1976 මාර්තු මස සිට බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) පාර්ශවකරුවකු ලෙස ශ්‍රී ලංකාව ද එක්විය.
1980 ජූනි මස 11 වන දින අදාළ ජාත්‍යන්තර සම්මුතීන්ට එකඟත්වය පළ කර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයකට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම පාර්ලිමේන්තුව විසින් පනවන ලද වෙනත් නීතිවලට ද ව්‍යවස්ථාමය පිළිගැනිමක් ලබා දීම සිදුව තිබේ.
2007 වර්ෂයේ සිට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) මෙරට ක්‍රියාත්මක වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් නොවන මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙම පනත හරහා අපේක්ෂා කෙරේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුව සුළුතර ජාතීන් පීඩාවට පත් කිරීමට මෙන්ම ආණ්ඩු විරෝධීන් මර්දනය සඳහා මෙම පනත යොදා ගන්නා බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල ද චෝදනාවට ලක්ව ඇත.
මෙම පනත යටතේ ගැනෙන වරදකට වරදකරු බව මහාධිකරණ නඩු විභාගයකින් පසු ඔප්පු වුවහොත් වරදකරු අවුරුදු 10කට නොවැඩි දඬුවමකට ලක් කළ හැකිය.
ICCPR පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩු විභාග අවසන් වන තෙක් ඇප ලබාදිය නොහැකි අතර සුවිශේෂ තත්ත්වයන් යටතේ මහාධිකරණයට පමණක් ඇප ලබා දීමේ හැකියාව පවතී.
අත්අඩංගුවට පත්වූවන් කවුද?
ලේඛක ශක්තික සත්කුමාර
මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඇති මෙම පනත යොදා ගනිමින් මෙරට දී අත්අඩංගුවට ගත් මුල්ම තැනැත්තා ලෙස සඳහන් වන්නේ ලේඛකයකු වන ශක්තික සත්කුමාර ය.
භික්ෂූන් පිරිසක් කළ පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගනු ලැබු අතර “අර්ධ” නමින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කරන ලද කෙටි කතාවක අඩංගු කරුණු මහජන කැළඹීමකට හේතු විය හැකි බව ශක්තිකට එරෙහිව එල්ල වූ චෝදනාවයි.
අත්අඩංගුවට ගෙන දින 130 ක කාලයක් බන්ධනාගාර ගතව සිටීමෙන් පසු ඔහුට ඇප මත මුදා හරිනු ලැබුවේ 2019 අගෝස්තු 08 දිනය.
ලේඛක ශක්තික සත්කුමාරට එරෙහි නඩුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී 2021 පෙබරවාරි මස 9 වනදා විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා විසින් අධිකරණය වෙත යොමු කළ වාර්තා සලකා බැලු මහෙස්ත්‍රාත් අධිකරණය හෙතෙම එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.
රහීම් මසාහිනා:
2019 වසරේ මැයි මාසයේ දී 47 හැවිරිදි රහීම් මසාහිනා හසලක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලද්දේ ඇගේ කෆ්තාන් ඇඳුමේ පින්තාරු කොට ඇත්තේ ධර්මචක්‍ර සංකේතයක් බව පවසමිනි.
එය බෞද්ධ සංකේතයකට අපහාස කිරීමක් බවට චෝදනා නගා තිබු අතර චෝදනා ගොනු කොට තිබුණේ ICCPR පනත යොදා ගනිමිනි.
රම්සි රසීක්:
විශ්‍රාමික රජයේ නිලධාරියකු වන රම්සි රසීක් 2020 අප්‍රේල් 9 වැනිදා රහස් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කරන සකලාකාරයේ ජාතිවාදය පිටු දැකීමට “මතවාදී ජිහාඩයක් (අරගලයක්)” කළ යුතු බවට ඔහු විසින් අප්‍රේල් මුලදී පළ කරන ලද සටහනක් පදනම් කොටගෙනය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත යොදා ගනිමින් රම්සි රසීක් මාස 05කට වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබුණ අතර 2020 සැප්තැම්බර් මාසයේදී ඔහුව ඇප මත මුදාහරින ලදී.
ෆාසල් මුහම්මද් නිසාර්:
වෙබ් අඩවියක ලේඛකයකු වන ෆාසල් මුහම්මද් නිසාර් ද 2021 ජනවාරි මාසයේ දී ICCPR පනත යොදා ගනිමින් අත්අඩංගුවට ගන්නා ලදී.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ:
සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ 2023 පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යොදා ගනිමිනි.
