වෙනුවෙන් තරුණ පිරිස්වල මැදිහත් වීමක්.

මීට කලින් රාජ්‍ය නොවන සංවිධානයක් එක්ක වැඩ කරලා මට අත්දැකීමක් තියෙනවා. ඒ වගේම ඌව ශක්ති ආයතනයෙන් අපට පුහුණුවක් දුන්නා.

මුල් කාලයේදී නම් අපේ ගෙදරින් මට සෝෂල් වැඩමලට යන්න දුන්නේ නෑ. ඒවට යන්න එපා කියලා තාත්තයි, මල්ලියි මට ගැහැව්වා. ඊට පස්සේ මම ගෙදරින් ගිහින් පිට ගෙදරක බෝඩින් වෙලා තමයි සෝෂල් වැඩවලට සම්බන්ධ වුණේ. දැන්නම් ගෙදර ඇවිත් ඉන්න කියනවා.

අපේ සමාජයේ මතයක් තියෙනවා, සෝෂල් වැඩවලට සම්බන්ධ වන අයට නරක චරිතයක් තියෙන්නෙ කියලා. ඒ අදහස බොහොම නරක විදිහට සමාජ ගත වෙලා තියෙනවා. නරක සෝෂල් වැඩ කළත් නොකළත් නරකයිම තමයි. ඉතින් අපේ ගෙදර අයගෙත් තිබුණේ ඔය සමාජගත වෙලා තිබුණු අදහසම තමයි. කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව කවුරු හරි කියපු දෙයක් පිළිගන්නවා.

මේ වැරැද්ද තමයි සමාජයේ සියලූම පැතිකඩවල සෑම අංශයක් කෙරෙහිම පැතිරිලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි, අපිට සමාජ දේශපාලන තත්ත්වයන් ගැන විචාරශීලී කියවීමක් අවශ්‍ය වෙලා තියෙන්නේ.

පුරවැසි අයිතිවාසිකම්…

දන් අද දකින්න ඇතිනෙ, රටේ ජනාධිපති කවුද කියන එකවත් අපේ කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඡන්දය ගැන, එහි වටිනාකම් ගැන, ඒ හා බැඳුණු පුරවැසි අයිතිවාසිකම් ගැන කොච්චර දේවල් මේ අය නොදන්නවා ඇතිද කියල හිතන්නකො.

තමන් ඡන්දයෙන් පත් කළ නියෝජිතයන් වැරදි වැඩ කරනවා නම්, ඒව ප්‍රශ්න කිරීමේ අයිතියක් ඡන්ද දායකයාට තියෙනවා කීවහම මේ අය කියන්නේ, අපොයි එහෙම කළොත් අපට හිරිහැර කරයි. පොලිසියට අරගෙන යයි කියලා. මැතිවරණ කාලෙට මෙහෙ අපූරු වැඩක් වෙනවා. පුත්තලමෙ ඉන්නවනෙ මන්නාරමේදී අවතැන් වුණු අය. ඉතින් ඡන්ද කාලෙට බස් එවනවා. මේ අයත් කරන්නේ තමන් කැමති අපේක්ෂකයා එවපු බස් එකට නගින එකයි. ඊට පස්සේ එක් අයෙකුට රුපියල් එක්දාස් පන්සීයකුයි, බත් පැකට් එකකුයි ලැඛෙනවා. එහෙම තමයි ගොඩක් දෙනා ඡන්දෙ දෙන්න යන්නේ.

” ඔය ගොල්ලෝ ඡන්දෙ විකුණලා නේද?”  කියලා මම අහපුවම් ඒ අය කියන්නේ, එහෙම නැතිව ඡන්දෙ දෙන්නේ කොහොමද කියලයි.

ඡන්දය දෙන්න කලින් තමන් ඡන්දය දෙන කෙනා කොයි වගේ කෙනෙක්ද කියල හොයන බලන සිරිතක් මේ අයගෙ නෑ.

ඉතින් මම මේ අයගේනක අහනවා ඔය ගොල්ලන්ගෙ ළමයි, දොස්තරලා, ඉන්ජිනේරුවෝ කරන්න උගන්වන්න හදනවා. ඇයි දේශපාලනඥයෙක් කරන්න උත්සාහ නොකරන්නේ කියලා.

ඒ අය කියන්නේ ඉතින් දේශපාලනඥයන්ට මිනිස්සු බනිනවනේ. අපේ දරුවන්ට බැනුම් අහන්න ඉඩ දෙන්නෙ මොකටද කියල.

