Friday, June 5, 2026

මෙරටදී අත්අඩංගුවට ගත් විශාලම මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින් 22 ක් මීගමුව උසාවියට

Must read

. …..

ලංකා ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය ( මත්කුඩු) තොගයක් එනම් රුපියල් බිලියන 1.1 ක් ( රුපියල් කෝටි 110) වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක, ගුවන්තොටුපළේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 22 නමක් ( චීවරධාරීන්) සමග ඊයේ (25/04/2026) රාත්‍රී අත්අඩංගුවට ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ ආගමික ඉතිහාසය මෙන්ම ගුවන් තොටුපළ ඉතිහාසයද සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කළ අතිශය කම්පනකාරී පුවතක් බවට මෙම පුවත පත්විය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද විශේෂ බුද්ධි තොරතුරකට අනුව එම කාර්යාංශය විසින් සිදුකළ මෙහෙයුමකදී, මෙලෙස රුපියල් බිලියන 1.1 කට වඩා වටිනා මෙම කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 110 ක් සමඟ තරුණ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 22 නමක් ( චීවරධාරීන්) අත්අඩංගුවට ගෙන තිබේ.

බෞද්ධ චීවරයට මුවා වී
මෙම භික්ෂූන් වහන්සේලා ( චීවරධාරීන් ) මත්ද්‍රව්‍ය රැගෙනවිත් තිබුණේ අතිශය සූක්ෂම ආකාරයකට බව වැඩිදුරටත් වාර්තා වුණි. ඔවුන් විසින් ගෙන ආ ගමන් මලු වල ව්‍යාජ ලෙස පතුල් සකසා, ඒ තුළ මත්ද්‍රව්‍ය සඟවා ඊට ඉහළින් පෑන්, පැන්සල් වැනි පාසල් උපකරණ සහ විවිධ රසකැවිලි අසුරා ඉතා සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් සගවා තිබූ බව වාර්තා වුණි.
ඒ අනුව එක් භික්ෂූන් වහන්සේ නමකගේ ( චීවරධාරියකුගේ ) ගමන් මල්ලක අවම වශයෙන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 බැගින් සඟවා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම භික්ෂූන් වහන්සේලා ( චීවරධාරින්) කණ්ඩායම පසුගිය අප්‍රේල් 22 වැනිදා තායිලන්තයේ, බැංකොක් නුවර බලා පිටත්ව ගොස් ඇත්තේ කිසියම් අනුග්‍රාහකයෙකු විසින් ලබාදුන් ගුවන් ටිකට්පත් මගින් බවද මූලිකව කරන ලද විමර්ශනවලදී හෙළිවී තිබේ. මෙහිදී වඩාත් පුදුමය දනවන කරුණක් බවට පත්ව තිබුණේ, මෙම භික්ෂූන් වහන්සේලාගේ ( චීවරධාරීන්ගේ ) ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී, ඔවුන් විදෙස් රටේදී සිවුරු ඉවත් කර සාමාන්‍ය සිවිල් ඇඳුමින් සැරසී ගන්නා ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන පවා පොලිසිය විසින් සොයාගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට පත් වූ මෙම භික්ෂූන් වහන්සේලා ( චීවරධාරීන් ) සියලු දෙනාම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි, විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරන තරුණ භික්ෂූන් වහන්සේලා ( චීවරධාරින් ) බවට හඳුනාගෙන තිබේ. මේ අනුව වැඩිදුරටත් වාර්තා වන පරිදි , මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපළ ඉතිහාසයේ මෙතෙක් අල්ලාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතරම, භික්ෂූන් වහන්සේලා (චීවරධාරීන්) පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමක් සමඟ මේ ආකාරයෙන් කොටුවූ පළමු අවස්ථාවද , මෙම අවස්ථාව බවට , වාර්තා වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත් මෙම සැකකාර භික්ෂූන් වහන්සේලා ( චීවරධාරින්) පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දින (26/04/2026) පස්වරුවේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඡායාරූප.-.
ටී.කේ.ජී. කපිල
( ගුවන් තොටුපල පරි්ශ්‍රයේ සිට)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article