මහනුවර ශ්‍රී දළදා මාළිගය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබු අතර අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සේපාල් අමරසිංහ විසින් දැනුම්දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුත්ත අවසන් කිරීමට අධිකරණය තීන්දු කළේය.
ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය:
ප්‍රහසන ප්‍රසංගයක දී බුදු දහමට අපහාස කළ බවට චෝදනා කරමින් ප්‍රහසන ශිල්පී නාතාෂා එදිරිසුරිය මැයි මස 28 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යොදා ගනිමින් ඇයට චෝදනා ගොනු කර ඇති අතර ඇයව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජුනි මස 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කෙසේවෙතත් වසර කිහිපයක් තිස්සේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යොදා ගනිමින් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණ ද මෙතෙක් කිසිවකුත් එම පනත යොදා ගනිමින් දඬුවමට ලක් කිරීමට හැකිව නැත.
ICCPR පනත යටතේ දඬුවම් දෙන්න බැරි වුනේ ඇයි?
ICCPR පනත යටතේ අත්අඩංගුවට ගත් කිසිවකුට මෙතෙක් අධිකරණය ඉදිරියේ චෝදනා ඔප්පු කර දඬුවම් ලබා දීමට නොහැකි වීම සම්බන්ධව බීබීසී සිංහල සේවය පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුවගෙන් විමසීය.
“විමර්ශනයක් කියන එක නිතර වෙනස් වෙනවා. සැකකරුවෙක්ව අත්අඩංගුවට අරන් පැය 24 ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ එතකොට මේ පැය 24ක කාලයේ දී මේ තියෙන චෝදනා ගැන, පුද්ගලයෙක් ගැන එහෙම කියන්න බෑනේ, විමර්ශකයකුට තියා කිසිම මනුස්සයකුට. විමර්ශනවලට යම් කිසි කාලයක් යනවා විමර්ශන කරනකොට යම් යම් දේවල් වෙනස් වෙනවා. අපි අද සාක්ෂියක් කිව්වාම එන කාරණය නෙමෙයි හෙට සාක්ෂියක් කිව්වාම එන්නේ එතකොට මුල්ම දවසේ තිබුනට වඩා දවස් පහකට පස්සේ අනාවරණය වෙන දේවල්වලින් තත්වය වෙනස් වෙනවා. හැබැයි අත්අඩංගුවට ගන්න පුද්ගලයා මුල්ම දවසේ තියෙන තොරතුරු අනුව තමයි අධිකරණයට ඉදිරිපත් කරන්නේ.”
මුල් බී වාර්තාවෙන් ඉදිරිපත් කරන චෝදනා විමර්ශනය අවසන් වී මහාධිකරණයට ඉදිරිපත් කරන චෝදනා පත්‍රයේ දී වෙනස් විය හැකි බව පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා “අවසන් විමර්ශන ගොණුව නීතිපතිවරයාට ඉදිරිපත් කළාම හෝ පොලිසිය විසින් ඉදිරිපත් කරන විට හෝ ඒ සියලු තොරතුරු එකතු කරලා ගත්තාම ICCPR පනත යටතේ නඩු දැමිය නොහැකි බව අනාවරණය වෙනවා නම් එතන දී තීරණය කරනවා ICCPR එක යටතේ චෝදනා දැමීමක් අත්‍යවශය වෙන්නේ නැහැ කියන එක.” යැයි කියා සිටියේය.
විමර්ශනයේ දී සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ චෝදනා ගොනු කළ ද නිදහස් කිරීම හෝ දඬුවම් දීම කරනු ලබන්නේ ඉදිරිපත් වන සාක්ෂි මත අධිකරණය විසින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව වැඩිදුරටත් සඳහන් කළේය.
විමර්ශන නිලධාරියා විසින් ICCPR පනත යටතේ චෝදනා යටතේ යම් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කළ විට දී එම පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයාට චෝදනා කළ හැකි ද නොහැකි ද යන්න මෙන්ම එම පුද්ගලයාට ඇප ලබා දීම හෝ නොදීම අධිකරණය විසින් තීන්දු කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත දඬුවමක් වශයෙන් භාවිතා කිරිම ගැන පොලිසියට එල්ල කෙරෙන චෝදනා සම්බන්ධව පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව “යම් සිද්ධියකට වැරදි චෝදනා එල්ල කරලා තියෙනවා නම් අනිත් පැත්තට අවස්ථාව තියෙනවා ඒක එහෙම නෙමෙයි කියලා ගරු අධිකරණයට කියන්න.” යැයි ප්‍රකාශ කළේය.