”ගුඩ් ගවනර්ස්+ කියන එක ගැන මේ අය දන්නේ නෑ. ඒ අයට ඒ ගැන කියල දෙනකොට, රටේ ගුඩ් ගවනර්ස් එක තියෙන එක මිනිස්සුන්ගේ අයිතියක් කියනකොට ඒ අය පුදුම වෙනවා.

අපේ පුරවැසියෝ හරියට මැජික් එහෙකට අහුවුණ මිනිස්සු වගේ. එහෙම නැත්නම් රැවටෙනවා. ඊට පස්සේ තනි තනිවම ගෙදර ඉඳගෙන තමන් පත් කරපු අයටම බනිනවා.  එහෙම වෙන්නෙ ඇයි? ඒ ක්‍රමය වෙනස් කළ යුතුයි කියන දේ මේ අයට වැටහෙන්නේ නැහැ.  අපි තෝරා ගන්න යන පුද්ගලයාට හොඳ එඩියුකේෂන් බෑක්ග්‍රවුන්ඩ් එකක් තියෙනවද? එයාගේ වැඩපිළිවෙල ට්‍රාන්ස්පේරන්සිද? කියල අපි හොයන්න ඕනේ කිව්වම, අපේ අය පුදුම වෙනවා. මේ පවතින දේශපාලන වාතාවරණය එක්ක අපේ අය හැසිරෙන්නේ ඩ්‍රග්ස් ගත්ත අය වගෙයි.  ක්‍රමයට ඇඩික් වෙලා.

ඉතින් ඒ ඇබ්බැහියෙන් මේ අය ගලවා ගන්න එක ලේසි නෑ. ඒ නිසා අපි වැඩියෙන් ඉලක්ක කරන්නේ, ටීන් ඒජ්වල පිරිසයි. එය චේන්ජ් වෙලා තියෙනවා.

අපිත් දේශපාලනය – ආර්ථීකය ගැන ලොකුවට දන්නේ නෑ. අපටත් සිද්ධ වෙලා තියෙන්නේ, ඉගෙන ගනිමින් උගන්වන්න.

 

gsdgfsdf

අපි ගිය අවුරුද්දෙ රටේ තිබුණ අරගලය ගැන මේ අයගෙන් අහපුවම දන්නෙ නෑ. ඉතින් එහෙම එකක් ඇති වුණේ ඇයි කියලා ඇහැව්වට වැඩක් නෑ.  එවැනි නොදැනුවත් සමාජයක් එක්ක තමයි අපට වැඩ කරන්න වෙලා තියෙන්නේ.

අවම වශයෙන් තමන්ට තියෙන අයිතිවාසිකම් මොනවාද? ඒවා නොලැබුණොත් කරන්න පුළුවන් මොනවාද? කියල මේ අය දන්නේ නෑ.  ආර්.ටී.අයි. ගැන කියපුවම උඩ බිම බලනවා. ඒත් අපේ උත්සාහ නිසාම සමෘද්ධි සහනාධාර නොලැබීම ගැන, පාරවල් කැඩෙන එක ගැන, තොරතුරු අයදුම්පත් දාන්න මිනිස්සු යොමු කරලා තියෙනවා.  ඒවායින් සමහරක් ඉල්ලීම්වලට සාර්ථක ප්‍රතිඵල ලැබිලාත් තියෙනවා.

අපි අතගහල තියෙන්නේ, ඉතාම අමාරු කාර්යයකට. මෙහෙ දැනුවත් කිරීමේ වැඩසටහනක් සූදානම් කරන කොට, වැඩි දෙනා හිතන්නේ මොනවා හරි බඩු එහෙම නැත්නම් ආධාර මොනවා හරි ලැඛෙයි කියලයි. ඒකත් හරිම ප්‍රශ්නයක්. මෙහෙ ගොඩ දෙනෙක්ගේ ආදායම් තත්ත්වය පහළ මට්ටමක තියෙන්නේ. ඉතින් එවැනි අය එක්ක දේශපාලනික කාරණා ගැන කතා කළාට, සාර්ථක ප්‍රතිඵල ගන්න අමාරුයි.