‘ICCPR පනත අවභාවිතා කිරීම වළක්වන්න අරගල කරන්න ඕනේ’
“මානව හිමිකම් සුරකින්න තමයි මේ පනත ඇවිල්ලා තියෙන්නේ නමුත් අපේ වෙලා තියෙන්නේ අවභාවිතයක් නැතිනම් දුර්භාවිතයක්. මේකෙන් කරන්නේ කාගෙහරි පුද්ගලයකුගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් තමයි මේ පනතින් වෙලා තියෙන්නේ. “යැයි ICCPR පනත යටතේ අත්අඩංගුවට පත්ව පසුව නිදහස ලැබූ ශක්තික සත්කුමාර බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
තමන් කරන ලද නිර්මාණය වෙනුවෙන් පෙනී නොසිට සමාව ගැනීමට යාමෙන් ප්‍රකාශනයේ නිදහස පිළිබඳ අරගලයට හානි වන බව ඔහු පෙන්වා දුන්නේය.
“අපි කරන්න ඕනේ ICCPR පනත අවභාවිතා කරන එක වළක්වා ගැනීම සඳහා සටනක් ගෙනියන්න ඕනේ. නැතුව ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස හකුල ගන්න එක නෙමෙයි අපි කරන්න ඕනේ. අපි එකතු වෙලා ICCPR පනත අවභාවිතා කිරීම වළක්වන්න අරගල කරන්න ඕනේ.” යැයි ICCPR පනත අවභාවිතයෙන් බැට කෑ ලේඛකයා අවධාරණ කළේය.
තමන් කරන ලද නිර්මාණය වෙනුවෙන් පෙනී නොසිට සමාව ගැනීමට යාමෙන් ප්‍රකාශනයේ නිදහස පිළිබඳ අරගලයට හානි වන බව ශක්තික සත්කුමාර කියා සිටියේය.
‘රක්ෂිත බන්ධනාගාර ගත කර දඬුවම් කිරීම’
බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වු රයිට්ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක කියා සිටියේ පොලිසිය මෙම පනත දඬුවමක් ලෙස භාවිතා කරන බවයි.
“ලංකාවේ තියෙනවා ලොකු ප්‍රශ්නයක් නඩු ප්‍රමාද වෙනවා සහ බන්ධනාගාරවල තත්ත්වය. එතකොට මහාධිකරණයෙන් ඇප ලබා ගන්න කියලා තියෙන නීති සහ මේ වගේ මහජන නිදහස සීමා කිරීම ගැන සමහර නීති භාවිතා කරන්නේම රක්ෂිත බන්ධනාගාර ගත කිරීම දඬුවමක් කරන්න. රක්ෂිත බන්ධනාගාර තමයි ටිකක් පීඩාව වැඩි මොකද ඒවයේ තදබදය වැඩී. අනිත් එක තමයි රිමාන්ඩ් කළාට පස්සේ මහාධිකරණයෙන් ඇප ගන්න ගියොත් අනිවාර්යෙන් මාස දෙක තුනක් යනවා.”
මානව හිමිකම් රකින්න ගෙන එන ලද පනත වෙනස් ආකාරයට භාවිතා කරමින් නීතිය අවභාවිතා කිරීම ගැන නීතිඥවරයා පෙන්වා දුන්නේ වසර කිහිපයකට ඉහත දී බේරුවල ඇවිලී ගිය මුස්ලිම් විරෝධී ප්‍රහාර සිහිපත් කරමිනි.
“මුලින්ම ජාතික වෛරය ඇති වෙච්ච සිද්ධියක් තමයි බේරුවල ඇති වෙච්ච සිද්ධිය. පැහැදිලිවම පේන දෙයක් තමයි භික්ෂුන් වහන්සේලා ඒ පවත්වපු නීති විරෝධි රැස්වීම, ඒ වගේම තමයි උසි ගැන්වීම සෑහෙන දුරට සිද්ධ වුනා. නැත්නම් මේක නිවා ගන්න තිබුණා ඒ වෙලාවේ. පැහැදිලිවම ජාත්‍යන්තර මාර්ගෝපදේශ යටතේ ක්‍රියාත්මක වෙන්න තිබුණා ඒ මොහොතේ.”