ඒ නිසා මම ඒ අයගෙ ආර්ථීකය සුළුවෙන් හෝ ඉහළට ගන්න වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මුරුංගා කොල කුඩු කරලා, බෝතල්වල අසුරලා වෙළෙඳ පොළට දාන්න පුළුවන්. ඒ වගේම සිප්පි කටු වගේ දේවලින් විසිතුරු භාණ්ඩ හදන්න පුළුවන්. ඒ වගේ ලෙහෙසියෙන් සොයා ගන්න පුළුවන්, සල්ලි දීලා ගන්න ඕනැ නැති ඒවයින් විවිධ නිෂ්පාදන කරලා ඒවා වෙළෙඳ පොළට යවන්න පුළුවන්. මේ වෙන කොටත් මම කීප දෙනෙක් ඒ වගේ වැඩවලට යොමු කරලා තියෙන්නේ.

ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා.

බොරුත් ඇත්ත වේ.
afsha
ඒ.එෆ්.අෆ්ෂා තරුණ ලීගයේ තවත් සාමාජිකාවකි.  ඇයද නීති උපාධි අපේක්ෂිකාවකි.

”… තරුණ පිරිසටත් සමාජය වෙනස් කරන්න දායක වෙන්න පුළුවනි. ඊළඟ නායකයො වෙන්නේ ඒ අයනේ. ඉතින් අපි ඒ අය වෙනුවෙන් වැඩ කරන්න ඕනෑ. මෙහෙ ගොඩක් දුප්පත් ගම් තමයි තියෙන්නේ. ඒ නිසා ලොකු අධ්‍යාපනයක් ලබපු අය ඒ වගේ ගම්වල නෑ. කවුරු හරි කෙනෙක් ගමට ඇවිත් කියන ඕනැ බොරුවක් වුණත් මේ අය ඇත්ත කියලා පිළි ගන්නවා. ඒ වගේ වටපිටාවකදී අපට ඉතාම අපහසුවෙන් තමයි මේ ගමන යන්න වෙන්නේ. ඒත් අපි අතගහපු වැඩේ අත් හරින්නේ නෑ.  කොහොම හරි කර ගෙන යනවා.  තරුණයින් වශයෙන් ඒක අවදානමක් වගේම වගකීමක්.

Riflaතරුණ උපදේශක ලීගයේ තවත් තරුණ සාමාජිකාවක වන එම්.ආර්. රිෆ්ලාද විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවකි.

”…පුත්තලමේ අපේ තරුණ ලීගයේ සාමාජික සාමාජිකාවන් දොලොස් දෙනෙක් ඉන්නවා. මේ අය සිංහල, දෙමළ හා මුස්ලිම් තරුණ පිරිස. අපි ඉතාමත් සහයෝගයෙන් තමයි වැඩ කරන්නේ. අපේ වැඩ සැලසුමක් තිඛෙනවා.  ඒකට අනුව තමයි වැඩ කරන්නේ.

තරුණයන් විදිහට අපේ ප්‍රධාන ඉලක්කය තරුණ පිරිස වුණත් වැඩිහිටියනුත් දැනුවත් කිරීම්වලට සහභාගි කරවා ගන්නවා. අපට වැඩිහිටියන්ගේ සහයෝගය නැතිව මේ වැඩ කරන්න අමාරුයි.  ඒ අයගෙ සහයෝගය අත්‍යාවශ්‍යයි. එහෙම නැති වුණොත් අපි තනි වෙනවා.

ඊ.ඒ.ඩබ්. බණ්ඩාර මේ තරුණ ලීගයේ සම්බන්ධීකාරක වරයාය. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකුද වන ඔහු තරුණ උපදේශන ලීගයේ කාර්යයන් ගැන පැවසුවේ මෙලෙසය.

xzgsdtr
”… මේ වැඩසටහන කරන්නේ ඌව ශක්ති සංවිධානයයි. පුත්තලම ඇතුළු තවත් දිස්ත්‍රික්ක පහක මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

අපි කරන්නේ මේ අය සම්බන්ධීකරණය කිරීමයි. පුත්තලමේ තරුණ පිරිස ඔවුන්ට පැවරුණු වගකීම හො`දින් ඉටු කරන බව පෙනෙන්න තිඛෙනවා.

රටේ යහපාලනයක් ගොඩ නැංවීම වෙනුවෙන් අර්ථවත් දේශපාලන වෙනස්වීමකට අවශ්‍ය දැනුම ඛෙදා දීම මේ අය සිදු කරමින් සිටිනවා.  එය අදම හෝ හෙට සිදුවේයැයි කියන්න නොහැකි වුණත්, වසර කීපයකින් හෝ ඉටු වනු දැකීම අපේත් අපේක්ෂාවයි.

zxdfvgst

(සටහන : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නිමල් අබේසිංහ විසිනි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article