ලංකාවේ මෙන්ම තවත් රටවල් මෙම පනත මර්දනකාරි නීතියක් ලෙස යොදා ගන්නා බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ පිළිබඳව ලොව පුරා වාද විවාද පවතින බව ද කියා සිටියේය.
“එක්සත් ජතීන්ගේ මානව හිමිකම් කොමිසම පත් කරපු කමිටුවක් අවුරුදු හතරක් විතර අධ්‍යනය කරලා අවසානයේ නිර්දේශ කිහිපයක් දැම්මා. ඒකට කියන්නේ රබාත් ප්ලෑන් ඔෆ් ඇක්ශන් කියලා. ඒකේ තියෙනවා සන්දර්භය බලන්න ඕනේ, ඊට පස්සේ අත්ඩංගුවට ගැනීම මොකක්ද කියලා බලන්න ඕනේ, ඒවගේ අදහස මොකක්ද බලනවා, ඒවාගේ ඒ කෙනා මීට කලින් ඉඳන් මෙහෙම කරපු කෙනෙක්ද වගේම එකෙන් අත්‍යාතන්න හානියක් වුනා ද වගේ දේවල් බලන්න කියලා තමයි ඒ කමිටුව නිර්දේශ කළේ.”
“දැන් අපි ICCPR පනත සංශෝධනයක් කිරීම සඳහා දිගු කාලීනව ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මේ පනතේ සෑහෙන වගන්ති තියෙනවා ඒවා එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ තුනේ එක වගන්තිය විතරමයි ක්‍රියාත්මක වෙන්නේ.” යැයි නීතිඥවරයා කියා සිටියේය.
එබැවින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති නීතිය පනතේ තුනේ එක වගන්තිය වහාම සංශෝධනයට ලක්කළ යුතුය බව දුලාන් දසනායක වැඩිදුරටත් පැවසීය.
‘අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට වරින්වර භාවිතා කරලා’
වෛරී ප්‍රකාශ ව්‍යාප්ත කිරීමට එරෙහිව සටන් කිරීම අරමුණු කරගත් සියලුම නීති, ප්‍රතිපත්ති සහ භාවිතයන් සුළු ජාතීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අසාධාරණ ලෙස සීමා කිරීම්වලට තුඩු නොදෙන පරිදි, කෙටුම්පත් කර දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සහතික විය යුතු බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කරයි.
ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින්, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙන්නේ, ‘දේශීය නීති පද්ධතියට ICCPR හඳුන්වා දීමේදී ICCPR පනතේ 3(1) වගන්තිය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට වරින් වර භාවිතා කර ඇති බවය.
වෙනස් කොට සැලකීම, ප්‍රචණ්ඩත්වය හෝ සතුරුකම උසිගැන්වීමක් ලෙස වෛරී ප්‍රකාශ එමගින් තහනම් කරයි.
වෛරී ප්‍රකාශ යනු කිසියම් කණ්ඩායමක සාමාජිකයන් කෙරෙහි ද්වේශ සහගත අදහස් හෝ අදහස් ප්‍රකාශ කිරීමට වඩා වැඩි යමක් වන අතර, එයට අදාළ කණ්ඩායමට එරෙහිව වෙනස් කොට සැලකීම, සතුරු වීම හෝ ප්‍රචණ්ඩත්වය කරා යොමු කිරීමට අන් අයව පොළඹවාලීමේ චේතනාව පෙන්වීම පැහැදිලිව අවශ්‍ය බව බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.
භාෂණයේ අයිතිය මෙම පරීක්ෂණයට මුහුණ දීමට අපොහොසත් වීමේදී , එය කම්පන සහගත, ප්‍රහාරාත්මක හෝ බාධාකාරී වියහැකි වුවද, රාජ්‍යය විසින් එය ආරක්ෂා කළ යුතු බවද ක්ෂමා සංවිධානය අවධාරණය කරයි.
මානව හිමිකම් ගිවිසුම අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාව පිළිපැදීමට බැඳී සිටින නීතිමය බැඳීම් දේශීය නීති සම්පාදනයට හඳුන්වා දීම සඳහා ICCPR පනත බලාත්මක කෙරිණි.
‘හාස්‍යයට කරුණ නම්, ශ්‍රී ලංකා බලධාරීන් එය සුළු ජාතීන් ඉලක්ක කර ගැනීමේ මර්දන මෙවලමක් ලෙස යොදා ගැනීමයි. මෙය අවසන් කළ යුතුය.’